පෙම්වතා පුංචි බොරුවක් කළත් ඒක පෙම්වතියට දැනෙනවා- දෙව්මිණී තත්සරණි



මේ දිනවල විකාශය වන ‘පාට කුරුල්ලෝ’ ටෙලි සිත්තමේ “ගඟුලි” රසික හදෙහි ගැස්ම වැඩි කරන්නා වූ චරිතයක්. “පාට කුරුල්ලෝ” කියූ සැණින් රසික නෙත් සිත් සොයා යන ගඟුලිගේ කටකාර, දඟකාර, නපුරු චරිතය වෙතට. මේ චරිතයට පණ පොවන්නේ දෙව්මිණී තත්සරණි. මේ දිනවල කා අතරත් ජනප්‍රිය නවක සුරූපී රංගන ශිල්පිනිය මෙවර කළ ඇයගේ සොඳුරු කතාබහයි මේ. 


මේ දිනවල කාලය ගත වෙන්නේ කොහොමද?


“මේ දවස්වල නම් මම ‘පාට කුරුල්ලෝ’ ටෙලිඩ්‍රාමා එකේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙමින් කාලය ගත කරනවා. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතුවලටත් සම්බන්ධ වෙනවා.”


‘Populer awards’ සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස ‘පාට කුරුල්ලෝ’ පිදුම් ලබද්දී දැනුණ හැඟීම විස්තර කළොත්?


“ගොඩක් සතුටු හිතුණා. වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යයේ මටත් රංගනයෙන් දායක වීමට ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.” ගඟුලිගේ චරිතය සමාජ මධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වනවා. ලැබෙන ප්‍රතිචාර කොහොමද?


“ගඟුලිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. මම රංගනයෙන් දායක වන ගඟුලිගේ චරිතය ගැන කිව්වොත් ගොඩක් නපුරු, කටකාර, දඟකාර චරිතයක්. ඉතින් ඒ නිසා ගඟුලිට නම් ඇතැම් ප්‍රේක්ෂකයෝ බනිනවා. ඒ වුණාට ප්‍රේක්ෂක ආදරය අඩුවෙලා නැහැ. මාව ඇත්තටම දැක්කම ප්‍රේක්ෂකයෝ මට කතා කරනවා. ඉතින් මම හැමෝටම ආදරය කරන චරිතයක් වෙලා තිබෙනවා. නමුත්  ගඟුලි කියන චරිතයට නම් බනිනවා.”


‘ගඟුලි’ කියන චරිතය ගැන විස්තර ටිකක් කතා කරමුද?.


ගඟුලි හැම දෙයක්ම කරන්නේ ආදරය වෙනුවෙන්. ආදරය නිසා තමයි රණ්ඩු කරන්නේ. ගැහැනු ළමයි ඉතින් ටිකක් ආදරේදී එහෙම තමයි. ඒක හැම ගැහැනු ළමයෙක්ටම පොදුයි කියලා මම හිතනවා.


ගඟුලි හා දෙව්මිණී අතරත් සමානකම් තිබෙනවාද?


“ගඟුලි සහ දෙව්මිණී නම් ඇත්තටම ගොඩක් වෙනස්. ආදරයේදී තමන්ගේ පෙම්වතා/ පෙම්වතිය ගැන හැමෝම ඉතින් හොයලා බලනවානෙ. පුංචි හෝ බොරුවක් කරනවා නම් කියනවා නම් හැම ගැහැනු ළමයකුටම ඒක දැනෙනවා. ගඟුලි තරම්ම නම් කරදර කරන්නේ නැහැ.”


කුසල්, සජිත් වැනි ක්ෂේත්‍රයේ අති දක්ෂයන් සමඟ එකට වැඩ කටයුතු කිරීමට ලැබීමේදි ඔබට ලැබුණු අත්දැකීම් ගැනත් විස්තර කියමු?


