ඒ දවස්වල අපේ තාත්තා මට මනමාලයෝ හොයනව ඉවරයක් නැතුව -චාරුනී




කීර්ති පැස්කුවල් කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම්. එහෙත් අද අපේ කතාබහට එක්වන්නේ ඔහුගේ දියණිය චාරුනී පැස්කුවල්ය. පසුගිය දා කමිත් රණසිංහ සමඟ යුග දිවියට පිවිසි ඇයගේ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යවල බොහෝ ප්‍රතිචාර ලබමින් සංසරණය වෙයි. දියණිය සමඟ මනරම් නර්තනයක යෙදෙන කීර්ති පැස්කුවල්ගේ වීඩියෝවක් ද බොහෝ දෙනාගේ අවධානයට. චාරුනී- කමිත් පෙම් කතාව මල්පල ගැන්වුණු ඒ දිනයේ සුන්දරත්වය ඔවුන් අප ඉදිරියේ දිගහැරියේ මෙලෙසිනි.

චාරුණී පළමුව අපහා කතාබහට එක්වුණා.


“අපේ විවාහ ගිවිස ගැනීම සිදුවුණේ සැප්තැම්බර් 6 වැනිදා උදේ වරුවේ හිල්ටන් හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල් රූම් එකේ. එදාම හවස පෝරුවේ චාරිත්‍ර කරලා නෑදෑ හිතමිතුරන්ගේ සහභාගිත්වයෙන් උත්සවය පැවතුණා. සැප්තැම්බර් 11 වැනිදා හෝම් කමින් එක තිබුණේ කමිත්ගේ ගෙදර. කමිත්ගේ අම්මා හරි ලස්සනට ඒක ප්ලෑන් කරල තිබුණා.


ඇත්තම කිව්වොත් අපිට වෙඩින් ප්ලෑනර් කෙනෙක් හිටියෙ නෑ. ඔක්කොම ප්ලෑන් කළේ අපි දෙන්නමයි. මුලින් අපි වෙඩින් ප්ලෑනර් කෙනෙක් ගන්න කතා වුණා. ප්ලෑනර් කෙනෙක් මොකටද මේ මම ඉන්නෙ කියලා එතැනදි තාත්තා අපිත් එක්ක එක්වෙලා මේ හැමදේම ප්ලෑන් කළා. අපේ තීම් කලර් එක වුණේ බ්ලූ ඇන්ඩ් වයිට්. එදා මුළු හෝල් එකම පිරිල තිබුණේ බ්ලූ හයිඩ්‍රින්ජියා සහ වයිට් රෝසස්වලින්. බ්‍රයිට්ස්මේඩ්ලා ඇතුළු අපේ පිරිස විතරයි අපේ තීම් කලර් එකට සම්බන්ධ වුණේ. ආරාධිතයන් සියල්ලන්ටම කැමති විදිහට ඇඳ පැලඳගෙන එන්න නිදහස තිබුණා.


ඒ වගේම එදා රාත්‍රිය අපේ ජීවිතේ අමතක නොවන රැයක් කරන්න වෙහෙසුණ බ්ලැක් මියුසික් බෑන්ඩ් එකත් ආදරෙන් මතක් කරන්න ඕන.“ එහෙම කියාගෙන අපේ කතාබහට එක්වුණේ කමිත්.


එදා මුළු රෑම කිසිම බ්‍රේක් එකක් ගන්නෙ නැතුව ඔවුන් දිගටම ප්ලේ කරලා අපේ දවස ලස්සන කරගන්න ලොකු සහායක් දුන්නා. රෑ 12 විතර වෙනකල් අපිත් හිටියෙ ඩාන්සින් ෆ්ලෝ එකේමයි. අපි දෙන්නටත් වාඩිවෙලා ඉන්න හිතුණෙම නෑ. අඩුම ගානෙ අපිට නෑදෑයො එක්ක හරියට ෆොටෝ එකක් ගන්නවත් වුණේ නෑ. සෙටි බැක් එකේ ෆොටෝ ඇත්තේ උපරිමේ දහයක් පහළොවක් වගේ. ආයිම මේ වගේ දවසක් එන්නෙ නෑනෙ කියල අපිත් ඒ දවස එන්ජෝයි කරන්න ඕන කියලා හිතුවා. මං අපේ ගෙදර වැඩිමලා. චාරුනිත් එහෙමයි. ඒ නිසා දෙපැත්තටම මේක අලුත් අත්දැකීමක් වුණා.“


“ඉන්දියන් විදිහට මාව හැඩ කළේ නුවන් විජේතුංග, බ්‍රයිඩ්ල් කළේ චරිත් විජේසේකර. කමිත් ෆුල් සූට් ඇන්ද. හරි ලස්සනට අපිව ජායාරූපගත කළේ නදුන් බදුගේ. අපේ එදා දවස ලස්සන කරගන්න සහභාගි වුණු හැමෝටම ගොඩක් ස්තුතියි.“ චාරුනී කමිත්ගේ පිළිතුර තවත් වර්ණවත් කළා.


