රැජිනට ඇන්දා සෙංකඩගලට



ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ අතිශය කතාබහට ලක්වන චරිතයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා අපේ කාලයේ දක්ෂ කලාකාරිනියක්. ඇය ගායනා කළ රැජිනට ඇන්දා ගීතය පසුගිය කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. අවසානයේ ඇය රැජිනට ඇන්දා ප්‍රසංගයක් දක්වා රැගෙන ගියා. රැජිනට ඇන්දා ප්‍රසංගය අවස්ථා දෙකක දී අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගියා. ඔය අතරේ අමන්ද්‍යා ගායනා කළ රූපසුන්දරී ගීතයත් හරි හරියට ජනප්‍රිය වුණා. ඔන්න රූපසුන්දරීත් අරගෙන රැජින සෙංකඩගලට යන්නයි හදන්නේ. සෙංකඩගල යන්න කලින් රැජින ගිරා මාමා එක්ක එකට කාසිවාසි චිත්‍රපටයේ එකටම රඟපෑවලු. ඉතින් මේ නැවුම් තතු මීවිතේ ලියන්න හිතාගෙන අපි අමන්ද්‍යාව මුණගැසුණා.


‘රැජිනට ඇන්දා සෙංකඩගලට ආගමනය’ සිදුකරන්නයි සූදානම් වෙන්නේ ?


රැජිනට ඇන්දා පළමු ප්‍රසංග සහ දෙවැනි ප්‍රසංගයේ සංවිධානය කටයුතු සිදුකළේ මමයි. තුන්වැනි ප්‍රසංගය දැන් නුවර වෙනත් සංවිධායකවරයකු විසින් සංවිධානය කරනවා. ඒක තමයි සතුටට තියෙන ලොකුම කාරණය. ඩී. ජේ. ජේ. සර්විසස් විසින් තමයි සංවිධාන කටයුතු සිදුකෙරෙන්නේ. ඔක්තෝබර් මාසයේ 19 වැනි සෙනසුරාදා තමයි රැජින සෙංකඩගලට එන්න හදන්නේ. රැජිනට ඇන්දා ප්‍රසංගය මුලින්ම සංවිධානය කරන කොට හිතේ තිබුණ දෙයක් තමයි ලංකාවේ ප්‍රධාන නගරවලවත් මේ ප්‍රසංගය පවත්වනන්න ඕනෑ කියන කාරණාව. ඉතින් නුවරින් ආරාධනාවක් ලැබුණ හින්දා ඉතාම කැමැත්තෙන් ඉන්නවා නුවර ඈයෝ බලන්න.


‘රැජිනට ඇන්දා සෙංකඩගලට ආගමනය’ සිදුකරන්නයි සූදානම් වෙන්නේ ?


රැජිනට ඇන්දා පළමු ප්‍රසංග සහ දෙවැනි ප්‍රසංගයේ සංවිධානය කටයුතු සිදුකළේ මමයි. තුන්වැනි ප්‍රසංගය දැන් නුවර වෙනත් සංවිධායකවරයකු විසින් සංවිධානය කරනවා. ඒක තමයි සතුටට තියෙන ලොකුම කාරණය. ඩී. ජේ. ජේ. සර්විසස් විසින් තමයි සංවිධාන කටයුතු සිදුකෙරෙන්නේ. ඔක්තෝබර් මාසයේ 19 වැනි සෙනසුරාදා තමයි රැජින සෙංකඩගලට එන්න හදන්නේ. රැජිනට ඇන්දා ප්‍රසංගය මුලින්ම සංවිධානය කරන කොට හිතේ තිබුණ දෙයක් තමයි ලංකාවේ ප්‍රධාන නගරවලවත් මේ ප්‍රසංගය පවත්වනන්න ඕනෑ කියන කාරණාව. ඉතින් නුවරින් ආරාධනාවක් ලැබුණ හින්දා ඉතාම කැමැත්තෙන් ඉන්නවා නුවර ඈයෝ බලන්න.


අපේකම, අපේ දේට, ජන ගීයට, ජන කවියට පණ දෙන්න අපේ කෙල්ලෙක් ඇවිත් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් කියන්න පටන්ගත්තා. මොකද හිතෙන්නේ ඒ ආමන්ත්‍රණයට ?


