දිනෙත්... ආදරය ඔයාට දැනෙන්නෙ කොහොමද? ආදරයට නිර්වචනයක් දෙන්න?
මම ආදරය මුලින්ම නිර්වචනය කරන්නෙ අම්මාගෙන්. ඒ ආදරය හරිම පිවිතුරුයි. ආදරය මුලින්ම දැනෙන්න, විඳින්න ලැබෙන්නෙ ඒ ආදරයත් එක්කමයි. ආදරය කියන හැඟීම එතැනින් හඳුනා ගත්තට පස්සේ ගහකොළට, මේ සොබාදහමට ආදරය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අනෙකුත් අයට ආදරය කරන්න පටන් ගන්නවා. ඒ අපි දෙන ආදරය තුළින් ආදරය හටගන්නවා කියලා මම විශ්වාස කරනවා.
ආදරය නිසා ඔයාගේ ජීවිතයට ලැබුණු ජයග්‍රහණ, වටිනාම දේවල් මොනවාද?
ආදරය නිසා මම ජීවිතේ බොහෝ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මම මේ ක්ෂේත්රයට ආවට පස්සේ ආදරය නිසා බොහෝ දේවල් ලැබුණා. ඒ වගේම මට හොඳ යාළුවන් ලැබුණා. මට ලැබුණු සම්මාන හැම දෙයක්ම ලැබුණේ මාත් එක්ක හැම මොහොතකම ඉන්න ප්‍රේක්ෂකයන්ගේ ආදරය නිසයි. ඉතින් මගේ පවුලේ අයගෙන්, යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, මගේ ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් ලැබුණු ආදරය මාව ජයග්‍රහණය කරා තල්ලු කරලා තියෙනවා.
ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම් අහිමිවීම් මොනවාද?
ආදරය අස්සේ රිදුම්, අහිමිවීම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ හැම දෙයක්ම අපි හැමෝටම පොදු දේවල්. ආදරේදී ලැබීම් වගේම තවත් පැත්තකින් නොලැබීම් තියෙනවා. ජීවිතේ සුන්දර බව, ජීවිතයට පන්නරය වගේ හැම දෙයක්ම ලැබෙන්නේ ඒ දේවල් නිසාමයි. ආදරයට පස්සේ විරහවක් තියෙනවා. ඒ දේත් පොදු දෙයක් නිසා ඒ විරහවත් මාව ජීවිතේ ධනාත්මකව හිතන්න පුරුදු කරවනවා. ඒ විරහවෙන් මම කිසිම වෙලාවක දුර්වල වෙන්නේ නැහැ.
ආදරේදී හිතට දැනුණු රිදුම් දරාගන්නේ කොහොමද?
ඒ හැමදේටම සොබාදහම ලොකු උදව්වක් වුණා. සොබාදහම මට හැම මොහොතකම දරාගැනීමේ ශක්තිය දීලයි තියෙන්නේ. මේ අහිමිවීම්, රිදීම් එක්ක ඒවා විඳ දරාගන්න, හිත හදාගන්න මට උදව් කරනවා. අපි සොබාදහමට ආදරය කරද්දී අපිට හැමදේකින්ම සොබාදහමත් ලොකු පන්නරයක් ලබා දෙනවා කියලා මම විශ්වාස කරනවා. විරහව එක මොහොතක දැනුණත් ඒ යථාර්ථය තේරුම් ගන්න අපිට හිතට හයිය ලබා දෙනවා. බොහෝ වෙලාවට මගේ ජීවිතේ දැනුණු රිදුම්, හිත් රිදුම් තනියම විඳ දරාගෙන මමම ඒකට විසඳුමක් හොයා ගන්නවා. අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මගේ ප්‍රශ්න තව කෙනකුට දෙන්න කැමති නැහැ. ඒ නිසා නිහඬ තැනක වාඩිවෙලා මගේ ප්‍රශ්න විසඳගන්න උත්සාහ ගන්නවා.
නළුවෙක් විදියට ලැබෙන ප්‍රේක්ෂක ආදරයේදී හුඟාක්ම සංවේදීව දැනුණු තැනක් තියෙනවද?
මම රඟපෑ “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටයේදී එවැනි සංවේදීව ප්‍රේක්ෂක ප්‍රතිචාර දැනුණු තැන් තිබුණා. “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටය පුරාවට සහෝදරයකුගේ ආදරය උපරිමෙන්ම පෙන්නුම් කරනවා. ඒ චිත්‍රපටය බලපු එක්තරා මල්ලි කෙනෙක් මගේ ළඟට ඇවිත් මගේ අතින් අල්ලාගෙන කතා කළා. ඒක හරිම සංවේදී කතාබහක්. ඒ මල්ලිගේ නංගි නැතිවෙලා. ඒක ඒ මල්ලිට එදාටත් දරාගන්න බැහැ. ඒ දැනුණු සහෝදර සංවේදීකම අදටත් මට තදින්ම දැනෙනවා. එවැනි සංවේදී සිදුවීම් ජීවිතයේ තියෙනවා.
