කොළඹ ආවෙ ජොබ් එකක් හොයාගන්න - දේව් සුරේන්ද්‍ර


දෙවෙනි ඉනිම, රීකන්ඩිෂන් කෙල්ල වැනි ටෙලි නාට්‍ය හරහා පුංචි තිරයේ ඔබ දකින ඔහු පළමු වතාවට ‘කම්බිලි’ සිනමා නිර්මාණය හරහා රිදී තිරයට එනව. ඔහු නමින් දේව් සුරේන්ද්‍ර වැඩි කතා නැතිව අපි දේව්ගෙන්ම තොරතුරු දැනගමු.

දේව්, මොනවද අලුත් තොරතුරු?

පසුගිය දවස්වල මම ‘කම්බිලි’ සිනමාපටයට සම්බන්ධ වුණා. ඒක දැන් තිරගත වෙනව. ඒ වැඩකටයුතුවලට තමයි මේ දවස්වල වැඩියෙන් සම්බන්ධවෙලා ඉන්නෙ. ඊට අමතරව ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ෂූටිංවලට සහභාගි වෙනව. කලින් මම සම්බන්ධ වුණ නාට්‍ය දෙකක ෂූටිං ලබන මාසයේදී පටන්ගැනීමට නියමිතව තියෙනව. ඒ වගේම මේ දවස්වල විකාශය වන ‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලියේ මගේ චරිතය ඉදිරියේදී දැකබලාගන්න පුළුවන් වෙයි.
ලොකු ස්ක්‍රීන් එකේ මාව දකිනකොට මාර ආතල් - දේව් සුරේන්ද්‍ර

‘කම්බිලි’ හි කළණට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මේ මගේ පළමු වැනි සිනමා රංගනය. පසුගිය දවස්වල අපි හෝල් විසිට්වලට සහභාගි වුණා. ඒ අවස්ථාවන්වලදි කළණගේ චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන මේ ආදරය ගැන බොහොම සතුටුයි.

කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?

මට මේ ආරාධනය ලැබෙන්නෙ ‘කම්බිලි’ අධ්‍යක්‍ෂ ප්‍රසාද් කළුපහන මහත්මයාගෙන්.
ලොකු ස්ක්‍රීන් එකේ මාව දකිනකොට මාර ආතල් - දේව් සුරේන්ද්‍ර

කළණ වෙනුවෙන් විශේෂ සූදානමක් වුණාද?

මුලින්ම පිටපත කියවල බැලුව මට මොනවද කරන්න තියෙන්නෙ කියල. ඉන් පස්සෙ අධ්‍යක්‍ෂවරයා සමග කතා කළා. මෙහි ප්‍රධාන චරිතය රඟන අමිල අයියත් එක්ක, ඔහුගේ යහළුවා හැටියට තමයි මට රඟපාන්න තිබුණෙ. ඒ ඒ අවස්ථාවන් හැටියට කොහොමද අපි චරිතයට අවතීර්ණ වෙන්නෙ කියන දේ ගැන අපි කතා වුණා. ඊට අමතරව විශේෂ සූදානමක් අවශ්‍ය වුණේ නැහැ.

අමිලගෙන් ලැබුණ සහයෝගය මොන වගේද?

මගේ චරිතය ගොඩනගාගන්න අමිල අයියගෙන් වගේම අපේ කණ්ඩායමෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. ඔහු මින් පෙර සිනමාවට සම්බන්ධවෙලා තියෙනව. නමුත් මේ මගේ පළමු අවස්ථාව නිසා ඒ සහයෝගය ලොකු පිටිවහලක් වුණා.



පළමු වතාවට පුළුල් තිරයේ ඔබ ඔබවම දකිනවා?

මින් පෙර මම මාව දැක්කෙ පුංචි තිරයේ. ඇත්තටම ලො-කු ස්ක්‍රීන් එකේ මාව දකිනකොට අම්මට සිරි, මාර ආතල් එකක් තිබුණෙ. වචනෙන් කියන්න බැහැ. ඒක මරු. එතැනදි මට දැණුනෙ මේ වගේ දේවල් තමයි කරන්න ඕන කියල.

මේ ඔබ බලාපොරොත්තු වුණ අවස්ථාවක්ද?

මීට කලිනුත් මට ආරාධනා ලැබුණා. පිටපත පවා ලැබිල තිබුණත් ඒවා ක්‍රියාවට නැංවුණේ නැහැ. ඒවා සමග සසඳනකොට මේ පිටපතේ පවා ලොකු වෙනසක් මම දැක්කා.

දේව් ඇයි කලාව තෝරාගන්නෙ?

මට පොඩිකාලෙ ඉඳන් රංගනය ගැන ආසාවක් තිබුණා. නමුත් මට අවස්ථාවක් ලැබෙන්නෙ කොළඹ ඇවිත් මගේ යාළුවකුගේ ගෙදර නැවතිලා ඉන්න කාලෙ. ඒහේ ඉන්න අතර ආසාවට මම මොඩ්ලින් ක්ලාස් එකකට සම්බන්ධ වුණා. එතැනදි මට අවස්ථාව ලැබෙනව වෙළෙඳ දැන්වීමකට පෙනී ඉන්න. ඒ අවස්ථාවෙන් පස්සෙ කොහොම හරි රංගන ක්‍ෂේත්‍රයට එකතුවෙනව කියන අරමුණ මට ඇතිවෙනව.

