ලංකාවට ආවේ මාස දෙකකට පස්සේ මීරියබැද්දේ අමරේගේ වගේම සමන්ගේ හීනයත් එක හා සමානයි. තමන්ට තියෙන ප්‍රශ්න කන්දරාවට විසඳුම් සොයන්න මේ රටෙන් එළියට යන්න ඕනෑ කියලමයි ඔවුන් හිතන්නේ. මේ හීනය අමරේගේ සහ සමන්ගේ විතරක්ම නෙමෙයි, අපේ රටේ බහුතර කොල්ලො කෙල්ලන්ගෙ හීනයක්. අන්තිමට අමරෙලාට සමන්ලාට මොකද වෙන්නේ. ඒ ගැන දැනගන්න මේ දිනවල තිරගත වන ක්‍රිස් ඇන්තනී අධ්‍යක්ෂණය කළ පාස්පෝට් බලන්නම වෙනවා. අද අපි කතාබහ කරන්නේ පාස්පෝට් හි සමන්ගේ කතාවයි. සමන්ගේ කතාව අපිට කියන්නේ ධර්මප්‍රිය ඩයස්.
මීරියබැද්දේ සමන් කවදද ලංකාවට ආවේ?
පසුගිය 18 වැනිදා තමයි ලංකාවට ආවේ.
මීරියබැද්දේ සමන් ගැන කට්ටිය ධර්මප්‍රියට මොනවද කියන්නේ?
ඇත්තටම සතුටුයි. සමන් නිතරම අමරෙට සපෝර්ට් එක දීල ඉන්න යාළුවානේ. සමන් බොක්කෙන්ම සපෝර්ට් එක දීලා අන්තිම මොහොතේ අමරේ පැනල යනවානේ. එතැනදී කට්ටියට ඇත්තටම සමන් ගැන දුකක් ඇතිවෙනවා. ඒක ඇත්තටම චිත්‍රපටයේ තියෙන හොඳ සංවේදී තැනක්.
සමන්ලා අමරේලාගේ හීන ගැන මොකද හිතෙන්නේ?
අපේ රට දාල යන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. යන්නේ නැති අයට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ යන්න බැහැ, නැතිනම් යන්න සුදුසුකම් නැහැ, එහෙමත් නැතිනම් සම්බන්ධතා නැහැ, නැතිනම් මම හොඳාකාරවම දන්නවා මේ රටේ ඉන්න මිනිස්සු තුන්කාලකට වැඩිය වෙන රටකට පැනල ගිහිල්ලා. කොයි කවුරු මොන විදිහට කිව්වත් මීට වැඩිය හොඳ විදිහට ජීවත්වෙන්න මිනිස්සු කැමැතියි. මොකද අපේ රටේ මිනිස්සු ඇති වෙයි, නැති වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉඳලා එහෙම එකක් නැහැ කියලා හිතුන දවසේ ඉඳලා වෙන කොහේ හරි හොඳින් ඉන්න පුළුවන් රටකට පැන ගන්න තමයි උත්සාහ කරන්නේ සමන්ලාගේ අමරේලාගේ තියෙන සිහිනය තමයි ඒක. ඒක ඇත්තටම බොරුවක් නෙමෙයි යථාර්ථයක්.
සමන්ගේ පිටපත ධර්මප්‍රියගේ අතට හම්බවුණහම මොනවද කළේ?
මමයි, ජගත් චමිලයි අපේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා ක්‍රිස් ඇන්තනී සමග කතාබහ කරලා තම තමන්ගේ අදහස් හුවමාරු කරගත්තා. ඒ අනුව සමහර අදහස් බොහොම නම්‍යශීලී විදිහට වෙනස් කරගත්තා. ඒක හැමෝම කරන්න ඕනෑ දෙයක් කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ වුණාට මේ චිත්‍රපටයේදී එහෙම දෙයක් සිද්ධ වුණා. ඒක හරිම හොඳම විදිහට වුණා. ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන් ගාණට ගන්න ගොඩක් දේවල් සිද්ධ වුණා.
සමන් හින්දා ධර්මප්‍රිය ෂූටින්වලදී මුහුණ දුන් අභියෝග?
