මගේ ගමනට කිහිප විටක්ම ආදරය බාධාවක් වුණා - සුජානි විනෝද්‍යා




සුජානි විනෝද්‍යා මේ දිනවල වැඩිපුරම ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ රතු අක්කා මෙන්ම ප්ලැට් නොවන ප්ලැට් ටෙලි නිර්මාණයේ කුමාරිගේ චරිතයෙනි. ඇය බොහෝ දෙනාගේ ආදරයට ලක්වන්නේ කටකාර බව නිසා කිව්වත් හරි. සංසාරිණීහි තිහස්වරගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස අහිංසක චරිතයකින් ඔබ හමුවට ආවේ ඇයමදැයි ඔබ පුදුම වනවා නොඅනුමානය. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ප්ලැට් නොවන ප්ලැට් ටෙලි නිර්මාණයේ කුමාරිගේ චරිතයට රතු අක්කාට නොඅඩු ජනප්‍රියත්වයක් ලැබෙන බව ඇය පවසා සිටියාය. අහිංසක ගැමි චරිතයකින් ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගැනීමේ ආසාවකින් පසුවන ඇය අද අප හා කතාබහට එක්වුවාය.


සුජානි මේ දිනවල සමාජයේ බොහෝ කතාබහට ලක්වන චරිත දෙකකින් ප්‍රේක්ෂකයා හමුවට එනවා. කොහොමද ඒ අත්දැකීම්?


ඔව්. ඔව්. සිහින ගෙනෙන කුමාරියේ නැවතත් දීර්ඝ වුණා. එහි රතු අක්කාගේ චරිතය පුදුමාකාර විදිහට ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. කොහේ ගියත් මාව අඳුනගෙන ඇවිත් කතා කරන සෙල්ෆි ගහන ප්‍රේක්ෂක පිරිසක් මට ඉන්නවා. ඒක මට ලොකු සතුටක්. රතු අක්කා කියන්නේ මැර චරිතයක් වුණත් ඒකට ගොඩක් දෙනා ආදරෙයි. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන මාවෝ ලක්ෂිත අධ්‍යක්ෂණය කරන චාලක රණසූරියගේ තිර පිටපතක් වන ප්ලැට් නොවන ප්ලැට් ටෙලි නිර්මාණයේ කුමාරි කියන්නෙත් ටිකක් කටකාර සමාජයේ කතාබහට ලක්වන චරිතයක්. කුමාරිටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.


ප්ලැට් නොවන ප්ලැට් සඳහා ආරාධනා ලැබෙන්නේ කොහොමද?


තිරපිටපත් රචක චාලක රණසූරිය අයියගෙන් තමයි මට ආරාධනා ලැබෙන්නේ. ඔහු තමයි මාව කුමාරිගේ චරිතයට තෝර ගත්තේ. කුමාරි කියන්නේ මිනීමරු මංකොල්ලකරුවෙක්ගේ බිරියක්. ගැහැනියක් ජීවිතේ අසරණ වුණහම මුහුණ දෙන්න වෙන අනේක විඳ හැලහැප්පීම් හොඳින් නිරූපණය වෙන චරිතයක්. ඒක ප්‍රධාන චරිත කිහිපයෙන් එකක්.


සුජානි රංගන ක්ෂේත්‍රයට ආපු විදිහ ගැන මතක් කළොත්?


මට රංගනයට පාර කිව්වේ නර්තනය කිව්වත් හරි. ශාන් සර් තමයි මාව ඩාන්සින් පැත්තට යොමු කළේ. මගේ ඩාන්සින් දැකල ප්‍රදීප් මානවඩු අයියා ධරණී ටෙලි නිර්මාණයේ නටාෂාගේ චරිතයට මට කතා කළා. ඒකෙන් පස්සේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වුණු සිවගුරුනාදන් සර්ගේ කී ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහි තිළිණිගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශය වුණු දොකොන්මාරුව ටෙලි නිර්මාණයේ බිම්බරා කියන්නෙත් ප්‍රේක්ෂක ආදරය දිනාගත් සෙල්ලක්කාර චරිතයක්.


