කුඩා කල පටන් ඉගෙනීමට මෙන්ම සංගීතයට හා ගීත ගායනයට සම තැන් ලබා දෙමින් එවකට කන්‍යාරාමයක්ව තිබූ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරන ඇය “කැන්ඩි ළමිස්සී” ගීතය ගායනා කරමින් ගායන ක්ෂේත්‍රයට පිවිසියාය. වසර ගණනාවක් ගෙවී ඇතත් අදටත් “කැන්ඩි ළමිස්සී” ගීතය සහ මරියසෙල් ගුණතිලක නාමය අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි. මෙරට වේදිකාවත්, විදේශීය වේදිකාවත්, අනෙකුත් ප්‍රසංගවලත් මරියසෙල් සිටී නම් අදටත්
“කැන්ඩි ළමිස්සී” ගීතය ගයන්නට මරියසෙල්ට සිදු වනු ඇත. වර්තමාන රියැලිටි වේදිකාවේ මේ ගීතය නවකයින්ගේ හඬින් ඇසෙන වාර අපමණ ය. එහෙත් එහි අනන්‍යතාව ඇත්තේ මරියසෙල්ටම පමණි. ඇය කිසි පටලවා ගැනීමකින් තොර ව මේ ගීතය ගායනා කරන නමුත් වර්තමාන පරපුර කෙතරම් දක්ෂ වුවත් මේ ගීතය ගැයීමේදී වචන පටලවා ගන්නා අයුරු අපට ද ඇසී තිබේ.
“ඇත්තටම කැන්ඩි ළමිස්සී ගීතයට අදටත් මම හරි ආදරෙයි. ඒ ගීතය නිසා මට ලැබුණු ජනප්‍රියත්වය කියා නිම කරන්න බැහැ. අදටත් ඒ ගීතයට ලොකු ඉල්ලීමක් තියෙනවා. මම පොඩි කාලේ ඉඳලම සිංදු කිව්වා. ගුවන්විදුලි වැඩසටහන්වලට පාසලෙන් එක්කගෙන ගියා. මම පෞද්ගලිකවත් ඉදිරිපත් වුණා. 1970 දී ජාතික තරගයකට ඉදිරිපත් වෙලා ගීත ගායනා කරලා ප්‍රථම ස්ථානය මට ලැබුණා. එතකොට මට වයස අවුරුදු එකොළහයි. එතැනින් පස්සේ ළමා සංගීත කණ්ඩායමක ගීත ගයන්න මට ආරාධනාවක් ලැබෙනවා. වසර එකහමාරකට වැඩි කාලයක් මම එයාලා එක්ක සිංදු කිව්වා. ඊට පස්සේ බටහිර සංගීත කණ්ඩායම් කිහිපයක් එක්කම වරින් වර සම්බන්ධ වෙලා ගීත ගායනා කළා. 1977 දී තමයි කැන්ඩි ළමිස්සී ගීතය පටිගත කරලා මගේම කියලා ගමනක් මම ආරම්භ කරන්නේ. අදත් ඉතින් ඒ ගමන සාර්ථකව පවතිනවා. ඒ ගැන නිහතමානී සතුටක් මට තියෙනවා. මට හැමදාම ආදරය කළ මගේ රසික පිරිසට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එයාලා නිසා මම හැමදාම අලුත් වෙනවා.“
අලුත් ම ගීතයක් ජනගත කළේ ඒ ආදරය නිසාම ද….?
ඔව්. මගේ ගීත රසවිඳින්න කැමති අයට අලුත් ගීත ලබා දීමේ යුතුකමක් මට තියෙනවා. මං දන්නවා එයාලා බලාගෙන ඉන්නවා කියලා. මම හොඳ ගීත සොයමින් ඉන්න අතරේ තමයි ඩෙස්මන් සිල්වා මිය යාමට පෙර අවසන් වශයෙන් පටිගත කළ “කොම්පඤ්ඤවීදිය” ගීතය මට හමු වන්නේ. ඩෙස්මන් මිය ගියාට පස්සේ දවසක ඔහු පිළිබඳව තිබුණු රූපවාහිනී වැඩසටහනදී මම මේ ගීතය ඔහුට උපහාරයක් ලෙස ගායනා කළා. මේ ගීතය මට ගයන්න දෙන්න කියලා ගීතය සංගීතවත් කළ දර්ශන වික්‍රමතුංගගෙන් මම ඉල්ලීමක් කළා. නමුත් ඒ ගීතය ඩෙස්මන්ට ගැළපෙන විදිහට ලියා තිබුණු නිසා තරින්ද ගුණවර්ධන නැවත ඒ ගීතය මට ගැළපෙන විදිහට අලුතෙන් ලිව්වා. “වැලන්තිනා සිඤ්ඤෝරිනා” කියලා ඒ ගීතය මම ගයලා පටිගත කරලා පසුගිය දවසක නාලක විජේරත්න මියුසික් වීඩියෝවත් කරලා යූටියුබ් එකට මුදාහැරියා. ඇත්තටම මේ මියුසික් වීඩියෝව හරිම ලස්සනට ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් විදිහට සංයමයක් ඇති රූප රාමු සහිතව නිර්මාණය කරලා තියෙනවා. අද කාලේ දකින සමහර මියුසික් වීඩියෝ ඇත්තටම බලන්න බැරි තරම් අසංවරයි. සමහර ඒවා හරිම ඒකාකාරියි. මට නම් මේ නිර්මාණය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ ගෞරවය නාලකට හිමි විය යුතුයි.
