මම කවදාවත් මල්කාන්ති නන්දසිරි වෙන්න උත්සාහ කළේ නැහැ




ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ජීවිතයම කැප කළ මහා ගාන්ධර්වයෙකු වෙනුවෙන් සිය ජීවිතය පමණක් නොව තමා තුළ වූ කුසලතාවන්, රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ද ලෙස වැජඹෙන්නට තිබූ අවස්ථාවන් කැප කළ ස්වාමි දියණිය නැතහොත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරියන්ගේ යෝධ සෙවණැල්ල වූයේ ප්‍රවීණ ගායිකා සංගීත විශාරද මල්කාන්ති නන්දසිරි නම් වූ ඇයයි. අගෝස්තු මාසය ඇය උපන් මාසයයි. ගෙවුණු ඒ සොඳුරු මාසයේදී ඇය ගෞරව සම්මාන ත්‍රිත්වයකින්ම පිදුම් ලැබීම ඇයගේ ජීවිතයේ කළ කැප කිරීම්වලට ලත් බුහුමනකි.


උපන් මාසයේ ලැබුණු උපන්දින ත්‍යාග තුන ගැන මොකද හිතෙන්නේ..    


උපන් මාසයේ පිට පිටම මට සම්මාන තුනක් ලැබීම එක අතකින් මට ලැබුණු උපන්දින තෑගි තරම් වටිනවා වගේම මේ ආකාරයට තෑගි තුනක්ම එක ළඟ ලැබීම මගේ ජීවිතයේ ලොකු පෙරළියක් වු‍ණාදෝ කියාත් හිතෙනවා. ඉන්දියානු ශ්‍රී ලංකා නිර්මාණ සංවිධානයක් වන යූ. එම්. අයි. සංවිධානය අගෝස්තු 07 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ සම්මාන උලෙළේදී මට සංගීත කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ මෙහෙය අගයමින් ගෞරව සම්මානයක් පිරිනැමුවා. එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ සංවිධායක වශයෙන් කටයුතු කරන්නේ ප්‍රියනාත් රත්නායක හා මනෝජා රත්නායකයි. ඊළඟට අගරදගුරුතුමාගේ මාධ්‍ය ඒකකය සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කර අගෝස්තු 20 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ කතෝලික ක්‍රිස්තියානි කලාකරුවන් අගය කිරීමේ සම්මාන උලෙළේදී “ධර්ම ප්‍රභාෂ්වර” සම්මානය මට හිමි වුණා. මීට වසර දෙකකට ඉහතදී දැයෙන් සමුගත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු දමිළ ගායන ශිල්පී කලා භූෂණ එස්. එම්. ජේසුරත්නම් සංගීතවේදියා අනුස්මරණය කරමින් එතුමාගේ පුත් රොහාන් කැලැමෙන්ස්ගේ අනුග්‍රහයෙන් අගෝස්තු 24 වැනිදා ශ්‍රී ලංකා ජාතික පදනම් ආයතනයේ දී පැවති සවරංගල් ඩී. වී. ඩී. සංයුක්ත තැටිය එළිදැක්වීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන්නට යෙදෙනු සිංහල දමිළ කලාකරුවන් එකම වේදිකාවේ සම්මානයට බඳුන් කළ රත්නකලා සම්මාන උලෙළේදී “රත්නකලා සම්මානය”මට හිමි වුණා. මේ විදිහට අපව අගය කිරීම ගැන, අමතක නොකිරීම ගැන ඒ උත්සව සියල්ලම සංවිධානය කළ සියලු දෙනාට මගේ සතුට හා ස්තුතිය පිරි නමනවා.


ඔබ විවාහයට පෙර සිටම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු කෙනෙක් නේද?


ඔව්. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ ගුවන්විදුලියේ ළමා පිටියට. කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, ඩී. ඩී. ඩැනි යන මහත්වරුන් මට මේ වෙලාවේ සිහිපත් වෙනවා. වයස අවුරුදු 10 ඉඳලා 17 විතර වනතුරු එයාලා මගේ ජීවන ගමනට අත්වැල වුණා. එහිදී ‘ඒ’ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් බවට පත් වුණා. නමුත් මම ඊට පෙර ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිනියක් ලෙස නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. ඒවාට මට හොඳ ප්‍රතිචාරත් ලැබුණා. මම උසස් පෙළ විද්‍යා විෂයයන්ගෙන් සමත් වුණා. ගුරුවරියක් ලෙස මට උගත් පාසලටම පත්වීමක් ලැබුණා. මාස හයක් පමණ මම ඒ පාසලේ ගුරුවරියක් ලෙස කටයුතු කළා. මම පාසල් කාලයේ ඉඳලාම කලා කටයුතුවලට සම්බන්ධ වුණා.


මුල් පවුලේ විස්තර මොනවාද?