මේ දිනවල සරත් වීරසේකර අධ්‍යක්ෂණය කළ “ශ්‍රී සිද්ධා” චිත්‍රපටයේ දිනෙත් ප්‍රධාන භූමිකාවක් රඟපානවා. එයට ලැබෙන ප්‍රේක්ෂක ආදරය කොහොමද?
ඒ ප්‍රේක්ෂක ආදරය බොහොම ඉහළයි. චිත්‍රපටය කරලා දැන් අවුරුදු පහක් පමණ ගතවෙලා තියෙනවා. චිත්‍රපටයේ අධ්යක්ෂවරයා සොබාදහමට බොහොම ළැදි කෙනෙක්. මිනිසුන්ගේ හැඟීම් ගැන හොඳට දන්න කෙනෙක්. චිත්‍රපටයේදී තමන්ගේ ආදරය පවා රට වෙනුවෙන් කැප කරනවා. ඉතින් ප්‍රදර්ශනය ආරම්භ කරලා තාම ටික දවසයි. මේ පොඩි කාලයට බොහොම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ හැම ප්‍රේක්ෂකයකුටම ඒ ආදරය, ඒ ගෞරවය මම ලබා දෙනවා.
ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදී ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
මට ලැබෙන එවැනි ආදරයක් ළඟ මම ආදරයෙන්ම ප්‍රතිචාර දක්වනවා. මම මගේ ආදරය මට පුළුවන් විදියට ලබා දෙනවා. ප්‍රේක්ෂකයන්ට ඒ පැත්තෙන් මම කරන චරිත ඔස්සේ ඒ අයට පෙරළා ආදරය ලබා දෙන්න උත්සාහ කරනවා. මම කැමරාවක් ඉදිරියේදී නළුවෙක් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී මමත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒ නිසා මම හරි ආසයි සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න.
ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනකුට පුරුදු කරන්න හොඳම විදිය මොකක්ද?
අම්මගේ ආදරයෙන් පස්සේ මේ සොබාදහමට, ගහකොළට ඔබ ආදරය කරනවනම් තමන්ගේ හිත ලස්සන වෙනවා. පිරිසුදු වෙනවා. අම්මට, සොබාදහමට, ගහකොළට, ආදරය කරන්නෙ නැති කෙනාගේ හිතේ හැම මොහොතකම තියෙන්නෙ කේන්තියක්, වෛරයක්. ඒ අය තමන්ගේ නොලැබීම් තුළින් ජීවිතයට හානි කරගන්න උත්සාහ දරනවා. ඒ අයට ආදරය කියන වචනය හරියට තේරුම් ගන්නවත් බෑ. ඒ අයට දුකක් ඇතිවුණාම දරාගන්න බැහැ. ඒ නිසා වෛර කරන්න, පළිගන්න පෙළඹෙනවා. ඒ නිසා හැම මොහොතකම තමන්ගේ අම්මට, ගහකොළට, මේ සොබාදහමට ආදරය කරන්න.
ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවාද?
මම බෞද්ධයෙක් විදිහට ඒ බැඳීම් විශ්වාස කරනවා. ජීවිතේ ගලාගෙන යද්දි අපේ ජීවිතයට මුණගැහෙන යාළුවන් දක්වා මේ හැම කෙනෙක්ම බැඳීමක් ඇති අයයි. මගේ ජීවිතේ මට දැනෙන යාළුවන් මගේ අල්ලට ගන්න පුළුවන් ප්‍රමාණයක් තමයි ඉන්නේ. මාව හරියට දැනුණු ඒ යාළුවන් මාත් එක්ක හැමදාම රැඳේවි.
ආදරේදී ඔයාට ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
ආදරය නිසා මට ලැබුණු ලොකුම වටිනාම තෑග්ග පෙරළා ලැබෙන ආදරයම තමයි.
ආදරය ඕනෑ කියලා වැඩි වැඩියෙන් දැනුණු තැන් තියෙනවාද?
ජීවිතේ එහෙම හිතුණු තැන් තියෙනවා. මමත් මනුස්සයෙක්නෙ. අපිට ජීවිතේ ආදරය අවශ්‍යයි. අපේ අදහස්, හැඟීම් බෙදාගන්න කෙනෙක් හිටියා නම් කියලා හිතුණු තැන් ජීවිතේ තියෙනවා.
ජීවිතේ ඒකපාර්ශ්වික ආදරය විඳලා තියෙනවද?
ඔව්... එහෙම ආදරයක් ජීවිතේ තියෙනවා. ආදරය කියන්නෙම පරිත්‍යාගයක්. අපි යම් කෙනකුට ආදරේ නම් ඒ කෙනාත් අපිට ආදරය කළ යුතුමයි කියලා දෙයක් නැහැ. සමහරවිට අපි ජීවිතයටවත් දැකලා නැති කෙනකුට ආදරය කරන්න පුළුවන්.
• දිශානි ජයමාලි