පළමුවැනි වතාවට මං ඩ්‍රම්ස් ප්ලේ කරනවා පසන් දැක්කෙ වෙඩින් එක දවසේ -සචිනි රණවක

 


සචිනි රණවක බොහෝ දෙනා හඳුනා ගත්තේ සංගීතේ ටෙලි නිර්මාණයේ මහීගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය ලෙසිනි. ඇය මංගල ඇඳුමින් සැරසී ඩ්‍රම්ස් වාදනය කරන වීඩියෝවක් මේ දිනවල සමාජමාධ්‍ය තුළ සංසරණය වීම බොහෝ දෙනාගේ කුතුහලයට හේතුවක් වී තිබිණ. මේ දුලබ දසුන නෙත ගැටුන සියල්ලන්ම තම අදහස පළකර යන්නට අමතක කර තිබුණේ ද නැත. ඇය සැබැවින්ම ඩ්‍රම්ස් වාදනයේ නිපුණත්වයක් හිමි තරුණියක බව සැබෑවකි. ඇය සතු ඒ දුලබ හැකියාව නිසාම ඇයට රංගනයට පිවිසීමේ අවස්ථාව ද හිමි විය. එම වීඩියෝවේ සත්‍යතාව විමසීමේ දී දැනගන්නට ලැබුණේ පසුගිය ඔක්තෝබර් 5 වැනිදා ඇය පසන් කරුණාරත්න සමඟින් යුග දිවියට එළැඹි බවයි. ඒ ගැන වැඩිදුර තොරතුරු කතාබහ කිරීමේ අරමුණෙන් අද අපි ඇය අපේ කතාබහට එක්කර ගත්තෙමු.  



මේ දවස්වල සචිනි සමාජ මාධ්‍යවල ගොඩක් ජනප්‍රිය චරිතයක් වෙලා. මොකක්ද මේ සමාජ මාධ්‍ය කලඹන ඔයාගේ වීඩියෝ එක?


ඒක අපේ විවාහය දවසේ මං ඩ්‍රම්ස් ප්ලේ කරන වීඩියෝවක්. පසුගිය ඔක්තෝබර් 5 වැනිදා මං විවාහ වුණා. ඔහු පසන් කරුණාරත්න. ඇත්තටම පසන් විතරක් නෙවෙයි එයාගෙ ගෙදර අය යාළුවොත් සප්‍රයිස් වුණා ඔය වීඩියෝවේ තියෙන සිදුවීම දැකලා. මට ඩ්‍රම්ප් ප්ලේ කරන්න පුළුවන් කියලා පසන් දැනගෙන හිටියට පළමුවැනි වතාවට ප්ලේ කරනවා දැක්කෙ එදා වෙඩින් එක දවසේ. ඇත්තටම එයා පුදුම වෙලා බලන් හිටියා. ඒ වගේම එයාගෙ පවුලේ අයත්. එයාගෙ අම්මත් මං ඩ්‍රම්ස් ප්ලේ කරන බව දැනන් හිටියා. ඒත් තාත්තා නම් දැනගත්තේ එදාමයි. ඒක වුණේ වෙඩින් එකට ප්ලේ කරපු සංගීත කණ්ඩාමේ ඔක්කොම මගේ යාළුවෝ. එයාලා හරිම දක්ෂ අලුත් කණ්ඩායමක්. එදා අපි ඩාන්සින් ප්ලෝ එකේ හිටිද්දි සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා ඉෂාර එක පාරටම මට ආරාධනා කළා අද ඩ්‍රම් එක ප්ලේ කරමු කියලා. ඒ වීඩියෝව තමයි මේ වෙද්දි සමාජ මාධ්‍යවල සංසරණය වෙන්නේ. ගොඩක් අය ශෙයාර් කරන්නේ බ්‍රයිඩ් කෙනෙක් ඩ්‍රම් එක ප්ලේ කරනවා කියලා. ඒක ගොඩක් දෙනාට පුදුමයක්. මේ වෙද්දි ගොඩක් ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. මගේ ඒ හැකියාව යටපත් වෙලා තිබුණේ. ගොඩක් දවසකින් තමයි එදා ප්ලේ කළේ. ගොඩක් සතුටුයි.


ලස්සන මනාලියක් වෙනඑක ඕනෙම තරුණියකගේ සිහිනයක්. සචිනිගේ ඒ දවස මේ තරම් ලස්සන වුණු හැටිත් කියමු?


