මට වාසනාව ගෙනාවෙ සේද මාවතයි - තිසංක ගමගේ

 



නිවේදන කලාවේ සියලු පැතිකඩ ආවරණය කරන ඔහු නිවේදන කලාවේ ‘ෆුල් පැකේජයක්‘ යැයි කීව ද වරදක් නැත. තිසංක ගමගේ නම කී පමණින් ඕනෑම කෙනකු හඳුනන ඔහු, මේ දිනවල කතාබහට ලක්වන්නේ නම් ඔහුගේ නිවේදන හැකියාව නිසා නොවේ. පසුගියදා ඔහු තම ෆේස්බුක් ගිණුමේ දමා තිබූ පෝස්ට් එකක් සම්බන්ධයෙනි. ඔහුට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක සිත් ඉන් තිගැස්සුණු බව නම් සැබෑවකි. එහි සැබෑ තතු විමසීමේ අදහසින් අද අපි ඔහු හා කතාබහට එක්වීමු.


හැමෝම කතා කරන්නේ තිසංකගේ ඉවත්වීම ගැන. ඇත්තටම තිසංක රැකියාවට සමුදුන්නේ ඇයි?


අවුරුදු 16ක්ම මං එක දිගටම දෙරණ එක්ක වැඩ කළා. දැන් පොඩි විවේකයක් ගන්න ඕන කියලා හිතුණා. ඒත් එක්කම අලුත් වෙන්න, වෙනස් වෙන්න ඕන කියලත් හිතුණා. මට එළියේ ඉවෙන්ට්, සංගීත ප්‍රසංග ගොඩක් ගොඩ ගැහිලා තියෙනවා. ඒ නිසා පොඩි වෙනසක් බලාපොරොත්තුවෙන් තමයි සමුගත්තේ.


අවුරුදු 16ක් ගිහිල්ලත් තිසංක ගමගේ කියන සන්නාමය නිර්මාණය නොවීම ඊට හේතු වුණා කියලත් සමහරු කියනවා?


ඒකත් එක හේතුවක් තමයි. මං දෙරණ ඇතුළෙ සෑහෙන්න වැඩසටහන් කරල තියෙනවා. ඇත්තම කිව්වොත් මං ගොඩනැඟුණෙ දෙරණ ඇතුළෙ. ඒත් අවුරුදු 16ක් වෙලත් තිසංක ගමගේගේ වැඩසටහන මේකයි කියල කියන්න සන්නාමයක් මට නැහැ. කාලයත් එක්ක ඕනෙම කෙනෙකුට අනන්‍යතාවක් ගොඩනැඟෙනවා. මාත් බලන් හිටියා මොකක්හරි බ්‍රෑන්ඩ් එකක් හැදෙයි කියලා. ඒත් එහෙම වුණෙත් නැහැ. එළියෙ කොහොමත් මට එහෙම එකක් හැදිලා තියෙනවා. මියුෂිකල් ෂෝ එකක්, ඉවෙන්ට් එකක්, එනර්ජි වැඩක් කරනව නම් තිසංක කියලා. ඒ නිසා එළියෙ වැඩ කරගෙන ඉන්න එක හොඳයි කියලත් හිතුණා. ඒ වගේම මගේ හිතේ තව ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒකටත් ප්ලෑන් කරමින් ඉන්නේ.


තිසංක ආයෙම චැනල් එකකට යන්න අදහසක් නැද්ද?


චැනල් කිහිපයකින් ආරාධනා ලැබුණා. අලුත්ම ටීවී චැනල් එකකිනුත් ආරාධනා ලැබුණා. ඒත් මං තාම තීරණය කරල නැහැ නැවතත් චැනල් එකකට සම්බන්ධ වෙනවද කියන එක. එළියෙ එළිමහන් ප්‍රසංග වේදිකාවේ 2025 දෙසැම්බර්වලටත් දැන්මම මාව බුක් වෙලා. ඊට අමතරව ලබන අප්‍රේල් වෙනකල් හැම මාසෙකම ඉවෙන්ට් 5/6ක්, එළිමහන්, ගෘහස්ථ සංගීත ප්‍රසංග ඊට අමතරව කම්පැණි ඉවෙන්ට්, ලංකාවේ ප්‍රධාන සමාගම්වල ඉවෙන්ට් දැනටමත් බුක් වෙලා. ඒ නිසා ගොඩක් කාර්යබහුල තත්ත්වයක් තියෙන්නේ මේ වෙලාවේ. ඒ අතරේ පොඩි ක්‍රියේටිව් වැඩ ටිකකුත් කරගෙන යනවා.


ඒ කියන්නෙ තිසංක ගමගේ කොහොමහරි වැඩේ ගොඩදාල දෙනව කියන විශ්වාසය මිනිස්සු තුළ තියෙනවා?


ඔව්. එහෙම එකක් ගොඩනැඟිල තියෙනවා. මට කවුරුහරි ඉවෙන්ට් එකක් භාරදුන්නම ස්ක්‍රිප්ට් එකේ ඉඳන්ම මං හදාගන්න අවස්ථා තියෙනවා. ඒ වෙලාවෙ වෙන ඕන දේකට මට ෆෝකස් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඕනෙම වේරියේෂන් එකකට නිවේදනය කරන්නත් පුළුවන්. ඒ නිසා ආ තිසංක ද එහෙනම් වැඩේ ගොඩ කියන මට්ටමේ පිළිගැනීමක් එළියෙ මට හැදිල තියෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.