“ඔව්, ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් අපේ ඩ්‍රාමා එකට රංගනයෙන් දායක වනවා. ඒ හැමෝම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෑ. ඒ අයත් එක්ක එකට රංගනයෙන් දායක වන්න ලැබීම මගේ ලොකු වාසනාවක්. ඒ හැමෝගෙන්ම රංගනය පිළිබඳව ගොඩක් දේවල් මට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම ශිවගුරුනාදන් සර්ව මතක් කරන්න ඕනෑ. ගඟුලි කියන චරිතය තුළ මම යම් දෙයක් කරනවා නම් ඒ ශිවගුරුනාදන් සර් නිසා තමයි. මගේ රංගනය තුළ යම් කිසි දක්ෂතාවක් පෙන්නුම් කරනවා නම් එහි ගරුත්වය ඔහුට හිමිවන්න ඕනෑ. ඒ වගේම පාට කුරුල්ලෝ ටෙලි ඩ්‍රාමා එකේ චාමර සමරවික්‍රම නිෂ්පාදකතුමාටත් ස්තුතිවන්ත වනවා මාව ඒ චරිතයට තෝරා ගත්තට. පාට කුරුල්ලෝ පිටපත් රචක බුද්ධික සේමසිංහවත් ආදරයෙන් මතක් කරනවා. ඉතින් ගඟුලි කියන චරිතය ටෙලි නාට්‍ය තුළ හරි ලස්සනට ගොඩනැඟුවේ මේ හැමෝම එකතු වෙලා.


ඔබ චරිත තෝරා බේරා ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වන සීමා තිබෙනවාද?


“ඔව්, විශේෂයෙන් සැලකිලිමත් වන සීමාවන් තිබෙනවා. චරිත ඇතුළේ රඟපෑමෙන් යම් කිසි වෙනසක් කරන්න පුළුවන් චරිත ලැබෙනවා නම් කැමැතියි. අනාගතයේදී චරිතාංග නිලියක් වශයෙන් වෙනස් වෙනස් චරිතවලට රංගන දායකත්වය ලබා දෙන්න කැමැතියි.  එකම විධියේ චරිතවලට කොටු නොවී.”


රංගන ශිල්පියෙක් ශිල්පිනියකට කලා ක්ෂේත්‍රයට පිවිසීමේදී ඇකඩමික හැදෑරීමක් අවශ්‍යමද?


“ඕනෑම ක්ෂේත්‍රයක හැදෑරීමකින් යුතුව නියැළෙනවා නම් ඒ ක්ෂේත්‍රයේ බැබළෙන්න වගේම ඒ ක්ෂේත්‍රයේ වැඩක් කරන්න පහසුයි. ඉතින් මම හිතන්නෙ රංගන ක්ෂේත්‍රයේ පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයක වැඩකටයුතු කිරීමේදී ඒ ගැන හැදෑරීමකින් යුතුව, දැනුමකින් යුතුව වැඩකටයුතු කරනවා නම් වටිනවා කියලා තමයි. මම මට ලැබෙන හැම අවස්ථාවකම හැම කෙනකුගෙන්ම දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා.”


ඔබ ඔබේ රංගනය තුළ ඔබේ කුසලතා වැඩිදියුණු කර ගැනීමට ස්වයං අධ්‍යයනයන් කරනවාද?


“සිවගුරුනාදන් සර් ඇතුළු රංගන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මට ලබාදුන් උපදෙස්වලට අනුව පොත් කියවන්න වගේම කලා නිර්මාණ බලලා මම මගේ හැකියා දියුණු කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම රංගන කටයුතුවලට දායක වීමේදී හමුවෙන අයගෙන් අත්දැකීම් ලබාගන්නවා වගේම අලුත් දේවල් ඉගෙන ගන්නවා.”


වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රයට විවිධ විවේචන එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස?


“නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ දකින තරම් පහසු දෙයක් නෙවෙයි. ඒ ක්ෂේත්‍රය තුළත් බොහෝ දේ ඉගෙන ගන්නට තිබෙනවා. ඉතින් හැදෑරීමකින් යුතුව නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් වටිනවා. හැදෑරීමකින් යුතුව ක්ෂේත්‍රයට පිවිසීම තුළ දකින කෙනකුටත් ඒ දේ පේනවා.”


ඔබ ඉදිරියේදීත් නිරූපණ ක්ෂේත්‍රය හා රංගන ක්ෂේත්‍රය යන ද්විත්වය හරහාම දකින්න ලැබේවිද?


“මම මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපණ ශිල්පිනියක් විධියට. ඉතින් මම ඉදිරියටත් නිරූපණ ක්ෂේත්‍රය හා රංගන ක්ෂේත්‍රය කියන ක්ෂේත්‍ර දෙක හරහාම වැඩකටයුතු කිරීමට බලාපොරොත්තුවනවා. මම ඒ ක්ෂේත්‍ර දෙකටම කැමැතියි. ඒ වගේම ආදරෙයි.


ඉදිරි වැඩ කටයුතු ගැන මතක් කරමුද?


මම දැනට නම් පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු එක්ක තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයෙත් වැඩකටයුතුත් කරගෙන යමින් ඉන්නවා.”


රුවිනි අමරකෝන්



Previous Post Next Post