කෝච්චියට අහු නොවී අනූ නවයෙන් බේරුණා- ගීත්මා බණ්ඩාර

 



පුංචි තිරයේ ටෙලිනාට්‍යය අතරින් ජනප්‍රියම ටෙලිනාට්‍යයක් තමයි දෙරණ නාලිකාවේ විකාශනය වෙන ‘‘සංගීතේ’’ ටෙලිනාට්‍යය. පසුගිය සතියේ ‘‘සංගීතේ’’ ටෙලිනාට්‍යයේ Season 01 අවසන් වුණා. ඒ වුණත් එහි Season 02 නැවතත් ආරම්භ කළා. ගීත්මා බණ්ඩාරයි ඒ ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළිය වන අසේනිට රංගනයෙන් දායක වුණේ. ගීත්මා රංගනයෙන් දායක වූ පළමු ටෙලිනාට්‍යයත් ‘‘සංගීතේ’’. ඉතින් ඒ ටෙලිනාට්‍යය නිසා ඇගේ ජීවිතය වෙනස් වූ හැටි ගැන වගේම මේ දවස්වල අලුත් වැඩකටයුතු ගැන අහලා බලන්න මෙවර අපි ගීත්මා බණ්ඩාරට කතා කළා.


ගීත්මා ‘‘සංගීතේ’’ ටෙලිනාට්‍යයෙන්ම අපි කතාබහ පටන්ගමු නේද?




පසුගිය සතියේ ‘‘සංගීතේ’’ටෙලිනාට්‍යය Season 01 අවසන් වුණා. දැන් Season 02 පටන් අරන් තියෙන්නේ. ඒ ගැන වැඩිපුර යමක් මම නොකියා ඉන්නම්. මොකද ඒ ගැන යමක් කියන්න ගියොත් කුතුහලය කියන එක නැතිවෙයි.


‘‘සංගීතේ’’ ටෙලිනාට්‍යය තමයි ඔබේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂය?




ඔව් ඔව් ඔයා හරි. මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය ‘‘සංගීතේ’’ තමයි.




අසේනිගේ චරිතය මෙච්චර ජනප්‍රිය වෙයි කියලා ගීත්මා මුලින් හිතුවද?




එදා මට අසේනි කියන ‘‘සංගීතේ’’ ප්‍රධාන නිළියගේ චරිතේ ලැබුණම හරිම සතුටු හිතුණා. ඒත් හිතුවේ නෑ ඒක ලොකුවට ජනප්‍රිය වෙයි කියලා. හැබැයි වාසනාවට වගේ ඒක ජනප්‍රිය වුණා. ‘‘සංගීතේ’’ පටන් අරගෙන දවසින් දෙකෙන් ප්‍රේක්ෂකයන් ටෙලිනාට්‍යය වැලඳගත්තා. ඉතින් ඒ නිසා අසේනිත් ජනප්‍රිය වුණා.





ගීත්මා රඟපාන එකට අම්මා මුලදි විරුද්ධ වුණා කියන්නේ ඇත්තද?




ඔව් විරුද්ධ වුණා. මං පාසල් යන කාලේ හොඳට ඉගෙනගත්ත කෙනෙක්. ඒ නිසා රංගනයට එනකොට අම්මා සෑහෙන්න විරුද්ධ වුණා. මං හිතන්නේ අම්මට බය හිතෙන්න ඇති. මොකද පවුලේ එකම ගෑනු ළමයත් මමනේ. අනිත් එක තමයි කලා ක්ෂේත්‍රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට එනකොට අම්මට බය හිතෙන්න ඇති. ඒ බය සාධාරණයි.




ගීත්මා නිළියක් වුණු එක ගැන දැන් අම්මා මොකද කියන්නේ?




මම එදා තනි කැමැත්තට රංගනය තෝරගත්ත එක හරි කියලා දැන් එයාට තේරිලා තියෙන්නේ. ඒ නිසා දැන් එයා මටත් වඩා මම ගැන හුඟාක් සතුටුවෙනවා.



පුංචි කාලේ ගීත්මා හීන දැක්කේ කවුරු වෙන්නද?