ඔව්. එදා හරිම ලස්සනට හැමදේම සිදුවුණා. බොල්ගොඩ පැරඩයිස් ඉන් එළිමහන් පරිශ්‍රය තමයි ඔක්තෝබර් 5 වැනිදා හවස ඒ විදිහට උත්සවාකාරයෙන් හැඩ වුණේ. මාව ලස්සන මනාලියක් කළේ සුභාෂ් අබේවික්‍රම අයියා. පසන්ව හැඩ කළේ ලියෝ සැලෝන් ධනුෂ්ක චතුරංග. ඒ වගේම මගේ සාරිය සැකසුවේ නයෝමා විජේසිංහ. හෝටල් පරිශ්‍රය ආකර්ෂණීය විදිහට සැරසුවේ පැරඩයිස් ප්ලෝරා මිහිරි සමරනායක. ඒ වගේම මගේ හොඳම යාළුවා දෙව්මිණී, ෂයිනි නෙත්තිකුමාර, දුමී වන්නිආරච්චි වගේම යොහානි හෙට්ටිආරච්චි මගේ දෙවැනි මනාලියන් විදිහට සැරසුණා. පසන්ගේ හොඳම මිතුරන් දෙදෙනා චිරන්ත සහ තාරුක වගේම කැළුම් දේවනාරායන සහ ලක්ෂිත පීරිස් පසන්ගේ දෙවැනි මනාලයන් විදිහට එක්වුණා. අපේ වෙඩින් කලර් තීම් එක වුණේ පැස්ටල් පර්පල් සහ වයිට්. මුළු උත්සව ශාලාවම ආකර්ෂණීය ලිලී මලින් සැරසිලා තිබුණා. ඒ හැම දෙයක්ම ආකර්ෂණීය සිහිවටන ලෙසින් සිය කැමරා කාචයට හසුකරගත්තේ ධනුෂ්ක සේනාධීර.


මංගල දිනයේ පසන්ට අමතක නොවන තෑග්ගක් දුන්නා කියලත් ආරංචියි?


ඔව්, ඔව්. මං පසන් වෙනුවෙන්ම නිර්මාණය කළ මගේ අලුත්ම ගීතය රෝස කුමරී එදා පසන් ළඟ තියාගෙන ගායනා කළා. විවාහය දිනය ඔහුට සුවිශේෂී දිනයක් කරන්න මං උත්සාහ කළා. එදා විශේෂ දේවල් ගොඩක් වුණා. ඇත්තටම පසන් එදා සප්‍රයිස් වුණා.


මේ තරම් ආදරේ කරන ඔහු හමුවුණු විදිහ දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැති ඇති?


දෛවයේ ලියවිලා තියෙන කෙනා කොහේ හිටියත් නියමිත වෙලාවට එනවනේ. ඒකත් ඒ වගේ දෙයක්. එකම ගමේ වෙලත් අපි හමුවෙන්නේ අහම්බෙන්. අපි දෙගොල්ලම බොරලැස්ගමුවේ. අපේ පවුල්වල අය දැන හඳුනගෙන ඉඳලත් තියෙනවා. ඒත් පසනුයි මායි දැනන් හිටියෙ නෑ. ඒ දවස්වල මං සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ. පසන් මගේ හොඳම යාළුවගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ හොඳම යාළුවා. මගේ යාළුවයි මායි දෙන්නා එළියට යද්දී යාළුවගේ බෝයි ෆ්‍රෙන්ඩ් එනවා යාළුවාව හමුවෙන්න. ඒ එද්දි එයාගෙ හොඳම යාළුවාත් එක්ක එනවා. එහෙම තමයි අපේ හමුවීම සිදු වෙන්නේ. ඒත් මුලදි මුලදි කතා කළේම නෑ. ටිකක් කල් යද්දි තමයි ටිකෙන් ටික කතා කරන්න පටන් ගත්තේ. ඒකත් යාළුවෝ අපි දෙන්නට විහිළු කළා. මොකද අපි දෙන්න විතරයි සිංගල් හිටියේ. ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කළා අපි දෙන්නත් යාළු කරවන්න. කොහොම කොහොම හරි අන්තිමට ඒකම වුණා.


සචිනි පසන්ට කැමැති වෙන්න විශේෂ හේතුවක් ඇතිනේ?


