ආදරය නිසා රිදුණු තැන් මටත් තියෙනවා - විනු සිරිවර්ධන




ආදරය කියන දෙයට ඔයාගේ නිර්වචනයක් තියෙනවද?


ඔව්... මම නම් හිතන්නේ ආදරය කියලා කියන්නේ හැමෝටම ජීවිතේ අවශ්‍ය කරන දෙයක්. ඒ අවශ්‍ය කරන ආදරය කෙනෙක්ට ලැබුණාම ඒ කෙනාගේ ජීවිතය ලස්සන වෙනවා කියලා මම විශ්වාස කරනවා.


විනූ... කෙනෙක්ගේ ආදරය දැනෙන්නේ කොහොමද?


ආදරය මම ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක්. පුංචි කාලේ ඉඳන් මට දෙමව්පියන්ගේ ආදරේ නොඅඩුව දැනුණා. කලාවට සම්බන්ධ වීමත් එක්ක ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඒ නිසා මම ආදරයට ගොඩක් කැමති කෙනෙක්. සහකරුවෙක්ගේ ආදරයත් බලාපොරොත්තු වෙලා ඉඳිද්දී මට ඒ ආදරය කසුන්ගෙන් උපරිමයෙන්ම ලැබුණා. ඉතින් ඒ ආදරයත් එක්ක මේ දවස්වල ජීවිතේ සුන්දරව ගත කරනවා.


දැනෙන ආදරයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?


ඒ ආදරයට මගෙන් කිසියම් හෝ දෙයක් ඒ අය බලාපොරොත්තු වෙනවා නම් මම ඒ දේ ලබා දෙන්නේ හරිම කැමැත්තෙන්. මා වෙනුවෙන් යම් වගකීමක් පැවරිලා තියෙනවා නම්, ඒ ආදරය වෙනුවෙන් මම ඒ වගකීම් නොපිරිහෙලා ඉෂ්ඨ කරනවා. ප්‍රේක්ෂකයන් මගේ නිර්මාණවලින් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ මම කරන නිර්මාණවලට උපරිම සාධාරණයක් කරන්නට උත්සාහ කරනවා. මගේ සැමියාට මම හොඳ බිරිඳක් විදිහට කටයුතු කරනවා.


ආදරය කියන්නේ මරණයකින් හෝ අත් නොහැරිය යුතු දෙයක් කියලා විශ්වාස කරනවද?


නැහැ... සමහර අය බොහෝ වෙලාවට ආදරයත් එක්ක අන්ධ වෙන අවස්ථාවලදී ඒ විදිහට කියනවා. ආදරය කිසිමදාක ආයුධයක් කරගන්න නරකයි. ආදරය දරාගන්න බැරි ඒකපාර්ශ්වික ආදරයක් වෙද්දි බොහෝ දෙනා ආදරය කෙසේ හෝ ලබාගන්න උත්සාහ කරනවා. ආදරය කියන්නේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි.


ජීවිතේ වැඩියෙන්ම ආදරය දැනුණු තැන් මොනවාද?


පුංචි කාලේ ඉඳන් මම ආදරය උපරිමයෙන්ම විඳපු කෙනෙක්. මගේ අම්මයි තාත්තයි හැම වෙලේම මගේ සෙවණැල්ල වගේ ඒ ආදරය ලබා දෙමින් මාත් එක්ක හිටියා. ප්‍රේක්ෂක ආදරයත් ඒ විදිහට ලැබුණා. සජීවී වැඩසටහන්වලට සහභාගිවෙන වෙලාවන්වලදී ඒ තැන්වලට මාව සොයාගෙන ප්‍රේක්ෂකයන් ආපු දවස් තිබුණා. දැනටත් කොළඹින් පිට පළාත්වල සමහර ප්‍රේක්ෂකයන් මාව දැක්කාම ළඟට ඇවිත් අල්ලලා බලන වෙලාවල් තියෙනවා. කසුන් එක්ක විවාහ වුණාට පස්සේ එයා මගේ උපන් දිනයට වාහනයක් තෑගි කළා. ඒ වෙද්දි මම වාහන බලපත්‍රයක්වත් අරගෙන තිබුණේ නෑ. ඒක ගන්න මට අවශ්‍යතාවයක් තිබුණේ නෑ. මාව හැම තැනකටම මගේ තාත්තා අරගෙන ගියා. ඉතින් කාර් එක ලැබුණට පස්සෙයි, මම වාහන බලපත්‍රය ලබා ගත්තේ.


විනූ... ආදරය නිසා ජීවිතේ වැඩියෙන්ම රිදුණු තැන් මොනවාද?


ආදරය නිසා එහෙම හිත රිදුණු තැන් නැතුවාම නෙවෙයි. හැබැයි ආදරය නිසාම සමහර වෙලාවට ඒ රිදුණු හිත ඉක්මනින්ම සුවපත් වෙලා තියෙනවා.


ආදරය නිසා ජීවිතේ සිදුවූ වැරදීම් තියෙනවද?


මෙතෙක් මම ජීවිතේ නිසියාකාරව ගෙන ආවා කියලා හිතෙනවා. හැමදේම වෙන්නේ හොඳට කියලා මම හැමවෙලේම විශ්වාස කරනවා. වැරදීම් වෙලා නැතුවාම නෙවෙයි. හැබැයි වැරදි නොවෙන්න උපරිම උත්සාහ ගන්නවා.


ආදරය නිසා ජීවිතයට ලැබුණු වටිනාකම් මොනවාද?


ආදරය නිසා මට ආදරණීය මිනිසුන්ගේ ආදරය ලැබුණා. ඒක මට වටිනවා.


නිළියක් විදියට ලැබෙන ආදරය, නිළිකම අතහැරියොත් ලැබෙයිද... නොලැබෙයිද?


දැනටත් මම බොහෝ නිර්මාණවලින් ඈත්වෙලයි ඉන්නේ. අවුරුදු හතරක් මම වැඩිය නිර්මාණවලට සම්බන්ධ වුණේ නෑ. හැබැයි ප්‍රේක්ෂකයන්ගේ ආදරය වෙනස් වුණේ නෑ. ඒක පුදුමාකාර දෙයක්. අතරින් පතරින් කරන නිර්මාණවලදී ඔවුන් මාව දැක්කා. ඒ නිසා ඒ ආදරේ අඩුවක් වෙලා නෑ. මග තොටේදී මුණගැහෙන බොහෝ දෙනා, අලුත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා අනන්තවත් අහනවා.


විනූ කියන්නේ ලස්සන හිනාවක් තියෙන කෙනෙක්. ඒ හිනාව තරමටම විනූ කියන්නේ ආදරණීය ගැහැනියක්ද?


මම මගේ ගැන හරියටම දන්නේ නෑ. හැබැයි මට හිතෙන විදියට මම මිනිසුන්ට, සතා සීපාවන්ට, ගහ කොළවලට ආදරය කරනවා. මම මට ලැබෙන ආදරයට වඩා ආදරයක් ලබා දෙන්න කැමති කෙනෙක්.


• දිශානි ජයමාලි



Previous Post Next Post