දෛවයේ ලියවිලා තියෙන විදිහට ඔවුන් දෙදෙනා හමුවෙලා තියෙන්නෙත් හරි අපූරු විදිහකට.


“අපි දෙන්නම වැඩ කළේ ලංකාවෙ තියෙන uk ලෝ ෆර්ම් එකක. එතැනදි අපි හඳුනගත්තෙ සාමාන්‍ය යාළුවො විදිහට. ඔය අතරේ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා සූදානම් වෙන්න 2022 දී මං ජොබ් එකෙන් අයින් වෙනවා. ඒත් යාළුවන්ගේ වදේට අවුරුද්දේ අවසාන පාර්ටියට මටත් සහභාගි වෙන්න වෙනවා. එදා දවසෙ තමයි චාරුනීටයි මටයි ගොඩක් වෙලා කතා කරන්න අවස්ථාවක් ලැබුණේ. එදා අපිට තේරුණා අපි දෙන්නගෙම අදහස් ගොඩක් සමානයි කියලා. චාරුනී තාත්තගෙ ප්‍රසංගවලට ගායනයෙන් සහාය වුණා. මාත් පොඩි කාලෙ ඉඳන්ම වයලීන් එක ප්ලේ කරනවා. මායි මල්ලියි දෙන්නම නැෂනල් ඔගස්ට්‍රා එකේ වයලීන් ප්ලේ කළා.“


කමිත් දෙන්නව ඒ විදිහට ගළපගන්න උත්සාහ කරද්දි චාරුනී කතාවේ තවත් පැත්තක් හෙළි කළා.


“ඒ දවස්වල අපේ තාත්තා මට මනමාලයෝ හොයනව ඉවරයක් නැතුව. හොයන්නෙත් පිට රටවල ඉන්න ඩොක්ටර්ස්ලා, ඉංජිනියර්ලා. අද ඩොක්ටර් කෙනෙක් බලනවා ඒකට බෑ කිව්වම හෙට ඉංජිනියර් කෙනෙක් බලනවා. අපි දෙන්න එදා වැඩිපුරම කතා කළෙත් ඒ ගැන. මං ඉතින් කමිත් එක්ක බණිනවා මේ බලන්න අද තව එකක් කිය කියා. ඒ මදිවට තාත්තා මාව රට යවන්නත් ප්ලෑන් එක. ඒ වෙද්දි නංගි ඔස්ට්‍රේලියාවේ සෙට්ල් වෙලා හිටිය නිසා තාත්තා පූර්ණකාලීනව බැලුවෙ මං ගැන. මට ඩිග්‍රි ප්‍රපෝසල් බලන්න කියනවා. වීසා ගැන බලන්න කියනවා. ඉවරයක් නෑ. මං බැලුව මේක හරියන්නෙ නෑ. තාත්තට කමිත් ගැන කියන්න ඕන කියලා. ඒ වෙද්දි අපි දෙන්නටම අපි දෙන්නව දැනිල තිබුණා.


චාරුනීගෙ ඒ කතාවට කමිත් ඔහුගේ අදහසකුත් එකතු කළා.


‘චාරුනීට කොහොම වුණාද දන්නෙ නෑ. ඒත් මට නම් එයා ගැන මහා ඇල්මක් දැනුණා. මං මාර විදිහට කැමැති වුණා. අපි දෙන්නගෙ ගොඩක් අදහස් සමානයි කියලා මට තේරුණා. මං එදා ගෙදර ඇවිත් අම්මටත් කිව්වා මෙහෙම කෙනෙක් ඉන්නව අම්මා මං හරි කැමැතියි කියලා. ඔය අතරෙ චාරුනීගෙ තත්තගෙ ‘මනමාල හැන්දෑව’ ෂෝ එකට මට චාරුනීගෙන් ටිකට් දෙකක් ලැබුණා. එතැනදි මං තේරුම් ගත්තා ටිකට් දෙකකුත් දුන්නෙ මෙයත් මට කැමති නිසා කියලා. ෂෝ එක ඉවරවෙලා අපි ෆොටෝත් ගත්තා. ඊට පස්සෙ එයාගෙ නංගි ඔස්ට්‍රේලියා ගියා. සති තුනකට විතර මෙයාලත් ගියා.“


චමිත්ගේ කතාවට එක් වෙමින් චාරුණි කිව්වේ මෙහෙම කතාවක්.