දේව්ගෙ විස්තර ටිකක් කියමු?

මහනුවර, සුදුහුම්පොළ, කටුකැලේ ගමේ තමයි මම ඉපදුණේ. පාසල් ගියේ කිංග්ස්වුඩ් විද්‍යාලයට. පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියල දෙන්නයි, නංගියි, මමයි.

මහනුවර ඉඳන් කොළඹ එන්නෙ ඇයි?

මම නුවර ඉන්න කාලෙ පොඩි ජොබ් එකක් කළා. ඒ අතර යාළුවො කිව්ව ඕවා කරල හරියන්නෙ නැහැ, ජොබ් එක්ක හොයාගන්න කොළඹ එන්න කියල. එතැන යාළුවො හතරපස් දෙනෙක් හිටියා. චාමර කපුගෙදර අරගෙන තිබුණ ගෙදර තමයි අපි හැමෝම හිටියෙ.

ඔබේ වෘත්තිය?

මේ වන විට මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්.

ලැබෙන වටිනාකම සාධාරණද?

ඒක සාපේක්‍ෂයි. සමහර තැන්වලදි අපි හිතන වටිනාකම අපිට ලැබෙනව. සමහර නිර්මාණවලදී ඒක වෙනස් වෙනව. මම වෘත්තීය රංගන ශිල්පියෙක් හැටියට දැන් අවුරුදු දහයක් විතර ක්‍ෂේත්‍රයේ ඉන්නව. මට සෑහීමකට පත්වෙන්න බැරි තරමේ අඩු වටිනාකමක් ලැබෙන නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නෙ නැහැ.

දැන් නිරූපණයෙන් ඈත් වෙලාද?

නැහැ, අදටත් මොඩ්ලින්වල කරන ෆොටෝ ෂූට් සහ බ්‍රයිඩ්ල් ෂූට්වලට ආරාධනයක් ලැබුණොත් භාරගන්නව.



ජීවිතේ දකින්නෙ කොහොමද?

අපි හරි දෙයක් කළොත් හරි දෙයක් ලැබෙයි. වැරදි දෙයක් කළොත් වැරදි දෙයක් ලැබෙයි. සතුටින් ඉන්න ඕන.

කලකිරීම්, හිත්රිදීම් තියෙනවද?

එහෙම දේවල් වෙලා තියෙනව. සමහර දේවල්වලින් පාඩම් ඉගෙනගන්නව. මම නිතරම උත්සාහ කරන්නෙ අද දවසේ ජීවත් වෙන්න. ඉදිරියේදී මොනවද කරන්නෙ කියල ප්ලෑන් කරනව. නමුත් ගොඩක් ඉදිරිය ගැන හිතන්නෙ නැහැ.

කැපිලි කෙටිලි?

නැහැ.. නැහැ… මට එහෙම කිසිම දෙයක් වෙලා නැහැ. මෙතෙක් මට මුණගැහුණ හැමෝම උදව් කරල තියෙනව. දැනටත් උදව් කරනව. කවුරුත් මගෙත් එක්ක තරහත් නැහැ.

කම්බිලි සිනමාපටයේදී ඔබට ප්‍රවීණයන් රැසක් මුණගැහෙනව?

බිමල් අයිය සහ ධර්මප්‍රිය අයිය එක්ක මම කලින් වැඩකරල තියෙනව. ඔවුන් මේ රටේ ඉන්න ප්‍රබල, ප්‍රවීණ, දක්‍ෂ ශිල්පීන්. නීටා ප්‍රනාන්දු මහත්මිය මට පළමු වතාවට වැඩකදි මුණගැහෙන්නෙ. එතුමියත් බොහොම සහයෝගයෙන් අපිත් එක්ක වැඩ කළා. නෙත්මි රොෂෙල්වත් මේ වෙලාවෙ මතක් කරන්න ඕන. මේ නිර්මාණය, අපි හැමෝගෙම සහයෝගයෙන් නිර්මාණශීලීව තිරයට ආපු එකක්.

රංගනයට යොමු වුණාට ගෙදරින් අකමැත්තක් නැද්ද?

නැහැ. ඔවුන් කවුරුත් කිසිම වැරැද්දක් කියල නැහැ. හැමෝගෙන්ම ලැබෙන්නෙ ලොක-ු සහයෝගයක්.

එක ගෙදර එකට හිටපු යාළුවො අදත් ඉන්නවද?

ඔව්… ඔව්… ඒ සෙට් එක තවම කතාබහ කරල ඉන්නව. අපේ ගෲප් එකක් තියෙනව. ඒකෙන් අපි අපි ගැන නිතර හොයල බලනව.

දේව්ගෙ හිත නතර වුණ තැනක් තියෙනව කිව්වොත්?

ම්ම්ම්… ඔව්, කෙනෙක් ඉන්නව. එයා කැමති වුණොත් බඳිනව. නැත්නම් ඉදිරියේදි මොනව වෙයිද කියල දන්නෙ නැහැ. එයා මේ ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි.

මහේෂ් එදිරිසිංහ


Previous Post Next Post