සුජානිට බොහෝවිට ලැබෙන්නේ කටකාර මැර චරිත එහෙම නැත්නම් සෙල්ලක්කාර චරිත. ඒකට හේතුවක් තියෙනවද?


මගේ කටත් ටිකක් සැරයි. ඒ වගේම මං බයත් නෑ. ඒ නිසා මට ඒ වගේ චරිත ලැබෙනවා ඇති. ඒව මට කරන්නත් පහසුයි. අනිත් එක මං කොණ්ඩය කලර් කරපු නිසා මට ගැමි චරිත ගැළපෙන්නෙ නෑ කියල හිතනවා ඇති. ගැමි චරිතයක් කරන්න මං හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.


ඔබ මේ වනවිට සිනමාවටත් අවතීර්ණ වෙලා?


ඔව්. මුල්ම අත්දැකීම ලැබුවේ රජිත හිරාන්ගේ රයිඩර් චිත්‍රපටයෙන්. ඊට පස්සේ කසුන් තරින්ද අධ්‍යක්ෂණය කරන PLESING THORNS එහෙම නැත්නම් මධුර කටු සිනමාපටයට ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. සමන් අලංකාරගේ නිෂ්පාදනයක්. මේ දවස්වල තිරගත වන හොරා අංකල් නිෂ්පාදනයත් ඔහුගේ. මේ වෙද්දි PLESING THORNS ලන්ඩන්, ඉතාලි නගරවල ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රදර්ශනයටත් සියල්ල සූදානම්.


සුජානිගේ පවුලේ තොරතුරු ටිකකුත් කියමු?


මගේ ගම මතුගම. මට ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි. මං පාසල් ගියේ අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයට. ආර්ථික අපහසුකම් නිසා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න අපහසු වුණා. මං ගොඩක් ලොකු වෙහෙසක් දරලා, ගොඩක් දුක් විඳලා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ආපහු හැරිල බලද්දි මට මං ගැන ලොකු සතුටක් දැනෙනවා.


සුජානි ආදරවන්තියක් ද කියලා ඇහුවොත්?


ආදරණීය අත්දැකීම් තියෙනවා. ඒත් මේ වෙද්දි ආදරය කියන මාතෘකාවෙන් ඈත් වෙලා ඉන්නේ. මට ඕන මේ ෆීල්ඩ් එකේ හොඳ තැනකට යන්න. ඒත් මගේ ගමනට ආදරය කිහිප විටක්ම බාධාවක් වුණා.


ආදරණීය අත්දැකීම් ගැනත් කියමු?


මං මුලින්ම ආදරය කළේ ගෙවල් ළඟ කෙනෙකුට. ඒක වුණේ මං අවුරුදු උත්සවයක කඹ අදින්න ගිහින්. එදා මාව දැකලා එයා පස්සෙන් ආවේ. ඒ වෙලාවෙ නම් මං එයාට සෙරෙප්පුවෙන් ගහන්නත් ගියා. අද නිර්මාණවල දකින චණ්ඩිකම එදත් මා ළඟ තිබුණා. කොහොමහරි එයා අතහැරියෙ නෑ. දිගටම පස්සෙන් ඇවිත් කොහොම හරි යාළු කරගත්තා. ඒත් එයා මං මේ ක්ෂේත්‍රයට එනවට කැමැති වුණේ නෑ. ඒ නිසා ඒ ආදරයට සමුදෙන්න වුණා. ඊට පස්සෙ ඇති වුණු සම්බන්ධයත් ඒ වගේ. එයත් මං මේ ක්ෂේත්‍රයේ රැඳෙනවට කැමැති වුණේ නෑ. මට දෙකෙන් එකක් තෝරගන්න කිව්වා. මං මේ ක්ෂේත්‍රය තෝරගත්තා. ආදරය මගේ ගමනට බාධාවක්. ඒ නිසා දැන් මං ආදරය ගැන හිතන්නේ නෑ. රංගනයෙන් ඉදිරියට ගිහින් හොඳ නමක් දිනාගන්න එක තමයි මගේ අරමුණ.


නාමලී ගමගේ



Previous Post Next Post