දෙපාරක් හිතන්න දෙයක් නැහැ ඒකට උත්තරේ ඔව් -ඉමේෂා එදිරිපක්ෂ

 


වේදිකාව සහ කෙටි චිත්‍රපට තුළ තම රංග හැකියාවන් පෙන්නුම් කරන ඉමේෂා එදිරිපක්ෂ ඉඳහිට අපිට පුංචි තිරයෙන් ද දැක ගන්න ලැබෙනවා. ගතවන මේ කාලය තුළ නම් වේදිකා නාට්‍යවලට දායක වෙන ඉමේෂා එදිරිපක්ෂ සමඟ කළ කතාබහකි මේ.


ඔබ රඟපෑ කෙටි චිත්‍රපට නිසාවෙන් ජාත්‍යන්තර ඇගයුම් පවා ලද කෙනෙක්, ඒ ගැන මතක් කරොත්…?


ඔව්. ගයාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු ‘පෙරිප්ලා‘ කෙටි චිත්‍රපටයට සම්මාන සහ ඇගයීම් ගොඩක් ලැබුණා. ඒ අතරින් ප්‍රංශයේ පැවති ARG ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලේ හොඳම නිළිය සම්මානය මට හිමි වුණා. ඒක දැන් youtube ඔස්සේ zoom film production youtube චැනලයෙන් නැරඹීමට පුළුවන්. තව හරිදු සේනානායක අධ්‍යක්ෂණය කරපු Just Listen කෙටි චිත්‍රපටය ලංකාවේ විශ්වවිද්‍යාල මට්ට­‍ෙමන් NSBM campus එකෙන් කරන ලද චිත්‍රපට උළෙල තුළ තරගකාරී අංශ නියෝජනය කළා.


වේදිකාව තුළින් ඔබේ ජීවිතේට ලැබුණු දේවල් මොනවද?


හරි වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබෙනවා කියලා කියන්නේ විෂය සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනකට අවස්ථාව ලැබෙනවා කියන එක. ඊට අමතරව විවිධ පුද්ගලයන් ඇසුරින් ලැබෙන සමාජීය ඥානය හා ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය කරන සමහර අංග සහ නිර්මාණයක් කරලා ලැබෙන තෘප්තිමත් බව කියලා කියන්න පුළුවන්.


පුංචි තිරයට ඇරයුම් අඩු ද?


ඇත්තටම ඔව්. ඒකට හේතුව මම හිතන්නේ මම නිර්මාණ ගැන හිතනවා වැඩි ඇති. මට දැනෙන වැඩවල වැඩ කරන්න හරි කැමැතියි. කරපු නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. කායා, කළු දළ රළ. තව හර්ෂ තෙන්නකෝන් අයියගේ නේත්‍රාදේවි නාට්‍යයේ පොඩි චරිතයක් වුණත් මම හරි ආසාවෙන් කරපු වැඩක්.


චරිතයක් භාර ගනිද්දී මූලිකව බලන්නේ මොනවද?


කිසිම දෙයක් අමුතුවෙන් බලන්නෙ නැහැ. පිටපත කියවීමෙන් හෝ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරගෙන යෑමේදී ඒ සමස්‌ත නිර්මාණයට හෝ එම චරිතයට මගෙ හිතේ ඇතිවන ආදරය හෝ ආශාව තමයි.


ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?


විශාල නිර්මාණ ප්‍රමාණයක වැඩ කරන්න නොලැබුණත් ලැබුණු ප්‍රමාණය ඇතුළෙ හිත කැම­ැතිම විදියෙ නිර්මාණ තමයි ලැබුණේ. මේ දවස්වලත් වේදිකාවෙ එවැනි නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නෙ. විජිත හෙට්ටිගේ අයියාගේ “පිස්තෝලෙ උණ්ඩ නෑ” කියන කෙටි නාට්‍යය. එය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් කරන්නෙ. අපි හැමෝම මේක පුදුම විදිහට විඳිමින් කරන වැඩක්.


නිළියක් වීම ඔබේ සිහිනයක් සැබෑවීමක් ද?


දෙපාරක් හිතන්න දෙයක් නැහැ ඒකට උත්තරේ ඔව්. ඉස්කෝලේදි හැමෝම හිනාවෙයි කියලා වචන වලට මම ටීචර් කෙනෙක් හෝ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා කිවුවට, හිත කිවුවෙම නිළියක් වෙන්න ඕනේ කියලා.


අද වෙද්දී ඔබේ වෘත්තීය කලාව පමණද?


ඔව්


කටකතා ගැන මොකද හිතන්නේ?


මිනිස්සු අතරට දෙයක් ගෙනියන්න, ප්‍රචලිත කරන්න හොඳ මාධ්‍යයක් තමයි ඒක. හරි දේ හරි විදියට සමාජගත වුණොත් නම් ගොඩ. කොහොමත් තමන්ට අදාළ නැති දෙයක් නම් අපි ඒ ගැන වැඩිය හිතන්න යන්න හොඳ නැහැ.


ආදරේ ගැන ඔබේ කියවීම කොහොමද?


කායික හා මානසික යහපැවැත්ම සඳහා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා අතර තිබිය යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ.


ලිවින්ටු ගෙදර සංකල්පය ගැන මොකද හිතෙන්නේ්‍…?


ඒ ගැන නම් හිතන්න දෙයක් නැහැ. මම හිතන්නෙ නම් ඒක තමයි ප්‍රායෝගිකව හරිම විදිය කියලා


අනාගත බලපොරොත්තු මොනවද?


මට විශේෂ බලාපොරොත්තු නැහැ. හිතේ හැටියට ජීවත් වෙලා මැරිලා යන එක තමයි මගෙ එකම බලාපොරොත්තුව.


අනුෂා රණසිංහ



Previous Post Next Post