“ඔව්. එහේ ගිහිල්ලත් තාත්තා මට ප්‍රපෝසල් හොයන්න ගත්තා. කමිත්ට ඒව කියද්දි එයාට ඉවසන්න බෑ.


චාරුණී ලංකාවෙ හිටියෙ නැති ඒ දවස් ටික ගෙවාගත්ත අමාරුව කමිත් අපට කිව්වෙ මෙහෙම.


“චාරුනී ගිය දවසෙ ඉඳන් මං කළේ යූටියුබ් එකෙන් කෝඩ්ස් ඉගෙන ගෙන සින්දුවක් කියලා හැමදාම චාරුනීට යවනවා. එහේ හිටිය සති තුනට දවස ගානෙ හැමදාම සින්දුවක් යැව්වා. හරියටම ගිය අවුරුද්දෙ මාර්තු 15 චාරුනී ලංකාවට ඇවිත් ඊළඟ දවසෙම මාව බලන්න ආවේ ෂර්ට්ස්, ටීෂර්ට්ස් වගේම චීස්, නට්ස් ජාති පුරවපු ලොකු කෑම මල්ලක් උස්සගෙන. එදා මම කෙලින්ම චාරුනීට කිව්වා ඔයා ගියාට පස්සෙ මට හරි පාළුවක් දැනුණා. මට ඔයා නැතුව තව ඉන්න බෑ will you be my girl friend කියලා. ඒ හරියටම ගිය අවුරුද්දෙ මාර්තු 16. එදා ඉඳන් වෙඩින් එක දවස වෙනකල් අපි හැමදාම හමුවුණා. එච්චරටම නැතුවම බැරි ගතියක් අපිට අපි ගැන තිබුණා.


තාත්තට කමිත් ගැන කියන්නෙ කොහොමද කියන එක තමයි ඊළඟට මට තිබුණු ගැටලුව. එහෙම කියාගෙන කතාවට සම්බන්ධ වුණේ චාරුනී.


“ලංකාවට ආවට පස්සෙ තාත්ත මට ප්‍රෙෂර් කරනවා, පරක්කු කරන්නැතුව යන්න ඕන, වීසා වැඩ ටික බලන්න කියලා. ඒ වෙලාවෙ මං තාත්තට කිව්වා ඔයාට මුණගස්සන්න කෙනෙක් ඉන්නවා කියලා. ඊට දවස් දෙකකට පස්සෙ තාත්තා කිව්වා කමිත්ට අපේ ගෙදර එන්න කියලා.


“මමත් අලුත් ඇඳුම් අරගෙන ලෑස්තිවෙලා දෙගිඩියාවෙන් චාරුනීලගෙ ගෙදර ගියාට ලොකු ගැටලුවක් තිබුණා. මොකද මං ඒ වෙද්දි ජොබ් එකෙන් අයින් වෙලා. මං LLB උපාධිධාරියෙක්. නීති විභාගය ඉවර කරගන්න ඕන නිසා තමයි ජොබ් එකෙන් අයින් වුණේ. චාරුනී ලෝයර් කෙනෙක්. තාත්ත එයාට බලන්නෙත් ඩොක්ටර්ස්ල ඉංජිනියර්ස්ල. ඒ අතරෙ මට චාන්ස් එකක් නැතිවෙයිද කියලයි මං බය වුණේ.“ කමිත් ඒ අතීතය සිහිපත් කළේත් හැඟීම්බරව.


“මං මොනවද කරන්නෙ, මගේ ප්ලෑන් මොනවද? මේ සම්බන්ධය දිගටම කරගෙන යන්න අදහස තියෙනවද? කියල තාත්තා මගෙන් කෙළින්ම ඇහුවා. මං කිව්වා, මං කාත් එක්කවත් එහෙම සෙල්ලම් කරන්නෙ නෑ. ඇත්තටම ආදරේ නිසා මං මෙහෙම කමිට්මන්ට් එකකට ආවේ. මං 100%ක් එයාට දෙනවා. මං කවදාවත් එයාට අතක්වත් උස්සන්නෑ. ඇහැක් වගේ එයාව බලාගන්නව කියලා එදා මං පොරොන්දුවක් වුණා. එදා තාත්තට මං ගැන ලොකු පැහැදීමක් ඇති වුණා. තාත්තගෙ නිහතමානීකම නිසා එදා ගෙදර ඇවිල්ලත් රෑ පැය හතරක් පහක්ම මං තාත්ත එක්කමයි කතා කළේ. චාරුනිත් කිව්වා අපේ තාත්තට ඔයා ගැන ෆුල් සැටිස් කියලා. එහෙම තමයි අපේ ආදර කතාව මල්පල ගැන්වුණේ.“


වෙඩින් එක දවසෙ බ්‍රයිඩ් විදිහට මාව දැකලා තාත්තා ගොඩක්ම ෂොක් වුණා. චාරුනී නැවතත් හඬ අවදි කළා.


