රංගනයෙන් ඈත් වුණේ කලකිරීමක් නිසාද?




පුංචි තිරයෙන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආ ලක්ෂි ජයවර්ධන කාලයට පසුව යළිත් නිර්මාණ කිහිපයකින්ම දැක ගන්න ලැබෙනවා. ඒ නිසා ඒ එකිනෙක නිර්මාණ ගැන වගේම අනාගතය ගැන කළ කෙටි කතාබහකට සම්බන්ධ වුණා.




මේ දවස්වල එකිනෙකට වෙනස් නිර්මාණ තුනකින්ම දකින්න ලැබෙනවා, ඒ නිර්මාණ ගැන කිව්වොත්....




ජාතික රූපවාහිනියේ විකාශය වන චාලක රණසූරිය තිර රචනා කරන මාවෝ ලක්ෂිත අධ්‍යක්ෂණය කරන ෆ්ලැට් නොවන ෆ්ලැට් හි උදාරි ලෙස රඟපානවා. අවුරුදු පහක් රඟපාන්නේ නැතුව ඉඳලා පටන් ගත්තේ සියත ටීවී නාලිකාවේ විකාශය වන ඔෆිස් ලන්තේ. ඒකත් එක්ක තාමත් වැඩ කරනවා. ඒ එක්කම සිරස ටීවී එකේ වාව් මැඩම් ටෙලි නාට්‍යයේ සබිනාගේ චරිතය කරනවා.


වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන චරිතය මොකක් ද?




ෆ්ලැට් නොවන ෆ්ලැට් හි උදාරි ට තමයි වැඩියෙන්ම ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක වෙනස් විදියේ ගොඩක් වෙරියේෂන් තියෙන චරිතයක්. නොච්චියාගමින් කොළඹට එන උදාරි වැඩ කරන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකක කිව්වට, ඇත්තටම වැඩ කරන්නේ ස්පා එකක.




රංගනයෙන් ඈත් වෙලා හිටියේ කලකිරීමක් නිසා ද?




ඇත්තටම අවුරුදු 5ක් මම වැඩ කළේ නැහැ. අන්තිමට මම රංගනයේ දායක වුණේ දෙරණ නාලිකාවේ රාවණා සීරියස් එකේ භද්‍රාගේ චරිතය. තුෂාර තෙන්නකෝන් අයියා තමයි එහි අධ්‍යක්ෂවරයා. හැබැයි එතනින් පස්සේ මම වැඩ කළේ නැහැ. ඒ කිසිම කල කිරීමක් නිසා නෙවෙයි. මගේ අධ්‍යාපන වැඩ කටයුතු නිසා රංගනය නැවැත්තුවා. මම strategic marketing post graduate diploma එක ඉවර කළා. ඒ නිසා තමයි පොඩි කාලයක් මම ගත්තේ.




දැන් දිගටම රඟපානවද?




ඔව් දැන් දිගටම රඟපානවා. අවුරුදු 5ක කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියට ඇත්තටම මම රංගනයට මාරම ආදරෙයි. ඒක තමයි ඇත්ත කතාව. ඉරේෂ් ලොකු බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ඉඩෝර වැස්ස, තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ රාවණා වගේ නිර්මාණවල මම වෙනස් චරිත කළා. ඒකත් එක්ක මම රංගනය කියන එක එන්ජෝයි කරනවා.




රංගන ක්ෂේත්‍රයට එන්න කොහොමද අවස්ථාව ලැබෙන්නෙ?




මම මේ ක්ෂේත්‍රයට එන්නේ සිනමාපටයකින්. මට ඒ අවස්ථාව ලැබුණේ මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ සුපිරි අන්දරේ කියන චිත්‍රපටය නිසා.

රංගන ශිල්පිනියක් වීම තුළ ලැබුණ නිර්මාණ ගැන තෘප්තිමත් ද?




ලැබුණ නිර්මාණ ගැන තෘප්තිමත්. මට මගේ දක්ෂතා පෙන්නුම් කරන්න පුළුවන් නිර්මාණ ගොඩක් ලැබුණා. විශේෂයෙන්ම කියනවා නම් තුෂාර තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ දෙරණ රාවණා ටෙලි නාට්‍යයේ දෙවන කොටසේ රාවණා විනාශ කරන්න එන භද්‍රා කියන චරිත කරන්න ලැබුණා.




කටකතා ගොසිප් වලට බය ද?




ඇත්තටම කටකතා ගොසිප්වලට බය නම් මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගන්නේ නැහැ. මට ඔය කවුරුත් කියන කතා අදාළ නැහැ. කලින් කිව්වා වගේම මගේ inner circleඑකේ අය මේක වැරදියි කිව්වොත් මම ඒකට සවන් දෙනවා. ඒ හැර inner circle එකෙන් පිට කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ.




ආදරේ දකින්නෙ කොහොමද?




ආදරේ කියන්නේ නැවත කිසිම දෙයක් බලාපොරොත්තු නොවන යහපත් පරාර්ථකාමී හැඟීමක්. මිනිසුන්ගේ හැඟීම් තමයි ලෝකේ වටින්නෙම. නමුත් වර්තමානයේ දී ගොඩක් දකින්නේ ආදරේ පරාර්ථකාමී හැඟීමකට වඩා ආත්මාර්ථකාමී හැඟීමක් කියලයි මට හිතෙන්නේ.




ආදරේ නිසා රැවටුන තැන් තියෙනවද?




ආදරේ නිසා රැවටුන තැන් කියනවට වඩා විශ්වාසය කඩවුණු තැන් තියෙනවා. ඒ නිසා මම රැවටුනා නෙවෙයි කියලා මම හිතනවා. මම ආදරේ කරපු විශ්වාසය කඩ කළා කියලා මම හිතනවා.




මේ කාලයේ ආදරවන්තියක් ද?




නැහැ. අවුරුදු 5ක් රඟපාන්නේ නැතුව ඉඳලා මම ආයේ රඟපාන්න පටන් ගත්ත මට දැන් ආදරේට වඩා ඕනේ මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න. ඇත්තම ගත්තම මගෙත් එක්ක මේ ක්ෂේත්‍රයට ආව අය අද මට වඩා ගොඩක් ඉස්සරහට ඇවිත් තියෙනවා. හැබැයි මම වෙන ක්ෂේත්‍රයක ළඟා කර ගත්ත දේවල් ගොඩක් වැඩියි. ඒ නිසා මට ලොකු අවශ්‍යතාවක් තියෙනවා මගේ දක්ෂතා එක්ක ඉස්සරහට යන එක.





Previous Post Next Post