මම එච්චර කැතට නැටුවේ ජීවිතේ පළමු වතාවට - සුධීක්ෂා සමාධි



වයස් භේදයකින් තොරව මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්නේ ලතා මංගේෂ්වරීය. ඇය අපට හමුවන්නේ සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ මායාවී තිර පිටපතේය. මානසික ආබාධයකින් පෙළෙන ඇයගේ මානසික මට්ටමේ විවිධත්වය සියුම්ව උකහා ගනිමින් චරිතය සජීවීව ප්‍රේක්ෂකයා වෙත සමීප කරන්නට වෙහෙසෙන ඇය සුධීක්ෂා සමාධිය.


ලතා මංගේෂ්වරී කියන්නේ සුධීක්ෂා සමාධිගේ ජීවිතේ උඩුයටිකුරු කරපු චරිතයක් කිව්වොත්?


ඇත්තටම ඔව්. මගේ ජීවිතේටම ලැබුණු අභියෝගාත්මක චරිතය. මෙතෙක් කරපු චරිතවල එකිනෙකට වෙනස්කම් තිබුණත් ප්‍රේක්ෂකයන් මගෙන් ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා කියලා මට දැනුණා. ඒකට හොඳම පිළිතුර තමයි මායාවී ටෙලි නිර්මාණයේ ලතා මංගේෂ්වරී. ඇය මානසික ආබාධයකින් පෙළෙන යුවතියක්.


චරිතයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?


මායාවී සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණයක්. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර පිටපතක්. නිෂ්පාදනය ලලිත් වසන්ත. මට ආරාධනා ලැබෙන්නේ නිෂ්පාදක ලලිත් වසන්තගෙන්. චරිතය භාරදෙද්දිම ඔහු මට කිව්වා සමාධි ඔයාට තියෙන්නෙ මානසික ආබාධයකින් පෙළෙන, ගෙදරටම කොටු වුණු ගැහැනු දරුවකුගේ චරිතයක් කියලා. ඒ වෙලාවේ නම් මට පොඩි ඩවුට් එකක් ආවා. මට මේක කරගන්න පුළුවන් වේවිද කියලා. ඒත් මං ඒ අභියෝගය භාරගත්තා.


මේක අසාමාන්‍ය චරිතයක්. කොහොමද සූදානම් වුණේ?


ඒක තමයි ලොකුම අභියෝගය වුණේ. මේක මන:කල්පිත චරිතයක් නෙවෙයි. හාස්‍ය, දුක, ඊර්ෂ්‍යාව, ආදරය වගේ හැඟීම් හරිම සූක්ෂ්ම විදිහට ලියවිලා තිබුණා. මේ අද සමාජයේ ජීවත් වන චරිත. ඒ නිසා මේක හරියටම කරන්න වෙනවා. නිළියක් කිව්වම ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ ලස්සනට ඇඳ පැලඳගෙන, ලස්සනට කතා කරන කෙනෙක් කියලා. ඒත් මේක ලොකු ඇස් ගෙඩි දෙක කරකව කරකව කතා කරන, අවුල් හිසකෙස් සහිත පුංචි කොණ්ඩ දෙකක් එක්ක චීත්ත ගවුමක් බඩ මැදට ඇඳගෙන ලස්සනට ඇවිදින්නවත් බැරි විරූපී චරිතයක්. මං ඒක කරන්න කැමැති වුණා. ඒ වගේ ගැහැනු ළමුන් ඉන්න තැනකට ගිහින් මං ඔවුන්ව හොඳින් අධ්‍යයනය කළා. මේ සම්බන්ධ චිත්‍රපටි බැලුවා, ටෙලි නාට්‍ය බැලුවා. අදටත් මං සතියකට වතාවක්වත් ගිහින් ඒ ළමුන් අධ්‍යයනය කරනවා. අම්මත් එක්ක ගිහින් අම්මට ඔවුන් එක්ක ගැවසෙන්න දීලා මං ඔවුන්ව නිරීක්ෂණය කරනවා. ඒ හැම අත්දැකීමක්ම එකතු කරගෙන තමයි ලතා මංගේෂ්වරී බිහිවෙන්නේ. ඇත්තම කිව්වොත් මායාවී ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණාට පස්සේ මං වෙන නිර්මාණ එකයි භාර ගත්තේ. මේක ලොකු ප්‍රෙෂර් එකක්. ෂූටින් කරල ආවම හරිම වෙහෙසයි. මුහුණේ මාංශ පේශීන් රිදෙනවා. සමහර වෙලාවට ගෙදර අය එක්කවත් කතා කරන්නෑ.


