ඉතින් ඉතින් ‌කොහොමද? - Dhananjaya Siriwardena

dhananjaya-siriwardane

ඉතින් ඉතින් කොහොමද?

මේ දවස්වල දේශපාලනය නිසා බොහෝ දේවල් දේශපාලනික වෙලා තියෙනවා. මම එහෙම පක්ෂ දේශපාලනික නොවී ඉන්න උත්සාහ කරනවා. මේ දවස්වල වැඩසටහනක් නිවේදනය කරනවා. සිනමාපට හතරකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු. විශේෂිත වුණු සිනමා පටයක් ඉදිරියේ දී එන්න නියමිතයි. ඒක මගේ ජීවිතයේ වැඩිපුරම කැපවීම් කරලා රඟපාපු නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. ඒ චරිතය ගැනත් අපි ඉදිරියේ දී කතා කරමු.



ධනංජයට සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමා පටයේ හාමුදුරුනමකගේ චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ‘ගෞතම බුද්ධ මාතා’ චිත්‍රපටය ගැන ඔබට හිතෙන දේ මොකක්ද?

ඒක හාමුදුරුනමකගේ චරිතයක් වුණාට මම රඟපෑවේ ආනන්ද හාමුදුරුවන්ගේ චරිතයයි. ආනන්ද හාමුදුරුවන් කියන්නේ කවුද කියලා මම කාටවත් කියන්න ඕනෑ නෑ. ඒ ගැන බොහෝ දෙනා දන්නවා.ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ මම ලොකු චරිතයක් රඟ නොපෑවට බුද්ධ චරිතය තුළ ආනන්ද හාමුදුරුවන් කියන්නේ ප්‍රබල චරිතයක්. ඒ නිසා මම ඒ චරිතය බොහොම කැමැත්තෙන් බාරගත්තා.

ඒ චරිතය කරද්දී ලබපු අත්දැකීම් කොහොමද?

සිනමා පටය තුළදී ඒ චරිතය විශාල ලෙස දිගහැරෙන්නේ නෑ. නමුත් ඒ සීමිත දර්ශනය තුළ දී අධ්‍යක්ෂවරයා ලබාදෙන උපදෙස්වලට අනුව, පිටපතට ගැලපෙන විදිහට සාධාරණයක් කරන්න මම උත්සාහ ගත්තා. ඒ ඔස්සේ ආනන්ද හාමුදුරුවන් ගැන අහලා, තියෙන දේවල් කියවලා, ඒ විදිහට මම ඒ චරිතයට සූදානම් වුණා. චරිතය වෙනුවෙන් මම මගේ සම්පූර්ණයෙන්ම හිස මුඩු කළා. ඒක මම චිත්‍රපටයක් වෙනුවෙන් කළ කැප කිරීමක්. ඒ හැමදේම චරිතය සාර්ථක කරගන්න මට ඉවහල් වුණා.

ඒ හිස මුඩු කිරීම අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමක්ද? ඔබ ස්ව කැමැත්තෙන් ගත්ත තීරණයක්ද?

ඇත්තම කිව්වොත් ඒක සුනිල් සර්ගේ ඉල්ලීමක් නෙවෙයි. සර් ඒ වෙනුවෙන් “විග් එකක් දාමු” කියලා කිව්වා. නමුත් හිස මුඩු කිරීම ඊට වඩා හොඳයි කියලා. මට හිතුණා. හොඳ චරිතයක් වෙනුවෙන් ඒ වගේ දෙයක් කළාට කමක් නෑ.



සුනිල් ආරියරත්න නම් අධ්‍යක්ෂකවරයා ධනංජයට දැනෙන විදියට කිව්වොත්?