ගීත ගායනය පරම්පරාවෙන් ලද දායාදයක් ද…?
මගේ තාත්තා මාකලන්ද පරපුරෙන් පැවත එන කෙනෙක්. තාත්තා රාජා විජයබද්‍ර මාකලන්ද ගුණතිලකයි. එයා ජෝන් ද සිල්වා ශූරීන්ගේ මුනුපුරෙක් වෙනවා. ඒ ආරෙන් පැවත ආ හුරුව මටත් ලැබුණා. රොක්සාමි අංකල් සහ තවත් සංගීත ශිල්පීන් කිහිපදෙනෙක්ම හිටියා තාත්තාගේ යාළුවෝ. එයාලා නිතර අපේ ගෙදර ආවා. එයාලා එකතු වුණාම සිංදු කිව්වා. ගෙදර සාදයක් එහෙම තිබුණොත් අනිවාර්යයෙන්ම එයාලා ගීත ගායනා කළා. මමත් ගීත ගැයුවා. මම හැබැයි පුංචි කාලේ ඉඳලාම බටහිර සංගීතයට තමයි යොමු වුණේ. මගේ අම්මා සෙල්වියෝ මොරීන්. එතකොට මට තව නංගි කෙනෙක් ඉන්නවා. එයා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ.
ඔබේ පුතා ‘ටෙශාන්’ගීත ගායනයට යොමු වෙලා නැද්ද…?
ලංකාවේ ඉන්න කාලේ මේරියන් සිගර්ස් ගීතිකා කණ්ඩායමට පුතා අවුරුදු අටේ නවයේ වගේ ඉඳලා සම්බන්ධ වෙලා ගීත ගායනා කළා. දැන් පුතාට වයස අවුරුදු 34යි. එයා එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු අංශයෙන් ආචාර්ය උපාධිය කරමින් ඉන්නවා. එහේ රැකියාවකත් නිරත වෙමින් තනියම තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙලා ඉන්නවා. එහේ පුරවැසිභාවය පුතාට උපතින්ම ලැබුණු නිසා එහේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න එයාට ඒක ලොකු පහසුවක් වුණා.
ඉතින් ඔබ දැන් ලංකාවේ තනියම නේද?
ඔව්. මම තනිකමට ගොඩාක් කැමතියි. මගේ නිර්මාණයක් කරගෙන මම නිදහසේ ඉන්නවා.
ඔබ පාසල් කාලයේදී ක්‍රීඩාවට යොමු නොවුණේ ඇයි…?
ගොඩාක් අය හිතන්නේ මම කම්මැළි නිසා ක්‍රීඩා කරන්න නැතුව ඇති කියලා. එහෙම නෙවෙයි. දූවිලි මට අසාත්මිකතා ඇති කළා. ඩස්ට් ඇලජි වුණා. දූවිලි ගෑවුණාම මගේ සමේ පොඩි පොඩි බිබිලි ඇති වෙලා කසන්න ගන්නවා. දැනුත් දූවිලි වැදුණොත් මට වීස් එක වගේ හැදෙනවා. මගේ පාසලේ විදුහල්පති සහ ගුරුවරු දැනගෙන හිටියා මට දූවිලි අගුණයි කියලා. ඒ නිසා මම ක්‍රීඩා නොකිරීම ගැන ඒ අයගෙන් විරෝදයක් ඇති වුණේ නැහැ. ඒ වෙනුවට සංගීතය මගේ ජීවිතයේ කොටසක් බවට පත් වුණා. සංගීතය නැතුව ජීවත් වෙන්න බැහැ කියලා හිතෙන තරමට මම සංගීතයත් එක්ක බැඳිලා. නමුත් මම ඒක ඉගෙනීමට බාධාවක් කර ගත්තේ නැහැ. ගෙදරින් වුණත් ඉගෙනීමට ලොකු බලපෑම් තිබුණේ නැහැ. තාත්තා හැමදාම කිව්වේ ඔයා සංගීතය කරනවා නම් පන්තියේ විභාගවලදී පළමු පස්දෙනා අතර ඉන්න කියලා විතරයි. ඒක ඉතින් මට ලොකු දෙයක් වුණේ නැහැ. මම ඉගෙනීමයි සංගීතයයි දෙකම හොඳින් කළා.