“බ්‍රයිඩ් කෙනෙක් ෆස්ට් ලුක් එක කියලා එකක් කරනවා. මනමාලයා මනමාලියක් විදිහට මුලින්ම ඇය දකින්නෙ එතැනදි. එදා මට දාපු හෙයාර් ස්ටයිල් එක මොකක්ද ඇන්දුවෙ කොහොමද කියල කමිත් දැනගෙන හිටියෙ නෑ. මාව කවර් කරන් ඉඳලා එක පාරටම පෙන්නුවහම කමිත් ෂොක් වුණා. ඒකම අපි තාත්තටත් කළා. බ්‍රයිඩ්ස්මේඩ්ලා මාව කවර් කරන් ඉඳල 1,2,3 කියල එක පාරටම හැරුණ විතරයි තාත්තට හාස් ගාල ඉහළට ගත්ත හුස්ම හිරවුණා වගේ වුණා. ඇස් රතු වෙලා හෝ ගාල අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මගේ පපුව පිච්චිලා ගියා. තාත්තගෙ පපුවත් රිදෙන්න ගත්තලු. ඒ මාව දැකලා සතුට වැඩිකමට. අපි තුන්දෙනාම බදාගෙන ඇඬුවා.“


චාරුනී කියපු දේට කමිත් තවත් යමක් එකතු කළා.


“එදා දුන්න පොරොන්දුව තාත්තා ආයිම මතක් කරලා ඒක ඒ විදිහටම ඉටු කරන්න, කවදාවත් දුවව රිද්දන්න එපා කියලා අපිට ආශීර්වාද කළා. එදා තාත්තා දුව වගේම අම්මා පුතා අතරත් ලස්සන ඩාන්ස් එකක් තිබුණා. චාරුනීගෙයි තාත්තගෙයි ඩාන්ස් එක මේ වෙද්දි වයිරල් වෙනවා.“


චාරුනී වගේම ඇයගේ පවුලේ නිහතමානීත්වය ගැන මතක් කරන්නත් කමිත් අමතක කළේ නැහැ.


“ජනප්‍රිය අය වුණත් චාරුනීගෙ පවුලෙ අය හරිම හොඳයි. මං ඒක තේරුම් ගත්තෙ වෙඩින් එකට ගොඩක් කලින්. දවසක් හදිසියේ අපේ තාත්තට හාර්ට් ඇටෑක් එකක් ආවා. හදවත නැවතිලා තිබුණේ. මායි මල්ලියි දෙන්න එකතු වෙලා කෘත්‍රිම ශ්වසනය දීලා අවශ්‍ය ප්‍රථමාධාර දීලා තාත්තගෙ හදවත වැඩකරන තත්ත්වෙට ගත්තා. අපි ඒ ගැන දැනුම්වත් වෙලා හිටියා. තාත්තව හොස්පිට්ල් ගෙනියපු ගමන් චාරුනියි, අම්මයි, තාත්තයි තමයි මුලින්ම ඇවිත් හැමදේම හොයලා බලලා කළේ. මාස තුනක් තාත්තට හොස්පිට්ල් ඉන්න වුණා. දවස් 6ක් ICU හිටියා. ICU හිටිය දවස්වල තාත්තට සිහිය තිබුණෙ නෑ. චාරුනීගෙ තාත්ත ඇවිත් ඔයා මට මල්ලි කෙනෙක් වගේ, වෙඩින් එකක් වෙන්නම ඕන නෑ. දැන් අපි පවුලක් වෙලා ඉවරයි ඔයා බයවෙන්න එපා මං ඔයාගෙ පවුල ගැන බලනවා කියලා අපේ තාත්තගෙ ඔළුව අත ගගා හිටියා. මට කවදාවත් ඒක අමතක වෙන්නෙ නෑ. එහෙම බැඳීමක් අපි දෙගොල්ලො අතරෙම තිබුණා. චාරුනී අපේ මල්ලිට සලකන්නෙත් එයාගෙම මල්ලිට වගේ. එයාගෙ වැඩෙත් කොයිවෙලාවෙත් අක්කට වද දෙන එකම තමයි.“


නාමලී ගමගේ



Previous Post Next Post