ලතා මංගේෂ්වරීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාම සතුටුදායකයි. සමාජ මාධ්‍යවල වීඩියෝ ක්ලිප්ස් ෂෙයාර් වෙමින් වයිරල් වෙනවා. මඟතොටේදි ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඔයා ඒක හොඳටම කරනවා කියලා කමෙන්ට්ස් ලැබෙනවා. යාළුවොන්ගෙන් ඉහළින්ම ප්‍රතිචාර ලැබෙනවා. ගෙදර අය කියන්නෙත් මං ඒක ගොඩක් හොඳින් කරනවා කියලා. ඔවුන්ට ලොකු විශ්වාසයක් තිබුණා මං ඒක කරාවි කියලා. එපිසෝඩ් එකක් ඉවර වුණහම ඊළඟ එකේ මොකක්ද කියලා මගෙන් අහනවා. ඒ තරම් නොඉවසිලිමත්. මායාවී ඉදිරියේ දී තවත් රසවත් වේවි. මායාවි නිසා මේ දවස්වල මාත් ගොඩක් සතුටින් ඉන්නේ.


මායාවිත් එක්ක අමතක නොවන අත්දැකීම් ඇති.?


එක තැනක මට නටන්න තියෙනවා. ජීවිතේ පළමු වතාවට මං එච්චර කැතට නැටුවේ. නටන්න කලින් අධ්‍යක්ෂවරයා ළඟට ඇවිත් කිව්වා සමාධි අපි රිහර්සල් එකක් ගමු නේද කියලා. නෑ අයියෙ ඕන නෑ අපි ටේක් එකම ගමු කියලා මං කිව්වා. මොකද රිහර්සල් කරන්න ගියොත් මට ලැජ්ජයි. දෙවනි පාරත් ඔහු රිහර්සල් එකක් ගමු කිව්වා. ඒත් මං නෑ අපි ටේක් එකම ගමු කියලා. එහෙනම් ඔන්න ඔයා මේ සින්දුව ඉවර වෙනකල්ම නටන්න ඕන කිව්වා. මං එක පාරක් විතරක් කැමරාව තියෙන තැන බලා ගත්තා. ඔක්කොම අමතක කරලා මං නටන්න ගත්තා. සීන් එක ඉවර වෙලා බලද්දි ඉන්න අයට හොඳටම හිනා. එයාලට ඕන මාව තවත් නටවන්න. සීන් එක කට් කරලා ඩිරෙක්ටර්, කැමරා අධ්‍යක්ෂ මගේ ළඟට ඇවිත් අහනවා කොහෙන්ද බන් ඔය නැටුම හොයාගත්තෙ. කොහොමද ප්‍රැක්ටිස් වුණේ කියලා. පස්සෙ දවසෙත් යාළුවො කියනවා අර ඩාන්ස් එක ලස්සනයි. පොඩ්ඩක් දාලා පෙන්නන්න කියලා. එදා අධ්‍යක්ෂවරයා තේරුම් ගත්තා මං චරිතෙ අල්ලගෙන ඉන්නෙ කියලා.


ලතා මංගේෂ්වරී ගැන සමාධිගේ පෙම්වතාගෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොමද?


චරිතය ලැබුණු ගමන් මුලින්ම මං කිව්වේ ඔහුට. ඔයා මේක කරන්න. ඔයා මේක හරියට කළොත් මේක තමයි ඔයාගේ රංගන ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ. ඔයා කොතරම් දක්ෂ ද කියන එක ප්‍රේක්ෂකයා හරියටම තීරණය කරන්නෙ මේකෙන් කියලා ඔහු කිව්වා. මුල්ම සීන් එක බලලා ඔහු කිව්වා මං හිතුවටත් වඩා හොඳට ඔයා ඒක කරනවා කියලා.


නාමලී ගමගේ



Previous Post Next Post