රූපගත කරනකොට ඇත්තටම එහෙම දේවල් ටිකක් වුණා තමයි. මොකද රටවල් හතරක රූගත කිරිම් සිදුකළා. ගොඩක් දුෂ්කරතා මැද්දේ තමයි මේක කරන්න සිද්ධ වුණේ. එක දවසක් තව පොඩ්ඩෙන් මාව බෝට්ටුවට එහෙමම යටවෙනවා. ජගත් චමිල නැතිනම් මම ඉවරයි.
මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ?
බෝට්ටුවකින් විසිපහක් තිහක් වගේ වෙරළට පනිනවා. රැල්ල හොඳින් තියෙන වෙරළක තමයි මේක රූගත කිරීම් සිදුකළේ. විසිපහක් තිහක් ඉන්න බෝට්ටුවේ ටික ටික එක එක්කෙනා අඩුවෙනකොට බෝට්ටුවෙ බර අඩුවෙනවා. අන්තිමට කලින් වගේ තමයි මට බහින්න තිබුණේ. එතකොට බෝට්ටුවෙ බර හොඳටම අඩුයි. බෝට්ටුව රැල්ලට ගොඩක් එහාට මෙහාට විසිවෙනවා. සමබරතාවය නැතිවෙලා මාව එකපාරටම බිම වැටිලා බෝට්ටුව යටට තමයි ගියේ. එතකොට බෝට්ටුව උඩ ගිහිල්ලා මගේ පිට කොන්දටයි කකුලටයි වැටිලා මාව යටවුණා. ඊළඟ පාර ආපහු බෝට්ටුව උඩගියා. මට එන්න බැහැ. මම රැල්ලට එහෙට මෙහෙට වෙවී ඉන්නවා. කවුරු හරි මාව ඇදල ගත්තා මතකයි. ඒ ඇදල ගන්නවාත් එක්කම මගේ කකුල උඩට ආපහු දඩාං ගාලා ඇවිත් බෝට්ටුව වැදුණා. බලනකොට මාව වෙලාවට ජගත් චමිල ඇදල අරගෙන තියෙන්නේ. නැතිනම් ඔළුවටත් එක්ක තමයි බෝට්ටුව ඇවිත් වදින්නේ. ඒක බොහොම අමාරු රූගත කිරීමක්. බෝට්ටුව ඔළුවට වැදුණා නම් එහෙම මැරිල වැටෙනවා. ඊට පස්සෙ එහෙම්ම ෂූට් එක නවත්වලා ඉස්පිරිතාලෙ තමයි ගියේ.
අද වෙනකොට ඒ අත්දැකීම්වල ප්‍රතිඵල භුක්ති විඳිනවා ද?
අනේ ඔව්. පාස්පෝට් බලපු ගොඩදෙනෙක්ගේ හොඳ ප්‍රසාදයක් තියෙනවා. චිත්‍රපටයේ රඟපෑම් ගැනත් කතාබහ කරනවා. ඒ ගැන හරි සන්තෝෂයි.
මීට පෙර එවැනි අත්දැකීම් රැසක් ඇති. “මචං” ගැනත් මේ වෙලාවේ මතක් කරමු නේද?
මචං කියන්නේ වෙනමම අත්දැකීමක්. ෆිල්ම් කෝස් එකක් වෙන රටකට ගිහිල්ලා කරා වගේ. මගේ ජීවිතය පවා කණපිට පෙරළිච්ච නිර්මාණයක් තමයි මචං කියන්නේ. ඒකට අපි අවුරුද්දක් විතර ලෑස්ති වුණා. දර්ශනතලයට ගියාම කිසිම ප්‍රශ්නයක් නැතිව අපිට රූගත කරන්න අවකාශය ලැබුණා. මොකද අවුරුද්දක් විතර අපි පුහුණුවීම් සිදුකළානේ. බොහොම ක්‍රමානුකූලව නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් තමයි මචං කියන්නේ. ඒ වගේම මචං චිත්‍රපටය හින්දා මට ලෝකයේ ගොඩක් චිත්‍රපට උළෙලවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඇගයීම් සහ අගයකිරීම් ලැබුණා. ඒවා ජීවිතය වෙනස් කරපු අත්දැකීම්.