හරිම ආසා හිතෙනවා වගේම හරි ආදරණීයයි. මම කැමැති නැහැ මාව ජන ගී ගායිකාවක් විදිහට වර්ගීකරණය කරනවාට. ඇත්තටම මම කැමැතියි විවිධ ශානරවල ගීත ගායනා කරන්න. නමුත් ප්‍රේක්ෂකයෝ බොහෝමයක් කැමැති මම වැඩිපුර ජන ගී ගායනශිල්පිනියක් විදිහට ප්‍රාසාංගිකව ඉදිරිපත් කරනවාට. ඉතින් මේ රැජිනට ඇන්දා ප්‍රසංගයට ජන ගී ඇතුළත් කරගැනීමට ප්‍රධාන හේතුව වුණෙත් ප්‍රේක්ෂකයන්ගේ තියෙන ඉල්ලුමට. රැජිනට ඇන්දා ගීතය නිර්මාණයක කරලා මුදාහැරියාට පස්සෙත් මම බලාගෙන හිටියේ මේ ගීතයට කොයිවිදිහේ ප්‍රතිචාර ලැබේවිද කියලයි. මම නොහිතපු විදිහේ ආදරයක් තවමත් ඒ ගීතයට ලැබෙනවා.


රැජිනට ඇන්දාට මේ තරම් දුරක් යන්න පුළුවන් වේවි කියලා හිතුවා ද?


කීයටවත් හිතුවේ නැහැ. මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න පුළුවන් වේවි කියලවත් කවදාවත් හිතුවෙ නැහැ. ඒක මගේ වාසනාවට ලැබුණු දෙයක් විදිහට තමයි මම සලකන්නේ.


ඇත්තටම රැජින ලොකු පෙරළියක් කළා නේද?


මම ඇත්තටම සංගීත ජීවිතයේ නිර්මාණ කරන්නේ කිසිම පෙරළියක් ඇතිකරන්න බලාගෙන නෙමෙයි. මොකද මම දැඩි ලෙස විශ්වාස කරනවා, සෞන්දර්ය ඇතුළේ තරගකාරීත්වයක් නැහැ කියලා. අපි කාත් එක්ක හරි තරග කරන්න නම් දිනන්න නම් මොකක් හරි ක්‍රීඩාවක් කරන්න ඕනෑ. සෞන්දර්ය කියන විෂයය ඇතුළේ තරගයක් නැහැ. ඒ නිසා මම නිර්මාණ කරන කොට එහෙම හිතාගෙන නෙමෙයි නිර්මාණයක් කරන්නේ. මට විඳින්න පුළුවන් විදිහේ නිර්මාණයක් කරන්න තමයි මට තියෙන ලොකුම වුවමනාව. මම මුලින්ම කැමැති වෙලා ඉන්න ඕනෑ මම කරන වැඩේට. එහෙම කරපු වැඩක් තමයි රැජිනට ඇන්දා. නමුත් මම හිතුවේ නැහැ ප්‍රේක්ෂකයෝ මෙච්චර මේ වැඩේට කැමැති වෙයි කියලා. මම ආසා කරන ශෛලියට අනෙක් අයත් ආසා කරාවිද යන විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් හිතපු නැති විදිහට ඒක පෙරළිකාර ගීතයක් වුණා.


පසුගිය කාලයේ ඔබ ගායනා කළ රූප සුන්දරී ගීතයත් හරි ජනප්‍රිය වුණා නේද?


එතැනත් සිද්ධ වුණේ පුදුමාකාර විදිහේ පෙරළියක්. රූප සුන්දරීත් වෙනස්ම ආරක ගීතයක්. මෙහි සංගීතය සහන් රන්වලයන්ගෙන්. පද රචනය මගේ තාත්තා ගිරිරාජ් කෞෂල්‍ය සහ ගීත් තරංග අයියාගේ. අපිට අලුතෙන් ගීතයක් හදන්න ඕනෑ කියලා අදහසක් තිබුණාට මොන ආරක ගීතයක් ද යන්න අදහසක් තිබුණේ නැහැ. ඉතින් තාත්තා විවිධ අදහස් එන විදිහට වචන ලියලා ලියලා එව්වහම මගේ අදහසකුත් එකතුවෙලා තමයි මේ විදිහේ ප්‍රස්තූතයන් තෝරාගෙන ගීතයක් කරමු කියන අදහසට මම එන්නේ. ඒකත් එක්ක හිතුවේ නැති විදිහට රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙලා ගායනා කළහම හිතුවේ නැති විදිහට මිනිස්සු ආදරයෙන් වැළඳගත්තා. මම හිතනනේ ඒකටත් හේතුව මේ මාතෘකාව පොදුවේ හැමෝටම අත්දකින්න වෙන කාරණාවක්නේ. ඒ හින්දා මම හිතනවා ඒකට මිනිස්සු ගොඩක් ළංවෙන්න ඇති කියලා.


ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?


ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. මේ ගීතය හින්දාම විදෙස්ගතවෙලා සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙනවා. හැමෝම වගේ මේ ගීතයට ආසයි. මේකත් මට වෙනස් අත්දැකීමක්. දැන් මට ගොඩක් දෙනෙක් නන්දා, රූප සුන්දරී කියලත් කතා කරනවා. ඒකට මම තරහා නැහැ. හරි ආසයි.


රූප සුන්දරී ගීතයට රූප රචනාවක් නිර්මාණය කළේ නැතිද?


රූප සුන්දරී ගීතයට අපි රූප රචනාවක් කරන්න හදිසි වෙන්නේ නෑ. මොකද ප්‍රේක්ෂකයන් මොන විදිහට භාර ගනීවිද කියලා චකිතයක් අපේ හිතේ තිබුණ නිසා මුලින්ම ගීතය විතරක් එළිදැක්වූවා. ඊට පසුව රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙලා ගායනා කළාට පසුව තමයි ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණේ. නමුත් තවමත් හිතලා නැහැ රූප රචනාවක් සිදුකරන්න. රූපවාහිනී වැඩසහනේ නරඹලා ලැබුණ ආදරය ඒ විදිහටම තියේවි කියලා විශ්වාසයක් තියෙනවා. රූප රචනාවක් කරන්න ගියොත් තම තමන් ඔළුවේ මවාගත්තු අදහස මැකිලා යයිදෝ කියන අදහසත් මගේ හිතට ඇවිත් තියෙනවා.


රූප සුන්දරී අහලා තාත්තා මොනවාද කිව්වේ ?


තාත්තාට තියෙන සතුට තමයි තාත්තා ලියපු සින්දු දෙකක් හින්දම මාව මෙච්චර මිනිස්සු අතරට යන්න ජනප්‍රිය වෙන්න හේතුව වීම. විශේෂයෙන්ම රූප සුන්දරී ගීතය ඇතුළේ මම විවිධ හඬ පරාසයන්ට යනවා. ඒකත් විශේෂත්වයක්. ඒක සහන් රන්වලයන්ගේ අදහසක්. තාත්තාත් හරි සතුටු වුණා ගීතය ඇහැව්වහම. මම හිතන්නේ ඕනෑම අම්මා කෙනෙක් තාත්තාකෙනෙක් දරුවන්ගේ දක්ෂතා දැක්කහම සන්තෝෂ වෙනවා වගේම හරිම සංවේදී වෙනවා. ඒගොල්ලන්ට ආඩම්බරයි. සාමාන්‍යයෙන් තාත්තා කෙනකුට වගේම අපේ තාත්තාටත් ඒ හැඟීම් සියල්ල එලෙසම තියෙනවා.


තාත්තාගේ අසනීප තත්ත්වයන් එහෙම කොහොමද?


ප්‍රතිකාර ගනිමින් ඉන්නවා. සතියක් හැර සතියක් රෝහල්ගත වෙන්නත් තියෙනවා. ප්‍රතිකාර නවතින්නේ නැහැ. මොකද තාත්තාට තියෙන අසනීප තත්ත්වයත් එක්ක ප්‍රතිකාර නවත්වන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ.


අමන්ද්‍යාගේ රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?


රඟපෑම් වැඩකටයුතුවලටත් සුවිශේෂී අවස්ථාවක් උදාවුණා. ඒ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ කාසිවාසි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව උදා වීම. සංගීත් ප්‍රභූ තමයි ප්‍රධාන නළුවාගේ චරිතය රඟපාන්නේ. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි මගේ තාත්තාගේ චරිතයට රඟපාන්නෙත් මගේ තාත්තමයි. ඒක තමයි මේ චිත්‍රපටයේ මට තියෙන සුන්දරම අත්දැකීම. මාත් මේ චිත්‍රපටය ඉක්මනටම රිදී තිරයට එනකම් බලාගෙන ඉන්නවා. මෙහි ගීත දෙකක් තියෙනවා. එකක් මායි සජිත ඇන්තනී අයියයි තමයි ගායනා කළේ. මොකද ගොඩක් ප්‍රේක්ෂකයෝ විමසලා තිබුණා මාවයි සජිත අයියවයි එකම ගීතයකින් දකින්න ආසයි කියලා. ඉතින් ඒකත් අපි කාසිවාසි චිත්‍රපටයෙන් නිර්මාණය කරලා තියෙන්නේ.