ඔබ දැන් වේදිකා ප්‍රසංගවල දකින්න නැත්තේ ඇයි?
එක්තරා කලකිරීමක් නිසා මම වේදිකා ප්‍රසංගවලට යන එක නවත්තලා දැන් වසර දහ අටක් වෙනවා. නමුත් මෑතකදී ගායක ගායිකා සංගමයෙන් පැවැත්වූ එළිමහන් ප්‍රසංගයකට මට නොගිහින් බැරිම අවස්ථාවක් එළඹුණා. සභාපතිතුමා මට කිව්වා ප්‍රවීණයෙක් හැටියට ඔයා මේ ප්‍රසංගයට එන්නම ඕනේ කියලා. ඒ ඉල්ලීමට ගරු කරලා මම ඒ ප්‍රසංගයට ගියා. ඇත්ත වශයෙන්ම කියන්න කනගාටුයි මම වසර දහ අටකට පෙර වේදිකා ප්‍රසංගවලින් ඉවත් වෙන්න හේතු වූ කාරණා එදත් ඒ විදියටම තිබුණා. මම එතැනදී ගීත ගායනා නොකර ආපසු ආවා. ඒ තත්ත්වය නිසා තවදුරටත් මට වේදිකාව එපා වුණා. එළිමහන් ප්‍රසංග කරනවා නම් කරන්නන්වාලේ කරන්නේ නැතුව ලස්සනට පිළිවෙළක් ඇතුව කරන්න ඕනේ. පිළිවෙළක් නැතුව කරන දේවලට මම කැමති නැහැ.
ප්‍රසංගවල බොහෝ අය ගයන්නේ අනුන්ගේ ගීත. ඒ ගැන කනගාටුවක් නැද්ද…?
මුල් ගායකයා සිටියදීත් ප්‍රසංගවල වෙන ගායක ගායිකාවන් මුල් ගායකයින්ගේ ගීත ගායනා කරනවා. සමහරු ඒවා වරද්දමින් ගයනවා. සමහරු මුල් ස්වරූපය වෙනස් කරලා ගයනවා. මුල් ගායකයින් අය කරන මුදලට වඩා වැඩි මුදලක් අය කරලා එයාලා මුල් ගීත වෙනස් කරමින් ගයනවා. ඒක ව්‍යාපාරික පැත්තෙන් වාසි සහගත ඇති. නමුත් නවකයින් සහ ප්‍රවීණයින් යන දෙපිරිසටම ඒක අවාසි සහගතයි. ප්‍රවීණයින්ට අවස්ථාව සහ ආදායම අහිමි වෙනවා. නවකයින් අනුන්ගේ ගීතවලින් ප්‍රසිද්ධ වුණාම ඔවුන්ට ඉල්ලුම ඇති වෙන්නෙත් ඔවුන් ගයන අනුන්ගේ ගීතවලටම යි. එතකොට එයාලාට තමන්ගේම නිර්මාණයක් ගෙන එද්දී අපහසුතා ඇති වෙනවා. තමන්ගේම නිර්මාණයක් කරන්න එයාලා උනන්දු වෙනවත් අඩුයි. හැබැයි මේ අතර අනුන්ගේ ගීත ගයලා තරග දිනුවාට එතැනින් පස්සේ තමන්ගේම නිර්මාණ එළි දක්වලා සමාජයේ හොඳ නමක් රඳවාගෙන සිටින අයත් ඉන්නවා. ඒ අයට හොඳ අනාගතයක් හැදෙනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවා ද…?
මම සාමාන්‍යයෙන් එදිනෙදා කරන්න තියෙන් දේවල් කරනවා හැර හෙටක් ගැන හිතන කෙනෙක් නෙවෙයි. මේ මොහොතේ කළයුතු සහ කරන්න ලැබෙන දේ මගේ උපරිමයෙන් කරනවා. අතීතය ගැන දුක් වීමක් හෝ අනාගතය ගැන බලාපොරොත්තු දල්වා ගෙන සිටීමක් මගේ ජීවිතයේ නැහැ.
තුෂාරි කලුබෝවිල