‘බුද්ධ මාතා’ කියන්නේ මම සුනිල් සර් එක්ක වැඩ කරන තුන්වැනි සිනමා පටයයි. ඔහු මම දැකපු විදිහට සරලම මහාචාර්යවරයා කිව්වොත් නිවැරදියි. ඔහු මහාචාර්යවරයෙක් විදිහට රටේ සුවහසක් දරුවන්ට ඉගැන්වූ කෙනෙක්. එවැනි මට්ටමේ චරිතයක් වුණාට අපිට හැමදාමත් ඔහු හොඳ යාළුවෙක් විදියට දැනෙනවා. රූගත කිරීමක් නොවන විටක දී හම්බවෙන හැම තැනකදීම සර් හරිම නිහතමානී චරිතයක් විදිහට හැසිරෙනවා. අපිට යාළුවෙක් වගෙයි. ඕනෑම දෙයක් ඔහු එක්ක කතා කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. ඔහු හරිම විනෝදයෙන් වැඩ කරන කෙනෙක්. කොයිම වෙලාවකදිවත් වැඩ නිසා හිතට ආතතියක් අරගන්නවා අපි දැකලා නෑ. එයා හරිම සතුටින් සැහැල්ලුවෙන් වැඩ කරන කෙනෙක්. කොණ්ඩෙ කපන්න අඩුම තරමින් ඔහු මගෙන් ඉල්ලීමක්වත් කළේ නෑ. හැබැයි මගේ කැමැත්තෙන් පුරා මාසයක් පංචශීලයට අනුව ජීවත් වුණා. ඒ කාලය අතරතුරේ මම තාවකාලිකව පැවිදි දිවියටත් ඇතුළත් වුණා.

ධනංජය නළුවෙක් විදියට රඳවා ගත්ත ජනප්‍රියත්වයට සමානම ජනප්‍රියත්වයක් අද නිවේදකයෙක් විදිහට රඳවාගෙන තියෙනවා. අද වෙද්දි ජනප්‍රිය කලාකරුවන් කලාකාරියන් එක්ක කරන රූපවාහිනී වැඩසටහන ගැනත් කියමු?

සුප්‍රීම් ටීවි එකේ ඒ වැඩසටහන මම කරන්නේ හරිම කැමැත්තෙන්. එතකොට ඒ හැම කලාකරුවෙක් කලාකාරියක් ගැනම මම සොයා බලනවා. සමීක්ෂණය කරනවා. ඒ අතරේ ඔවුන් විශ්වාස කරන, ආසා කරන දේවල්, ඔවුන්ගේ අදහස් මට දැනගන්න ලැබෙනවා. සමහර වෙලාවට මම ඒ අයගේ හොඳ රසිකයෙක්. ඒ තරමටම මම ඒ අය ගැන සොයා බලනවා. ඒ දේවල් සොයා බලලා වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වෙලාවට මම ක්ෂේත්‍රය තුළ ඉන්න කාලය, ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය වගේ දේවල් අමතක කරලා ඒ එන කෙනාගේ අදහස් බෙදාගන්න උත්සාහ ගන්නවා. ඒ නිසා මගේ ජනප්‍රියත්වයට වඩා ඒ අයගේ ජනප්‍රියත්වය ගැන මම හිතනවා. ඒ වැඩසටහනට ප්‍රවීණ අය වගේම හැම මට්ටමේම කලාකරුවන් එනවා. මම කාලයක් තිස්සේ මේ වැඩේ කරන නිසා ඔවුන් දැන් මගේ හොඳ යාළුවෝ. ඒ අයටත් මම මේ තොරතුරු ලබාගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මම එහෙම තොරතුරු සොයා ගැනීමම ඒ අයට පුදුමයක්. එතැනට එන කිසිම කලාකරුවෙක් කලාකාරියක් “අහන්න එපා” කියපු දෙයක් මම අදටත් අහලා නෑ. කිසිම කලාකරුවෙක් අපහසුතාවයට පත්වෙන විදියේ ප්‍රශ්න මම අහලා නෑ. ඒ අයගේ ජීවිතේ රසවත් දේවල් ආයෙ ආයෙත් මම මතක් කරනවා. ඒ වැඩසටහනට මම හරි කැමතියි. ඒ පොඩි කාලය තුළ දී හරි දෙයක් ජීවිතයට එකතු කරගන්න මම කැමතියි.



