හොඳයි-නරකයි කියලා තෝරන්න ගියොත් අවස්ථා අහිමි වෙනවා-සංජය මුරමුදලි

 



ඔහු ලාංකික ප්‍රේක්ෂකයාගේ ආදරය නොමඳව දිනාගත් කලාකරුවෙක්. තමන්ට ලැබෙන චරිතයට උපරිම කැපවීමෙන් රංගන දායකත්වය සපයන මොහු  කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කරගත් තරුණ රංගන ශිල්පියෙක්. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සංජය මුරමුදලි. 


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස් තරමක් කාර්යබහුලයි. නමුත් සතුටින් ඉන්නවා. මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍ය පහක් මේ දිනවල විකාශය වෙනවා. රංගන කටයුතු සහ පෞද්ගලික කටයුතු කරගෙන සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා.


ජනප්‍රිය – නැඟී එන නළුවා සම්මානය ලැබීම ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සම්මානයක් ලැබෙනවා කියන්නෙ ඉතා වටින දෙයක්. මොකද ඕනෑම කෙනෙක් අගය කිරීම් කරනවාට කැමැතියි. ඒක හැම ක්ෂේත්‍රයකටම අදාළ දෙයක්. තමන් වැඩ කරන ආයතනයකින් හෝ තමන්ට හමුවන තමන්ගේ ජීවිතයට සමීප මිනිසුන්ගෙන් ඇගයීමකට ලක් වෙන්න කවුරුත් කැමැතියි. ඒ වගේ ඇගයීමක් දකින්න, දැනෙන්න ලැබෙනවා කියන්නේ යහපත් දෙයක්. මම හිතන්නේ මොනයම් හෝ දෙයකින් මට ඒ වටිනාකම ලැබුණා. මීට කලින් මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යවලට රයිගම් සම්මාන උළෙලේ සහ රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන ලැබුණා. එහෙම ඇගයීමක් ලැබෙනවා කියන එක උත්තේජනයක් ඉදිරියේදී වැඩකටයුතු කරන්න. ඒ වගේම සම්මානයක් ලැබෙනවා කියන එක හරි බරක්. ඒ වගේම වගකීමක්. ඒ වගකීමේ බර අරගෙන ඉදිරි වැඩකටයුතු හරි සීරුවෙන් ඉවසීමෙන් කරන්න වෙනවා.


සම්මානයකින් කලාකරුවෙක්ට වෙන බලපෑම මොන වගේද?


එතැනින් තමයි කලාකරුවෙක්ගේ පැවැත්ම රඳා පවතින්නේ. ගොඩක් වෙලාවට කලාකරුවෙක්ගේ නිර්මාණයකට සම්මානයක් ලැබුණට පසුව ඔහුව සුවිශේෂී කෙනෙක් විධියට හඳුන්වන්න පටන් ගන්නවා. හැබැයි සුවිශේෂී ලෙස හඳුන්වන්න ගන්න තැනට එන්න කලින් කලාකරුවෙක් විශාල කැපකිරීමක් කරන්න ඕන. ලංකාව තුළ සම්මානයකට පාත්‍ර වීම අල්ප ප්‍රමාණයකට ලැබෙන අවස්ථාවක්. හැබැයි ඒ අවස්ථාව ගන්න කලාකරුවෙක් මොන තරම් කැපකිරීමක් කරනවාද? එය මිල මුදලින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වටිනාකමට අගයක් ලැබෙන්නේ සම්මානයකින්. කලාකරුවෙක්ට සම්මානයක් ලැබෙනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. කලාකරුවෙක්ගේ ගමනේදී ඔහු නඟින පියගැටපෙළේ එක් පඩියක් නඟිනවා හා සමානයි සම්මානයක් ලබනවා කියන දෙය. ඒක ඉතා සුවිශේෂී දෙයක්.


ලලයි ලිලයි ලයි තාරකා ඉබ්බා මේ දවස්වල සෑහෙන ජනප්‍රියයි නේද?


සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන ලලයි ලිලයි ලයි මේ දිනවල අතිශය ජනප්‍රිය නිර්මාණයක් බවට පත් වෙලා තිබෙනවා. එම ටෙලිනාට්‍යයේ එන තාරකා ඉබ්බා කියන චරිතය කියන්නේ මගේ ජීවිතයේ මට ලැබුණු හොඳ ප්‍රගතියක් තිබෙන චරිතයක්. ඒ චරිතය ඉතා ජනප්‍රිය වීම ගැන මට හරිම සතුටුයි. මෙවැනි සරල චරිතයකින් ආදරණීය ප්‍රේක්ෂකයාගේ සිත දිනාගැනීමට ලැබීම වාසනාවක්. ලංකාවේ විතරක් නෙවෙයි විදේශීය රටවල පවා මේ චරිතය කතාබහට ලක් වෙනවා. මේ ටෙලිනාට්‍ය නිර්මාණයත්. මිනිසුන්ගේ මනස නිදහස් කරන හරිම සරල නිර්මාණයක්.


රංගනය කියන්නේ ඇකඩමිකව හැදෑරිය යුතු දෙයක්ද?


අනිවාර්යයෙන්ම රංගනය කියන දෙය ඇකඩමිකව හැදෑරිය යුතුමයි. හැබැයි  කොපමණ පොත පතෙන් හෝ න්‍යායාත්මකව රංගනය කියන දෙය හැදෑරුවත් සංයමයක් සහ විඥානයක් නැතිව කලා ක්ෂේත්‍රය තුළ පවතින්න බැහැ. කලා ක්ෂේත්‍රය තුළ පවතින්න කණ්ඩායම් හැඟීම, ක්‍රියාශීලී වීම සහ නිර්මාණශීලීත්වයෙන් යුක්ත සංඥාපනයක් අවශ්‍යයි. රංගනය කියන්නේ ඇකඩමික් දෙයක්. නමුත් අපි ඒ දෙයට අපේ ජීවිතයෙන් දේවල් එකතු කරන්න ඕනෑම මේ හරහා යම් යම් ප්‍රයෝජන ගන්න එන අයට වගේ නෙවෙයි කලාව වෙනුවෙන් දෙයක් කරන්න එන කෙනෙක්ට හොඳ පැවැත්මක් තිබෙනවා.


නිර්මාණයක් තෝරා ගැනීමේදී ඔබ විශේෂයෙන් සලකා බලන කාරණා මොනවාද?


මම මුල සිටම නිර්මාණවලට දායකත්වය සැපයීමේදී හොඳ නිර්මාණ තෝරාගැනීමට සැලකිලිමත් වුණා. නමුත් නිර්මාණයක් හොඳ – නරක කියලා බෙදා වෙන් කරන්න බැහැ. අපේ රට පොඩියි. අපේ රටේ කලා නිර්මාණකරුවන් ඉන්නේ අතළොස්සයි. ඒ අයගේ නිර්මාණවලට අපිට දායකත්වය සපයන්න වෙනවා. අපිට ලැබෙන හැම නිර්මාණයක්ම අපේ කරගෙන හොඳ නිර්මාණයක් බවට පත් කරගන්න එක තමයි අපි කරන්න ඕන. හොඳ-නරක කියලා නිර්මාණ තෝරන්න ගියොත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි ලැබෙන නිර්මාණය තුළ ප්‍රේක්ෂකයා සහ  නිර්මාණකරුවා බලාපොරොත්තු වන දෙය උපරිම කැපකිරීමකින් ඉටු කරලා ගුණාත්මක නිර්මාණයක් බවට පත් කරන එක. 


ඉස්සර වගේ නෙවෙයි දැන් වෙබ් සීරිස්, යූ ටියුබ් සීරීස් වගේ ගොඩක් කලා මාධ්‍ය බිහිවෙලා මේ ගැන ඔබේ අදහස?