කතා කරද්දිම මට තේරුණා එයා හරිම කෙයාරින්, හැමදේටම සපෝටිව්, හැම දෙයක්ම තේරුම් ගන්න කෙනෙක් කියලා. කලාව වගේ ක්ෂේත්‍රයක ඉන්න කොට තේරුම් ගැනීම කියන එක හරිම වැදගත්. ඒ වෙද්දි මං තෙවැනි වසර පටන් ගත්තා විතරයි. ඒ අතරේ සංගීතේ ෂූටින්. ඒවයි මේවයි එක්ක මං ගොඩක් බිසී වුණා. පසන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඒ වුණත් එයා නිතරම මගේ කලා කටයුතුවලට වගේම අධ්‍යාපන කටයුතුවලටත් ලොකු සපෝට් එකක් දුන්නා. කැම්පස් එකේ එසයිමන්ට්වලදි, තිසීස් හදද්දි මාර විදිහට උදවු කළා. ඒකම තමයි මං එයාට මේතරම් බැඳෙන්න හේතුව.


දෙදෙනා එකතු වෙලා පටන් ගත්ත අලුත් ජීවිතේ කොහොමද දැනෙන්නේ?


ගොඩක්ම සතුටුයි. අපි දෙන්නා වෙනම ඉන්නේ. ගෙදර වැඩවලදි වුණත් මං එක වැඩක් කරද්දි එයා අනෙක් වැඩේ කරනවා. පසන් කියන්නෙ හරිම සපෝටිව් කෙනෙක්. හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවෙනවා. අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි. ඒ වගේම පසන්ගේ පවුලේ ඉන්නේ අම්මායි, තාත්තායි, නංගියි. පසන්ගේ අම්මා ගැනත් කියන්නම ඕන. මෙතෙක් මගේ අම්මා මාව බලාගත්ත වගේම ආදරෙන් පරෙස්සමෙන් ඒ අම්මත් මාව බලා ගන්නවා. ඉස්සර අපේ අම්මා මාත් එක්ක ෂූටින් ආවා වගේම දැන් පසන්ගේ අම්මත් එනවා. ඇත්තටම මගේ ගායනය පැත්ත දැන් පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ. පසන්ගේ අම්මා නිතරම කියනවා ඔයා ගොඩක් දක්ෂ ගායනය පැත්තට. ඇයි ඒ පැත්තෙන් යන්නෙ නැත්තේ කියලා. එයාලා හැමෝම හරිම ආදරෙන් සලකනවා. මට පිට තැනක් කියලා දැනෙන්නේ නෑ. මගේ පවුල වගේම දැනෙනවා.


සාමාන්‍යයෙන් සම්බන්ධතා පටන් ගනිද්දි ගෙවල්වලින් එක එක බාධා එනවනේ. සචිනිට එහෙම වුණේ නැද්ද?


අපේ ගෙදරිනුත් මුලදි පොඩි අකමැත්තක් තිබුණා. ඒ මං ඉගෙන ගන්න නිසා. පස්සේ කැමැති වුණා. ඒ වගේම පසන්ගේ අම්මා දන්නවා මං කලාවට සම්බන්ධයි කියලා. අම්මා පසන්ගෙන් අහලත් තිබුණා ඇයි ඔයා ඒ ළමයට කැමැති වුණේ කියලා. පසන් කියල තිබුණෙත් මං කිව්ව ටිකමයි. එයා හරිම කෙයාරින්, අන්ඩස්ටෑනින් කියලා. ඇත්තටම අපි දෙන්නම බලාපොරොත්තු වෙලා තිබුණේ එකම දේ. එයාගෙන් මට ලැබුණ දේමයි මගෙනුයි අනිත් පැත්තට එයාට ලැබිලා තියෙන්නේ.


විවාහයත් එක්ක සචිනි දැන් තව තවත් කාර්යබහුල වෙලා නේද?


ඔව්. මගේ අලුත්ම ගීතය රෝස කුමරී මේ දවස්වල ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉදිරියට එමින් තියෙනවා. ගීතය කරලා ටික දවසක් වුණත් වෙඩින් එකත් ළං වුණ නිසා වෙඩින් එක දවසටම රිලීස් කරන්න හිතුවා. රෝස කුමරී එම් එන්ටර්ටේන්මන්ට් වැඩක්. හෂිකා සුරේනිගේ පද රචනය සංගීතවත් කළේ සන්තූර් මැද්දේගොඩ. මාත් එක්ක විෂුවල් එක සඳහා රංගනයෙන් දායක වුණේ කැළුම් දේවනාරායන. මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සංගීතේ – 2 වෙනස් මුහුණුවරකින් මේ දිනවල විකාශය වෙනවා. ඒකෙ ෂූටින් එක්කත් ටිකක් බිසී වෙලා. ඒත් එක්කම කැම්පස් එකේ විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහටත් සේවය කරනවා.



Previous Post Next Post