පාස්පෝට් චිත්‍රපටය ඔබ නැරඹුවාද?
පසුගිය 04 වැනිදායින් ආරම්භ කළ නිෂ්පාදනය මට තවම බලන්න බැරි වුණා. ඊට කලින් ඒකෙ සංස්කරණ නිර්මාණයක් බැලුවා. දැන් 04 වැනිදායින් පසුව එක බලන්න ඕනෑ. මොකද මම විදෙස්ගත වෙලා හිටපු හින්දා ඒක නරඹන්න බැරි වුණා. මංගල දර්ශනයටත් සම්බන්ධ වෙන්න බැරි වුණා. දැන් හෙට අනිද්දාට ගිහිල්ලා හොඳ චිත්‍රපට ශාලාවක පාස්පෝට් බලනවා.
සෑහෙන කාලයක් විදෙස්ගත වෙලා හිටියා නේද?
ඔව්. මම සම්බන්ධ වේදිකා නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබුණා ඔස්ටේ්‍රලියාවෙන්. එකක් තමයි මගේම අධ්‍යක්ෂණයක් වන “මම නෙවෙයි වෙන කෙනෙක්” වේදිකා නාට්‍යය. ඒකට ආරාධනා ලැබුණා, මෙල්බර්න්, සිඩ්නි, බි්‍රස්බේන් යන නගරවලින්. ඊටපසුව දවස් පහකට හයකට පස්සෙ රාජිත දිසානායකගේ ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍යය මෙල්බර්න් – සිඩ්නිවල වගේම පර්ත්වල වේදිකාගත කිරීමට නියමිතව තිබුණා. ඉතිං ඔය නාට්‍ය දෙකටම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මාස දෙකක විතර කාලයක් මේ නාට්‍ය දෙක සඳහා විදෙස්ගත වෙලා හිටියා.
ධර්මප්‍රිය ඩයස් කියන රංගන ශිල්පියා දෙස ආපසු හැරී බැලුවොත්?
මෙහෙමයි රංගන ශිල්පියා හැටියට පොඩි එක ලෙඩක් තියෙනවා. ඒ ලෙඩේ තමයි අලුත් චරිතයක් කරන ගමන් ඒක හොඳට කරගෙන යනවා. ඒක ඉවර වුණාට පස්සේ ආයේ පොඩි පිපාසාවක් එනවා වෙනස් චරිතයක් කරන්න ලැබුණා නම් කියලා. ඉතිං ආපසු හැරිල බලද්දී සතුටු වෙලා පැත්තකට වෙලා ඉන්න පුළුවන්කමක් නැහැ ඇත්තටම රංගන ශිල්පියකුට. රංගන ශිල්පියකුට තියෙන්නේ තව හොඳ චරිතයක්, තව වෙනස් චරිතයක් ඉස්සරහට කරන්නේ කොහොමද කියන පිපාසාවයි. ඉතිං මටත් එහෙම අලුත් චරිතයක්, වෙනස් චරිතයක් කරන්න හීනයක් තියෙනවා.
රඟපෑම කියන විෂයය තෝරා ගැනීම ගැන මොකද හිතන්නේ?
ඉතාම සතුටුයි. මම හිතන්නේ ලෝකයේ තියෙන වාසනාවන්තම ක්ෂේත්‍රය තමයි රංගන ක්ෂේත්‍රය. අපේ රට මොන තත්ත්වයේ තිබුණත් ඒ අත්දැකීම විඳින්න මටත් පුළුවන් වෙලා තියෙනවා.
ඔබට ලැබුණු ආරාධනා ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?
මම වේදිකා නාට්‍ය හතළිහකට වැඩිය රඟපාල තියෙනවා. ඒ වේදිකා නාට්‍ය වෙන් වෙන් වශයෙන් ගත්තොත් මොනවා හරි විශේෂත්වයක් තියෙනවා. එක්කෝ රාජ්‍ය සම්මාන ලබපුවා, එක්කෝ මුළු රටම ආදරයෙන් වැලඳගෙන රටපුරා දර්ශනවාර පවත්වපු නාට්‍ය. එහෙම නැත්නම් ඔය දෙකටම අයිති නාට්‍ය.