විවිධ ප්ලැට්ෆෝම් බිහිවෙන එක හොඳයි. මේ හරහා අපිට අපේ මතවාද විවිධ ආකාරයට ප්‍රේක්ෂකයා වෙත රැගෙන යන්න පුළුවන්. මේ දේවල් කිසිම දෙයකට සීමා වෙන්නේ නැහැ. රූපවාහිනියේ නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂකයාටත් මේවා බලන්න පුළුවන්. විවිධ අය යූ ටියුබ් කියන දෙය ටෙලිවිෂනයට හොඳ නැහැ කියලා විවිධ තර්ක ගෙන එනවා. සමහර පිරිස් මේවා සමාජයට හොඳ නැහැ කියලා කියනවා. අපි දැනගන්න ඕන මේ ප්ලැට්ෆෝම්ස් හරහා හොඳ දේවල් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න. ඒ වගේම අපි මේ දේවල් හරහා හොඳ දේවල් ලබා ගන්නත් ඉගෙන ගන්න ඕන. එහෙම වුණාම රටක ආණ්ඩුවක් වුණත් පෙරළන්න ලේසියි.


ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය කලාව පිළිබඳව ඔබේ අදහස?


මෙගා ටෙලිනාට්‍ය කලාවට යම් අය හොඳයි කියනවා වගේම යම් අය නරකයි කියා කියනවා. මම හිතන විධියට මෙගා ටෙලිනාට්‍ය කියන එක අත්‍යවශ්‍යයි. මෙගා ටෙලිනාට්‍ය තුළින් තමයි රූපවාහිනි නාළිකාවක් ප්‍රේක්ෂකයා තමන්ගේ නාළිකාව වටා රඳා පවත්වා ගන්නේ. රූපවාහිනිය තුළ මාකටින් පැත්තේ විශාල බරක් අදින්නේ මෙගා ටෙලිනාට්‍ය. ගොඩක් වෙලාවට කලාකරුවන්ගේ වෘත්තිය රැඳිලා පවතින්නේ මෙගා ටෙලිනාට්‍ය කලාව තුළයි. අනෙක් ටෙලිනාට්‍ය කලාව තුළ අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. ඒවා ගුණාත්මක බවින් ඉහළ අගයක් ගන්නවා. නමුත් ආර්ථික වශයෙන් මෙගා ටෙලිනාට්‍ය කලාව ඉහළ තැනක තිබෙනවා. මෙගා ටෙලිනාට්‍ය කියන්නේ කලාවක්. අපි ඒ දෙය හොඳ විධියට භාවිත කරන්න ඕනෑ.


නව දේශපාලනික වෙනස ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම අපි හොඳ වෙනසක් බලාපොරොත්තු වුණා. අපි ඒ වෙහෙස වෙනුවෙන් මහන්සි වුණා. දැන් වෙනස ලැබිලා තිබෙනවා. ඒ වෙනසේ ප්‍රතිඵල මේ වනවිට ලැබෙමින් පවතිනවා. මේ දේවල් අපේ රටේ මිනිසුන්ට කලින් කරන්න තිබුණු දෙයක්. මේ මොහොතේ හරි මිනිස්සු එක තීරණයකට එකතු වුණු එක ගැන හරිම සතුටුයි.


ඉදිරි වැඩකටයුතු මොනවාද?


චිත්‍රපටයක වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම රංගනයෙන් දායකත්වය සැපයූ නිර්මාණය කිහිපයක්ම විකාශය වීමට නියමිතයි. ඒ අතරම දෙව්ලොව දෝණි වේදිකා නාට්‍ය වේදිකාගත වීමට නියමිතයි. ඒ අතරට මගේ නිර්මාණයක් කරන්න අදහසක් තිබෙනවා. ඉදිරියේදිත් ආදරණීය ප්‍රේක්ෂකයාට, කලා ලෝකයට හොඳ දේවල් ලබා දෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.


ගිහාන් සචින්ත



Previous Post Next Post