තිසංක කියන්නේ දක්ෂයෙක් කියන එක මුළු රටම දන්නවා. ඒ දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද?


ඇත්තටම මටත් ඕන මහන්සි වෙලා ලොකු වැඩක් කරන්න. මුළු ලංකාවම කතා කරන මොකක් හරි වැඩක් කරන්න. හැබැයි ඒක මටත් දැනෙන අනෙක් අයටත් දැනෙන වැඩක් වෙන්න ඕන. අන්න ඒ වගේ යෝජනාවක් ආවොත් අනිවාර්යයෙන්ම මං භාරගන්නවා. මගේ හිතෙත් වැඩ කිහිපයක්ම තියෙනවා. ඉස්සරහට අපි බලමුකෝ.


තිසංකගේ මේ ෆීල්ඩ් එකට පිවිසීම ගැන කතා කළොත්?


මං මේ ආපු ගමනෙදි මාව මේ තැනින් තියන්න උදවු කරපු දසමහා යෝධයෝ ඉන්නවා. මගේ අම්මා තාත්තා මාව මේ තත්ත්වෙට හදපු නිසා තමයි මං අද මෙහෙම ඉන්නෙ. ඒ වගේම මගේ බිරිය. ඊට අමතරව මගේ පාසල ගාල්ල මාපලගම සිරිසුනන්ද මහා විද්‍යාලයේ විදුහල්පති ආරියදාස ගොඩගම මහතා. ඔහු මට හැමවෙලාවෙම අවස්ථාවක් දුන්නා. ඒ වගේම පාසල ඇතුළේ ජනප්‍රිය වෙන්න හේතුව වුණේ වසන්ත සර්ගේ පින් මාළු වලේ නිසා. මං මේ ෆීල්ඩ් එකට නැඹුරු වෙන්න හේතුව වුණෙත් ඔවුන්.


ඊට පස්සෙ මං මේ ෆීල්ඩ් එකට එද්දි මුලින්ම සම්බන්ධ වුණේ හිරු එෆ්.එම්. එකට. හිරු එකේ හිටිය ධනුෂ්ක නෙත් එෆ්.එම්. එකේ ප්‍රමෝෂන් මැනේජර් වෙලා හිටිද්දි ඔහු මාව නෙත් එෆ්.එම් එකට ගේනවා. නෙත් එකේ ගෙවුණු අවුරුදු එකහමාරක කාලය තමයි ඕනෙම කට්ටක් කන්න පුළුවන් තැනට මාව ඩිවෙලොප් කළේ. ඊළඟට දෙරණ එෆ්.එම්. එකේ චානුක අයියා. ඔහු තමයි මාව දෙරණ එෆ්.එම්. එකට ගන්නේ. ඊට පස්සේ මගේ ජීවිතේ කණපිට හරවන තැන වෙන්නේ දෙරණ ටීවී එක. ඒ අවස්ථාව මට ලබාදෙන්නේ ශර්මිලා ධර්මරාසා. මගේ මේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය එතන කිව්වත් හරි. මට මතකයි මුලින්ම මං කළේ විනාඩි 10ක සෙලාන් බැංකුවේ මාර්කටින් කෑල්ලක්. එදා පටන් ගත්ත දා ඉඳන් හැමදාම මං මාර්කටින් බෙල්ට් එක කරලා තියෙනවා. ඊට පස්සේ දෙරණ චැනල් හෙඩ් කේ.සී. සාරංග මතක් කළ යුතුමයි. ඔහු තමයි මට Other Side ප්‍රෝග්‍රෑම් එක භාරදෙන්නේ. එකම ලෙවල් එකක වැඩ කරගෙන ආපු මට විවිධ වැඩ කරන්න පුළුවන් දැනුම ලැබුණේ ඒ හරහා. කොටින්ම 2021 රයිගම් සම්මාන උලෙළේ හොඳම සම්ප්‍රවේශක වෙන්න පුළුවන් විදිහේ ප්‍රෝග්‍රෑම් සෙට් එකක් දාන්න පුළුවන් වෙන්නේ ඔහු නිසා. ඒ වගේම පුංචි කාලෙම ප්‍රසංග වේදිකාවට එන්න මට මයික් එක අතට දුන්නේ මගේ ගමේ ඇන්ටන් බර්නාඩ් අයියා. ඔහුත් ඇතුළුව මට ඉවෙන්ට් භාර දුන්න හැමදෙනාම මේ වෙලාවේ සිහිපත් කරනවා.


ඔබේ හෙවණැල්ල වුණු ඇගේ හමුවීම ගැනත් කියමු?


ඇය මට හමුවෙන්නේ සේද මාවත කරද්දී. මුලින්ම යාළුවො වගේ කතාබහ කරලා මාසයක් දෙකක් යද්දී ඒ යාළුකම ආදරයක් බවට පත්වුණා. සේද මාවත තමයි මට වාසනාව ගෙනාවේ. ඇය ILTS, OET විභාගවලට උගන්වන ගුරුවරියක්. ඇත්තටම ඇය නැත්නම් මට මේ තරම් දියුණුවක් වෙන්න බෑ. ඇය තමයි මේ තාක් දුරට මගේ හෙවණැල්ල වගේ ඉන්නෙ.


නාමලී ගමගේ



Previous Post Next Post