මිනිස්සු ඉතාම ආදරයෙන් වැලඳගත්තු ටෙලි නාට්‍ය රැසක මම රඟපාල තියෙනවා. ගොඩක් ටෙලි නාට්‍යවල සුවිශේෂී චරිත මට කරන්න හම්බවෙලා තියෙනවා.
චිත්‍රපට ගත්තහමත් එහෙමයි. මම කරල තියෙන චිත්‍රපට අතේ ඇඟිලි ගාණට වුණාට මම කරල තියෙන චරිත මතක තියෙනවා. නළුවෙක් විදිහට ඒවායින් උද්දාමයට පත්වෙලා ඉන්නේ නැතිව ඉදිරියට මීටත් වඩා හොඳ චරිත ලැබේවි කියන විශ්වාසයෙන් ඉන්නවා.
ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැතිද?
චිත්‍රපටයක් කරන්න අදහසක් තියෙනවා. මම මේ දවස්වල පිටපත ලියමින් ඉන්නවා. මට හොඳ නිෂ්පාදකවරයෙක් ලැබිල තියෙනවා. ඒ වගේම හොඳ කණ්ඩායමකුත් ඉන්නවා. ඉදිරියේදී ඒ ගැන කියන්නම්. ලබන වසරේ ඒක ආරම්භ කරන්න නියමිතයි.
ජීවිතය දෙස ආපසු හැරී බැලීමක් සිදු කළොත්?
ඇත්තටම සතුටුදායකයි. අපි ගොඩක් මහන්සි වෙලා තමයි මේ තත්ත්වයට ආවේ. මොකද අපි ගොඩක් දේවල් තිබුණු අය නෙමෙයි. අපේ දෙමව්පියො වුණත් බොහොම සාමාන්‍ය මිනිස්සු.
ඒගොල්ලො බොහොම අහිංසක විදිහට, සාමාන්‍ය විදිහට ජීවත්වෙලා මැරිලා ගිය අය. ලොකු මුදල්, ධනවත් දේපළ පරිසරයක ජීවත්වුණ අයත් නෙමෙයි. අපේ පවුල්වල හිටියේ සමාජයට හානිකර විදිහට ජීවත්වුණ මිනිස්සු නෙමෙයි. අපි ඉතිං ධන ධාන්‍යයෙන් හොඳින් හිටියේ නැතත් හිතේ සතුටින් ජීවත්වෙලා තියෙනවා.
බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
එයා හින්දා තමයි මට මගේ වැඩ ටික පාඩුවේ කරගෙන යන්න ලැබෙන්නේ. නැතිනම් ඒකත් අමාරුයි. මට හොඳ නිදහසක් එයාගෙන් ලැබිල තියෙනවා. මොකද මේ වෘත්තිය තේරුම් අරගෙන තියෙනවා. මම මේ වෘත්තිය නෙමෙයි, වෘත්තියක් විදිහට කරන්නේ. ගුරු වෘත්තියේ තමයි නියැළෙන්නේ. මට පුතාල දෙන්නෙක් ඉන්නවා. මම අදටත් මොරටු මහා විiාලයේ ගුරුවරයෙක් විදිහට සේවය කර්න්නේ. රුවන් අරඹේපොල තමයි විදුහල්පතිතුමා. මට පාසලෙන් ලොකු සහයෝගයක් ලැබනෙවා. මම වෘත්තියෙන් චිත්‍ර ගුරුවරයෙක්. මම උපාධිය හැදෑරුවේ චිත්‍ර, මූර්ති අංශයෙන්. ඒක හින්දා මම චිත්‍ර ගුරුවරයෙක්. නාට්‍යත් උගන්වනවා. කැලණිය සරසවියේ උපාධිය හැදෑරුවේ නාට්‍ය හා රංග කලාව. කොළඹ සරසවියෙ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදෑරුවේ නාට්‍ය හා රංග කලාව, නාට්‍ය හා රංග කලාවත් උගන්වනවා. චිත්‍ර තමයි මගේ විෂයය.
දිනේෂ් විතාන