තාත්තටයි දුවටයි එකට රඟපාන්න ලැබුණ අත්දැකීම?


ඉතාම විශේෂයි. තාත්තා මට කියලා දෙමින් වැඩේ කළේ. මට ඉතින් ගෙදර ඉන්නවා වගේ තමයි දැනුණේ. කාසිවාසි කියන්නේ මම ප්‍රධාන චරිතයකින් සිනමාවට එකතුවන පළමු අවස්ථාව. මීට කලින් මම කතුරු මිතුරු චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑවා.


කාසිවාසි සිනමා අත්දැකීම ?


හරිම සුන්දරයි. මේ දවස් ටිකේ කාර්ය බහුලත්වය හින්දම රඟපෑම් වැඩ කටයුතු පවා ඉතාම කාර්යබහුලව තමයි සිද්ධ වුණේ. කාසිවාසි දර්ශනතලයේ ගතකරපු අවස්ථාව බොහොම සුන්දරයි.


රන්වල බළකාය සමග වැඩකටයුතු මොනවගේද?


මේ සැප්තැම්බර් මාසයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නගර හතරක පැවැත්වෙන ප්‍රසංගවලට සහභාගි වෙනවා. එතැනින් පසුව පර්ත් නුවර පැවත්වෙනවා ශ්‍රී ලාංකික දරුවන්ට කරන වැඩමුළුවක්. ඔය අතරේ ලංකාව පුරා දේශන පවත්වමින් රන්වල බළකායත් එක්කත් වැඩකටයුතු කරගෙන යනවා.


සහන් රන්වලයන් වරෙක පවසනවා අමන්ද්‍යා කොයි වෙලාවක හරි මාවත් පසුකරාවි කියලා ?


රන්වල සර් කියන්නේ මගේ තාත්තාට පසුව ඉන්න මගේ දෙවැනි පියා කිව්වොත් නිවැරදියි. සර් වගේම ඔහුගේ බිරිඳ වන මෙලනි රන්වලවත් මේ වෙලවේ මතක් කරන්න ඕනෑ. ඔවුන් දෙපළම හැමවිටම මගේ පසුපසින් ඉඳගෙන මට උපදෙස් ලබාදෙමින් අවවාද ලබාදෙමින් සංගීත ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් මම යන්න ඕනෑ තැන කොතැනද කියලා පෙන්වා දෙනවා. ඉතින් සර්ට වගේම මිස්ටත් හරි සතුටුයි මම ඉන්න තැන දැක්කහම. සර් මගේ දෙවැනි ප්‍රසංගය නරඹන ආකාරය මගේ ඇස්දෙකින් දුටුවා. ඒක කවදාවත් මට අමතක වෙන එකක් නැහැ.


මේ වෙලාවේ ඔබේ සැමියාගෙන් ලැබෙන්නේ මොනවගේ දායකත්වයක්ද?


මගේ සැමියා සාරංග කළුගලගේ. ඔහු ඉතාමත් හොඳ දායකත්වයක් ලබාදෙනවා. රැජිනට ඇන්දා ප්‍රසංගයේ නිර්මාණශීලී දායකත්වය සඳහා ඔහු විශේෂ සහායක් ලබාදෙනවා. ඒ වගේම රැජිනට ඇන්දා පළමු සහ දෙවැනි ප්‍රසංග දෙකේම සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ ඔහු සහ ඔහු වටා සිටින පිරිසයි.


මොනවාද අලුත් වැඩකටයුතු?


තවත් අලුත් චිත්‍රපටයක ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ චරිත් අබේසිංහ. මේ ගීතය පද රචනය සිදුකළේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඒකත් යුග ගීතයක්. ඒක ගායනා කරන්නේ උද්දික ප්‍රේමරත්න අයියත් එක්ක. මට මේ අවස්ථාව ලැබීම ගැන වචනයෙන් විස්තර කරන්න අමාරුයි. මට මේ ගැන යම්කිසි ආඩම්බරයක් තියෙනවා. එවැනි ගීතයක් ගායනා කරන්න මාව තෝරාගැනීම පිළිබඳවත් මට ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ඒ අත්දැකීම මට කවදාවත් ජීවිතේට අමතක වෙන්නේ නැහැ.


දිනේෂ් විතාන




Previous Post Next Post