ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත රසිකයන් අතරට ගෙන යන නලින්

 



හැමදාමත් මගේ හිතේ හැංගිලා තිබුණ දෙයක් තමයි ගායකයෙක් වෙන එක. එ්ත් පුංචි කාලේ ඉඳලා එහෙම එන්න තරම් පහසුකම් තිබුණේ නැහැ. ඒත් පුංචි කාලේ තිබුණ ඒ හීනය දැක ගන්න මට පුළුවන් වුණේ කාලයක් ගත වෙලා. ඒ ගැන මට හරිම සතුටුයි.


අපත් සමඟ මෙහෙම පැවැසුවේ ගායන ශිල්පි නලින් සිල්වා.


පාසල් වියේ සිටම අධ්‍යාපන කටයුතු වලට මෙන්ම සංගීතයට ද ආදරය කළ, කැමැත්තක් දැක් වූ නලින් මෙතෙක් පැමිණි ගමන සොඳුරු එකක් නොවේ.


“මගේ පවුලේ අයියයි මමයි විතරයි හිටියේ. මගේ තාත්තා මැදපෙරදිග රටක සේවය කළා. අම්මා අපවත් බලාගෙන නිවෙසට වී සිටියා. අපි ලොකු සල්ලිිකාර පවුලක අය නෙමෙයි. පුංචි කාලේ ඉඳලා සංගීතයට ඇල්මක් තිබුණට අම්මගෙන් සල්ලි ඉල්ලගෙන සින්දු කරන්න කවදාවත් මට කැමැත්තක් තිබුණේ නැහැ.


පුංචි කාලෙ ඉඳලම මම සංගීත භාණ්ඩ සෙල්ලම් කරන්න කැමැතියි. ඒ නිසාම මම ගිටාර් එකක් ගෙදර හැදුවා. යාළුවෝ ගාවට ගිහිල්ලා ගිටාර් වාදනය ඉගෙන ගත්තා. මම පුංචිම කාලේ ගිටාර් එක ඉගෙන ගත්තේ ඒ විදිහට. මගෙ අම්මගෙ අයියා හිටියේ අ‍ෙමරිකාවේ. ඔහු ලංකාවට එන්න කලින් මගෙන් ඇහුවා මොනවද ඕන කියලා. එදා මම මාමට කිව්වා මට ගිටාර් එකක් ගෙනැල්ලා දෙන්න කියලා. කිව්වා වගේම මාමා එනකොට ගිටාර් එකක් අරගෙන ආවා. මම ඇඟිලි හිල්වෙනකම් ගිටාර් එක පුහුණු වුණා. ඒ කාලෙ මම ගොඩක් දෙනෙක්ට ගිටාරය වයන්න කියලා දුන්නා.


පාසල් කාලේ අවසන් වෙනවත් එක්ක මට හිතුණා බෑන්ඩ් ගහලා නම් හරි යන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම රැකියාවක් කරන්න ගත්තා. ඒ මුද්‍රණ අංශයෙන්. ක්‍රමයෙන් මගෙ අතට මුදල් ලැබුණා. ඒත් එතකොට සංගීතය පැත්තට යොමු වෙන්න කාලයක් මට තිබුණේ නැහැ. බිස්නස් මැනේජ්මන්ට් කරලා 2007 වසරෙදි මම ඔස්ට්‍රේලියාවට ගියා. ඉන් පස්සේ තමයි මම ආයෙත් සංගීතය ගැන හිතන්න ගත්තේ. මට හිතුණා මම නතර කරපු තැනින් මගේ සංගීත ජීවිතය පටන් ගන්න ඕන කියලා. මම හැමදාමත් ක්ලැරන්ස් විජේවර්ධන ගායන ශිල්පියාට ආදරය කළ කෙනෙක්. ඔහුගේ රචනා ශෛලියට වගේම ගායන ශෛලියටත්, තනු නිර්මාණයටත් මම හරි කැමැතියි. මමත් ඔහුගේ නිර්මාණ ගයන්න ගත්තා.“


උපන් බිමේ නාමය රඳවමින් අද ලෝකයේ තවත් එක් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන් පිනවමින් ගී ගයන නලින් ඉන් ලබන්නේ අපමණ තෘප්තියකි.


“මම මේ වන විට මගේම ගීත විස්සක් පමණ ගායනා කර තිබෙනවා.


ඒ ගී වලට හොඳ රසික පිරිසක් ඉන්නවා. ඒ වගේම වෙනත් ගායක ගායිකාවන්ගෙ ගීතත් ගයනවා ප්‍රසංගවල එන ආරාධනාවලදි. මා නම් බොහෝ විට ගයන්නේ ක්ලැරන්ස්ගෙ ගීත. ගෙවුණ කාලේ මම බොහෝ දෙනෙක්ට ගිටාර් එක වාදනය කරන්න ඉගැන්නුවා. අද වන විට මට මගේම කියලා සංගීත කණ්ඩායමක් තියෙනවා. SOLOZ සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ තමයි මනෝජ් සිල්වා, චමින්ද සිල්වා, ලක්මාලි විදානපතිරණ, හා තිලිණි කිත්තන්ගොඩ යන සොයුරු සොයුරින්. අපේ සංගීත කණ්ඩායමට පටන් අරගෙන දැන් අවුරුදු දහයක් පමණ වෙනවා. අපට මේ වන විට හොඳ ඉල්ලුමක් තියෙනවා. අපි ගිය උත්සව වලදි අපට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒක අපට සතුටක්. “


නලින් පවසන්නේ බාල කාලයේ හිත යට සැඟවි තිබූ ගායකයකු වීමේ සිහිනය සැබෑවීමේ සතුටිනි.



Previous Post Next Post