මගේ තාත්තා හැරිසන් පීරිස් ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් කලාවේදියෙක් සහ කතුවරයෙක්. මම පවුලේ වැඩිමල් දරුවා යි. දෙවැනියා කුමාර මල්ලි, තුන්වැනියා නිර්මලා රණතුංග, හතරවැනියා නිරංජලා සරෝජනී, පස්වැනියා සකුන්තලා, හයවැනියා මනෝජ් පීරිස්. ඉතින් අපි හැමෝම ආගමික පරිසරයක හැදුණු අය. අපේ අම්මා අපට ගුණ යහපත්කම් හොඳින් කියා දුන්නා. සමාජයේ විවිධ පුද්ගලයින් එක්ක හොඳින් ජීවත් වෙන්න, එකිනෙකාට ආදරය කරුණාව දක්වන්න අපේ මව්පියෝ අපට කියා දුන්නා. ආගමික පරිසරයත් ඒ සඳහා උදව් වුණා. ඉංග්‍රීසි සිංහල භාෂා දෙකම අපි පුංචි කාලේ ඉඳලා භාවිත කළා. අපි හැමෝම මොරටුව ග්‍රාමයේ පිහිටි අපේ මහා ගෙදර කුරුලු පවුලක් වගේ හරිම ආදරයෙන් සමගියෙන් බැඳීමෙන් ජීවත් වුණා. ආගමික පරිසරය නිසා අපි හැමෝම සංගීතයට වැඩි නැඹුරුවක් දැක්වූවාලු.


විවාහය ඔබේ කුසලතාවලට සීමා මායිම් බැන්දා ද?


ඒක මම විහින් කර ගත්ත දෙයක්නේ. මට කිසි සීමාවක් බාධාවක් දැම්මේ නැහැ. නමුත් විවාහයෙන් පස්සේ මම මගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන්ම කැපවුණා. ඒක මට මගේ මව්පියන්ගෙන් ලැබුණු හැදියාව කියලා මම හිතනවා. බිරිඳක් වුණාම ස්වාමිපුරුෂයා වෙනුවෙන් කැපවෙන්න ඕනේ. පවුලක දියුණුවක්, සාර්ථක බවක් ඇති වෙන්නේ එහෙමයි කියලා මගේ හිතේ තිබුණා. මගේ ස්වාමිපුරුෂයා මේ රටටත්, කලා ක්ෂේත්‍රයටත් විශාල සේවයක් ඉටු කළ විශිෂ්ට කෙනෙක් නිසාම ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කළා. එ් හැමදේකටම මම බිරිඳක් විදිහට හැකි සෑම සහයෝගයක්ම ලබා දුන්නා. මගේ ඒ කැපකිරීම් ගැන අද විශාල සතුටක්, සෑහීමට පත්විය හැකි තරමේ සැනසීමක් තියෙනවා. ප්‍රසංග වේදිකාවේ අපි දෙන්නාම ලොකු කාලයක් යුග ගීත, තනි ගීත ගායනා කළා. අපි දෙන්නාම ඒවාට එකට සම්බන්ධ වුණා. එහෙම අවස්ථා මට ලැබුණු නිසා කලාවෙන් ඈත් වීමක්, සීමා වීමක් මට තිබුණෙත් නැහැ. නමුත් මම මාව ඉස්මතු කර ගන්න මොන ම අවස්ථාවකදීවත් උත්සාහ කළේ නැහැ. සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි නම් වූ ඒ මහා ගාන්ධර්වයාගේ බිරිඳ හැටියට මිස මම කවදාවත් මල්කාන්ති නන්දසිරි වෙන්න උත්සාහ කළේ නැහැ. අදටත් මම එතුමා මේ රටට දුන්න දායාදය ආරක්ෂා කරමින්, එතුමා ආරම්භ කළ ‘ගාන්ධාරී’ කලායතනයේ වැඩකටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනවා. මේ රටේ දූ පුතුන්ගේ සංවේදිතාවන්, එකිනෙකාට ගරු කිරීම්, ආදරය කරුණාව දැක්වීම් හදවත්වල ඇති කරවන්නට උත්තේජනයක් ඇති කරවන මේ අගනා සංගීත කලාව තව තවත් අනාගතයට රැක දීමට මම කැපවී සිටිනවා. අද මේ සෞන්දර්ය කලාවන් කප්පාදු කිරීමේ වෑයමක් තියෙනවා. නමුත් මම ඉතාම ආදරයෙන් කරුණාවෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා දෙවියන් සහ මිනිසුන් අතර පවතින උත්තරීතර වූ මේ කලාව කප්පාදු කරන්න නම් එපා.”


දූ අනුරාධා ගැන මොනවාද කියන්න තියෙන්නේ?