සුනිල් සිරිවර්ධන නම් ආදරණීය පියාගේ වියෝව අදටත් ඔබට දරාගන්න අමාරුයි. ඔහු හැම මොහොතකම මතක් වෙනවා ඇති. මෑත කාලයේ දී ඒ වියෝව වැඩියෙන්ම දැනුණු දවස මතක් කළොත්?

එහෙම දිනයක් කියන්න බෑ. ඒ වියෝව අපි කවුරුත් බලාපොරොත්තු නොවුණු මොහොතක, මුහුණ දෙන්න සූදානම් නොවුණු මොහොතක වුණු දෙයක්. තාත්තා වයසයි. කොයි මොහොතේ හෝ  තාත්තා අපිව අතහැර යන බව අපි දැනගෙන හිටියා. ඒත් එහෙම වුණාම ඒක දරාගන්න බෑ. තාත්තාගේ අවසාන කැමැත්තක් තිබුණා. ඒක මහන්සිවෙලා කරලා අවසන් වෙලා නිවසට ආවට පස්සේ අපි ගොඩක් දුක් වුණා. ඒ වියෝව තේරුම් කරන්න තේරෙන්නේ නැහැ. එතැන ඉඳන් මගේ ජීවිතෙත් ගොඩක් දේවල් වෙනස් වුණා කියලා මට හිතෙනවා. අපිව විතරක් නෙවෙයි, ඔහු බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට හඳුන්වලා දීපු කෙනෙක්. මටයි අයියලා දෙන්නටයි කලාව පිළිබඳ ලබාදුන්න දේම අපිට ඇති. හැබැයි අදටත් තාත්තා නැතුව අපිට හරි පාළුයි.

දියණිය එක්ක ගත කරන ජීවිතේ කොහොමද?

දැන් දුව අලුත් පාසලකට යනවා. දවසින් දවස එයා ලෝකය දකිනවා. ලෝකය ගැන තේරුම් ගන්න පටන් ගන්නවා. ඒක හරිම ලස්සන කතාවක්. ඒ කතාව ඇතුළේ අපි එයාව රස විඳිනවා. එයා දවසින් දවස ජීවිතය හොයාගෙන යනවා.

ධනංජය තුළ නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්, ගායකයෙක්, නර්තන ශිල්පියෙක් ජීවත් වෙනවා. ඔබ දියණිය තුළින් ඒ දේවල් දකිනවද?

ඔව්.. මම හිතනවා වගේම ඇගේ ගුරුවරියන් පවසන විදියට ඇය කලාවට කැමැත්ත තියෙන, ඒ තුළින් සිතුම් පැතුම් තියෙන දරුවෙක්. දුව කලාවට කැමතියි. මගේ යම්කිසි කලාත්මක ජානයක් තියෙනවා නම්, ඒ හැකියාව එයාට කොපි වෙලා ඉවරයි. එයා වෘත්තීමය කලාකරුවෙක් නොවුණට එයාගේ ඇඟේ කලාව තිබීම ගැන මට සතුටුයි. එයාගේ ඇඟ ඇතුළේ මම ඇති.

ධනංජගේ බිරිඳ හොඳ රැකියාවක් කළ කෙනෙක්. ඇය ගුවන් සේවිකාවක්. විවාහය, මව් පදවිය වෙනුවෙන් ඇය ඒවා කැප කළා. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්... එයා කාලයක් ගුවන් සේවිකාවක් විදිහට රැකියාව කළා. මවක් කියන්නේ කැපවීම්වල එකතුවක්. ලෝකයේ ඉන්න සියලුම අම්මලා කෙරෙහි ආදරයක් ඇගේ ඒ කැප කිරීමත් එක්ක මට දැනුණා. දුව කවදා හරි අම්මා වගේ හැදේවි.

(දිශානි ජයමාලි,  සුමුදු හේවාපතිරණ - Deshaya)




Previous Post Next Post