ඒ කාලෙදි නම් මට එක එක විදිහේ හීන තිබුණා. මුලින් හිතුවා වෛද්‍යවරියක් වෙන්න ඕන කියලා. ඊට පස්සේ හෙදියක් වෙන්න ඕන කියලත් හිතුවා. සාමාන්‍ය පෙළ ලියද්දි හිතුනා ගුරුවරියක් වෙන්න. අන්තිමේ නිළියක් වෙලයි නැවතුනේ. 2018 අවුරුද්දේ හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණු නිසා තමයි මට කලා ක්ෂේත්‍රයට එන්න පාර කැපුනේ.




ගීත්මා ගොඩක් තැන්වල කියනවා ඔබට කලා ක්ෂේත්‍රයේ ‘‘උගත් නිළියක්’’වෙන්න ඕන කියලා. ගීත්මා ඉන් අදහස් කරන්නේ මොකක්ද?




අපි මොන වෘත්තියක් කළත් හරි හැටි අවබෝධයක් හැදෑරීමක් එක්කයි ඒක කරන්න ඕන. නිකමට හිතන්න ඔන්න මං ටෙලිනාට්‍යයක රඟපානවා. එතැනදි මට කිසිම වේශ නිරූපණයක් නොකර තිබුණත් ප්‍රේක්ෂකයාට මාව පේන්න ඕන ටෙලිනාට්‍යයේ ඉන්න චරිතය විදිහට. ඒ නැතුව ප්‍රේක්ෂකයන්ට එතැනිනුත් මාව ගීත්මා බණ්ඩාර විදිහට පේනවා නම් මං ෆේල්. එතකොට මට පැවැත්මක් නෑ. ඒක නිසා අවබෝධයෙන් වගේම හැදෑරීමක් එක්ක මේ ක්ෂේත්‍රයේ ඉන්නයි මට ඕන.




රංගනය ඇරුනම ඔබ වෙන දක්ෂ මොනවටද?




පාසල් යන කාලේ සිංහල භාෂා තරග, චිත්‍ර තරග, නිවේදන තරගවලින් මම සමස්ත ලංකා මට්ටම දක්වාම යනකල් ගිය කෙනෙක්. දැනටත් මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්.




රඟපාන්න ගිහින් සිද්ධවුණු අමතක නොවන සිදුවීමක් කියමුද?




දවසක් ‘‘සංසාරිණී’’ ටෙලිනාට්‍යයේ රූගත කිරීමක් තිබුණා රේල්පාරක් ගාව. කැමරා තිබුණේ ගොඩාක් දුරින්. එතැනදි තිබුණේ පිරිමි කෙනෙක් මගේ බඩට පයින් ගහන දර්ශනයක්. ඒ ගහපු පාරට මං රේල්පාර අයිනට වැටුණා. දැන් මගෙයි රේල්පාරයි අතර පරතරය අඩියක් දෙකක් වගේ. ඒ අස්සෙම කෝච්චියක් ආවා. එකපාර මට නැගිටින්නත් බැරිවුණා. එදා අනූ නවයෙන් ජීවිතේ බේරුණේ.




ගීත්මා ඔබට හැදෙන ගොසිප්වලට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?




එහෙම තැන්වලදි මම කරන්නෙම ඒවා නොදැක්ක ගාණට ඉන්න එක. මොකද අපි කවුද කියන කාරණාව අපි දන්නවා නම් එතැනින් එහා ආයෙමත් කතාවක් නෑනේ.




ෆැෂන් කරද්දි එහෙම සැලකිලිමත් වෙන දේවල් මොනවද?




ඇත්තටම මං නිතරම වගේ බලන්නේ මට ගැළපෙන සහ මගේ මේ පෙනුමට, ඇඟේ හැඩයට ගැළපෙන විදිහට ෆැෂන් කරන්න. එතකොට මට මාව ලස්සනයි.


ගීත්මා කියන්නේ දැන් පෙම්වතියක් නේද?




ඔව් දැන් මං පෙම්වතියක්.



Previous Post Next Post