අනේ එයා ගැන නම් මොනවාද නොකියන්න තියෙන්නේ. ඇත්තටම සනත් නන්දසිරි නම් වූ ආදරණීය පියාණන්ගේ ඇස්දෙක දූ අනුරාධා. තාත්තා කෙනෙක් හැටියට එතුමා දූ අනුරාධාට දැක්වූ ආදරය කියා නිම කරන්න බැහැ. එතුමා ආදරය වගේම එතුමාගේ සියලු සංගීත ශිල්පයම දූ අනුරාධාට ලබා දුන්නා. එතුමා ජීවත්ව සිටියදීත් කලායතනයේ කටයුතුවලට දූ අනුරාධා සහාය දුන්නා. ඇය ඉතා දක්ෂ දරුවෙක්. කොළඹ මියුසියස් විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු අවසන් වෙනවාත් සමඟම ඒ පාසලේම සංගීත ගුරුවරිය ලෙස ඇයට පත්වීමක් ලැබුණා. ඇය ගුරුවරියක් ලෙසත්, පිය උරුමයෙනුත් කලායතන‍ය ඉතා ම සාර්ථකව දැන් කරගෙන යනවා. ඒ වගේම මගේ උපන්දිනයට ඇයගෙන් වටිනා ත්‍යාගයක් ලැබුණා. මගේ අලුත්ම ගීතයක් රූගත කරලා මියුසික් ඔ‍ෆ් අනුරාධා යූටියුබ් නාළිකාවට මගේ උපන්දිනය වෙනුවෙන් ඇය මුදා හැර තිබෙනවා. ඉසුරු සමරසිංහ එම ගීතයේ රූප රචනය කළා. ප්‍රීති රන්දෙනිය ගී පද රචනා කළා. ආචාර්ය රෝහණ වීරසිංහ තනුව නිර්මාණය කළා. මගේ නිර්මාණයක් මම එළි දැක්වූයේ බොහෝ කාලෙකට පසුව යි. ඒ දූ අනුරාධා නිසා.


ඔබගේ නිවස අතීතයේ නිරතුරුවම ජනයාගෙන් පිරී තිබුණා. දැනුත් එහෙම ද?


මහාචාර්ය සනත් නන්දසිරි මහතා ජීවත්ව සිටි කාලයේ නිරතුරුවම මේ නිවසට විවිධ කාලාකරුවන්, රසිකයින්, විවිධ පුද්ගලයින් ආවා ගියා. බොහෝ දේ ඉගෙන ගන්න, ගීත හදාගන්න, නිර්මාණ කර ගන්න, සාකච්ඡා කරන්න, එතුමාව බලන්න වගේ ම නොයෙකුත් උදව් ඉල්ල ගන්නත් නිතරම පිරිස ආවා. අදටත් බොහෝ පිරිසක් ඇවිත් අපේ සුවදුක් විමසලා කතාබහ කරලා යනවා. නමුත් එතුමාට බොරු ආදරය පෙන්වමින් තමන්ගේ අවශ්‍යතා පමණක් ඉටු කරගන්න ඇවිත් ගිය අවස්ථාවාදීන් කො‍ටසකුත් ඒ අය අතර සිටි බව අපට දැන් පෙනී යනවා. අන්න ඒ පිරිස වගේම අපේ ජීවිතවලින් ඈත් වියයුතු පිරිසක් එතුමාගේ අවසන් ගමනත් එක්කම මේ ගෙදරින් සඳහටම යන්න ගියා. ඒ ගැන මමත්, මගේ දුවත් අද සතුටු වෙනවා.


විශාරද අනුරාධා නන්දසිරි නිහඬව බලා සිටියා ඇති නේද?


අනුරාධාත් තාත්තාගේ නිර්මාණවලට උදව් කරමින්, එයාගේ නිර්මාණ සඳහා හෙමින් හෙමින් සූදානම් වීමක් තිබුණා. නමුත් ගත වූ වසර එකහමාරක පමණ කාලයක් තාත්තාගේ අසනීප තත්ත්වය නිසා අනුරාධා තාත්තා වෙනුවෙන්ම වෙහෙසුණා. එතුමාගේ අභාවයෙන් අපි දෙන්නාම මානසික කඩාවැටීමකිනුත් සිටි නිසා නිර්මාණ කටයුතු කරන්න හිතක් තිබුණේ නැහැ. දැන් ටික ටික යථා තත්ත්වයට පත් වෙමින් සිටින නිසා අනුරාධා නිර්මාණ කටයුතුවලට සූදානමක් තියෙනවා. ඒ වෙනුවෙන් මූලික වැඩ ආරම්භ කරමින් ඇය වෙහෙස වෙනවා. දැනටමත් ඇයගේ ගීත කිහිපයක් ‘මියුසික් ඔෆ් අනුරාධා නන්දසිරි’ යූටියුබ් නාළිකාවේ තියෙනවා. බො‍හෝ අය ඇයට දොස් කියනවා. උරුමයත්, හැකියාවත් දෙකම තියාගෙන බලා ඉන්නවා කියලා. මමත් මේ දවස්වල අනුරාධාව උනන්දු කරමින් ඉන්නවා. ඉතා ඉක්මනින් විශාරද අනුරාධා නන්දසිරිගේ ගී එකතුවක් එළි දක්වන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා.



Previous Post Next Post