වඩාත්ම ජනගත වුණු ටෙලි නිර්මාණය ලෙසින් සම්මානිත ‘ඉස්කෝලේ‘ ටෙලි නිර්මාණයේ දිනුකිගේ භූමිකාවට පණ පොවන ඇය සශ්රීකා සේමිණීය. රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂකයන් අතරට එන්නට මත්තෙන් ඇය 2015 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් දක්ෂතම ගායන තරුව ලෙස ද අභිෂේක ලැබුවාය. ගායනය, රංගනය මෙන්ම නර්තනයේ ද හපන් සශ්රීකා පසුගිය දා තම ජීවිතයේ තවත් සුවිශේෂී කඩඉමක් පසු කළාය. දහසක් අභියෝග හමුවේ ලද ජයග්‍රහණයේ සොම්නස පෙරදැරිව ඇය අප හා කතාබහට එක්වූවාය.
‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත‘ කියන පැරණි කියමනට සශ්රීකා අභියෝග කළා නේද?
ඔව්. ඔව්. මට ඒක කරන්න පුළුවන් වුණා. මේ පාර සාමාන්‍ය පෙළ විභාගයෙන් A 9ක් අරන් මාත් ඉහළින්ම සමත් වුණා. ඉස්කෝලේ නාට්‍යයේ ෂූටින් වගේම ගායන කටයුතු කරගෙන යන අතරේම තමයි මේ ජයග්‍රහණයත් ලැබුවේ. ඒ නිසා හරිම සතුටුයි. මේ දවස්වල සුබපැතුම්වලින් නිමාවක් නෑ.
මං ඉගෙනගන්නේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ. ෂූටින් නිසා ඉස්කෝලේ වගේම ක්ලාස් මඟහැරුණු අවස්ථා තිබුණා. ඒවා ගුරුවරුන්ගෙන් අහගෙන මඟ හැරුණු සටහන් යාළුවන්ගෙන් ලියාගෙන කොහොමහරි පාඩම් වැඩ කර ගත්තා. කොතරම් කාර්යබහුල වුණත් මොනම වෙලාවකවත් මම ඉගෙනීමයි අනෙක් කටයුතුයි පටලව ගත්තෙ නෑ. ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගත්තා. අනෙක් වැඩවලදි ඒවට මුල් තැන දුන්නා. රංගන කටයුතුවලට සම්බන්ධ නොවුණ නම් මේ ප්‍රතිඵලය ගන්න එක අමාරු දෙයක් නෙවෙයි කියලා හිතුණා. කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා හිටිය නිසා මට පොඩි බයකුත් තිබුණා කොහොම වෙයිද කියලා.
ගෙදරින් ලැබුණු සහයෝගය ගැනත් කියමු?
මගේ ගම පාදුක්ක. මගේ හැම දේකදිම මගේ අම්මා තාත්තා මගේ හෙවණැල්ල වගේ ඉන්නවා. ඒ ඇරුණම මට ඉන්නේ මල්ලිලා දෙන්නෙක්. මගෙ තාත්තා විදෙස්ගත වෙලා ඉන්න නිසා අම්මා තමයි මගෙයි මල්ලිලාගෙයි හැමදේම බැලන්ස් කරගෙන යන්නේ. ගෙදරින් නිතරම කියන්නේ මොන දේ කළත් අධ්‍යාපනයට මුල් තැන දෙන්න කියලා පුංචි කාලෙ ඉඳන්ම අම්මලා මගේ ඔළුවට දැම්මෙත් ඒක.
සශ්රීකා මේ ක්ෂේත්රයට එන්නේ රංගන ශිල්පිනියක් විදිහට නෙවෙයි?
ඔව්. 2015 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් – 7 ගායන තරගයේ දක්ෂතම ගායන තරුව බවට පත් වුණේ මං. ඒත් එක්ක තමයි කලාවට පිවිසෙන්නේ. මේ වෙද්දි ගායනය පැත්තෙන් විශාරද පාර්ට් -II කරලා ඉවරයි. මගේම කියලා ගීත තුනක් එළි දක්වලා තියෙනවා. ඊට අමතරව කවර් සෝන්ග්ස් ගොඩක් කරලා තියෙනවා. තව ඉදිරියට එන්නත් තියෙනවා. රෝහණ වීරසිංහ සර් එක්ක කළ මිනිසා සුවඳයි මල සේ කවර් සෝන්ග් එක ගොඩක්ම ජනප්‍රිය වුණා. ඒ වගේම ටෙලි නාට්‍ය, චිත්‍රපට තේමා ගීත ගායනා කරලා තියෙනවා. ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුණු ‘මිණි පහන ඔබයි‘ ඉන්දියානූ ටෙලි නාට්‍ය මාලාවේ තේමා ගීතය ගායනා කළේ මං. ඒ වගේම ෆුල්සිට හඬ කැව්වෙත් මං. තවත් ටෙලි නිර්මාණ කිහිපයකම තේමා ගීත ගායනා කරලා තියෙනවා. පසුගියදා ආදායම් වාර්තා තබමින් තිරගත වුණු කදිර දිව්‍යරාජ සිනමාපටයේ නිරෝෂා විරාජිනී මිස් එක්ක තේමා ගීතය ගායනා කළා.
එතකොට ඔබ රංගනයට පිවිසෙන්නේ?
දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගයේ දක්ෂතම ගායන තරුව විදිහට තේරීමෙන් මාස තුනකට විතර පස්සේ තමයි මට රංගනයට ආරාධනා ලැබුණේ. මුලින්ම ටීවී කොමර්ෂල්වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ නත්තල් ඒකාංගික කතාවකට සම්බන්ධ වුණා. ඒත් එක්කම ඒකාංගික නාට්‍ය කිහිපයකටම අවස්ථාව ලැබුණා. ඊටත් පස්සේ තමයි ඉස්කෝලේ ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණේ. මේ දවස්වල චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.
ඉස්කෝලේ නාට්‍ය රූගත කිරීමේදී විශේෂ අත්දැකීම් ලබන්න ඇති?
ඔව්. ඔව්. ගොඩක්ම දොළේ තමයි. මේ ළඟදි මං ලිස්සලා වැටිලා කොන්දට ඩැමේජ් වුණා. තාමත් බෙහෙත් කරනවා. ඒ වගේම කුඩැල්ලෝ නිසා අපහසුතාවට පත්වුණු අවස්ථා තියෙනවා. ඉස්කෝලේ නාට්‍යයේ අපේ ගෙදරයි පින් ළිඳයි තියෙන්නේ අතුරුගිරියේ. දොළ තියෙන්නේ හොරණ. ඔළිඳෙ ඉස්කෝලේ තියෙන්නේ මීගොඩ.
අධ්‍යාපනයට වගේම කලාවටත් එක සේ දස්කම්පාන සශ්රීකාගේ අනාගත ඉලක්කය මොකක්ද කියල ඇහුවොත?
මං සාමාන්‍ය පෙළ ඉවරවුණු ගමන්ම පෞද්ගලිකව බිස්නස් මැනේජ්මන්ට් උපාධිය කරන්න පටන් ගත්තා. ඒක අවුරුදු 4ක්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ උසස් පෙළ සඳහාත් පෞද්ගලික අංශයෙන් ජීව විද්‍යාව හදාරන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරියක් වෙන්නත් ආසයි. ඒ වගේම ඩිග්‍රිය සම්පූර්ණ කරලා මගේම කියලා දෙයක් පටන් ගන්නත් කැමැතියි.
නාමලී ගමගේ