මම ආදරේ හොය හොයා යන්නෙ නැහැ- චම්පික ප්‍රියදර්ශන




නමින් ඔහු චම්පික කේ.ප්‍රියදර්ශන. කලා අඹරේ අහම්බෙන් පායා දිදුලනා තරුවක් වීමට පෙරුම් පුරන ඔහු සොඳුරු රංගන ශිල්පියෙකි.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් තවම රූපගත කිරීම් ආරම්භ කළේ නැහැ. හයිනා ලෑන්ඩ්ස්හී රූපගත කිරීම් වල නිරත වෙනවා. ඊට අමතරව මගේම කලා කටයුත්තකට මේ දිනවල අත ගසා තිබෙනවා. එහි වැඩකටයුතුත් සමඟ තරමක් කාර්ය බහුලයි.


වර්තමානයේ කලාවට පිවිසෙන නවකයන් ප්‍රමාණය ඉතාමත් අධිකයි. ඒ අතරින් ඔබ ඔබගේ තරු ගුණය රැක ගැනීමට කරන උපක්‍රම මොනවාද?


ප්‍රවීණ කලාකරුවන් ක්ෂේත්‍රයට පිවිසුණු ස්වභාවයක් තිබෙනවා. එයට නිවැරදි ස්ථානගත කිරීමක් තිබිය යුතුයි. මගේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. ඒ නිසා මම ක්ෂේත්‍රයට පිවිසෙන්නම ඉතාමත් අසීරුවෙන්. කලාව තුළ යම් සබඳතා තිබෙන විට ලැබෙන අවස්ථාවන් වැඩියි. ඇතැම් නවකයන් තමන් කරන එක් කලා කටයුත්තකින් වුවත් රටක් හඳුනන කෙනෙක් බවට පත්වෙන්න පුළුවන්. එය එක් එක්කෙනාගේ ස්වභාවය ,හැකියාව හා වාසනාව මත තීරණය වෙනවා.


පුංචි තිරය තුළ ගොඩනැඟෙන්න වේදිකාවෙන් ඔබට ලැබුණේ මොනවගේ ආභාසයක්ද?


වේදිකාව හා පුංචි තිරය කියන්නේ එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් දෙකක්. ඒ ද්විත්වයෙන් ලැබෙන්නේ එකිනෙකට වෙනස් අත්දැකීම් සමුදායක්. ඇතැම් රංගන ශිල්පීන් වේදිකාව තුළ අති දක්ෂ රංගන ශිල්පීන් වුණත් ඔවුන්ට පුංචි තිරය තුළ එකී දක්ෂතා පෙන්වීමට නොහැකි වෙනවා. එය පුංචි තිරයටත්, රිදී තිරයටත් පොදුයි. ඒ නිසා එක් එක් ක්ෂේත්‍රයන්හි වෙනස්කම් හඳුනාගෙන කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් වේදිකාව තුළින් රංගන ක්ෂේත්‍රයට පිවිසීමේ දී ලැබෙන පන්නරය පුංචි තිරයට වගේම රිදී තිරයටත් ඉතාමත් වැදගත්. කලාව කියන්නේ අමුතුම විදිහක රස්තියාදුවක්. එහි වැඩ කරන්නේ නැතුව ඒ හැඟීම විස්තර කරන්න බැහැ. මට ලැබෙන ඕනෙම අලුත් වැඩක් මගේ දක්ෂතාවයෙන් කොහොමද කරන්නේ කියලා මම දන්නවා. නමුත් ඒ චරිතයට කොපමණ සාධාරණයක් කරනවද කියලා තීරණය කරන්නේ ප්‍රේක්ෂකයන්.‍


ඔබ වෘත්තිමය රංගන ශිල්පියෙක්ද?


ඔව්. මම පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පස්සේ රංගන වැඩමුළු ගණනාවකට සහභාගි වුණා. එයින් ලැබූ අත්දැකීම් වගේම යම් යම් නිර්මාණවලට දායකවී ලැබූ අත්දැකීම් මත මම රංගනය වෘත්තියක් ලෙස කිරීමට තෝරා ගත්තා.


ඔබ නිර්මාණයක් තෝරාගැනීමේදී ස්වයං වාරණයකට ලක් කරනවද?


අපේ රටේ වාරණයන්ට යටත්ව චරිත තෝරාගන්න එක කරන්න අමාරු වැඩක් නෙමෙයි. කරන්න බැරි වැඩක්. අපේ රටේ තියෙන්නේ රඟපෑමෙ ලොකු තරගයක්. අපට නිර්මාණ තෝරා බේරා ගන්නට තරම් ආරාධනා ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපට ලැබෙන්නේම අපට ගැළපෙන නිර්මාණ පමණයි. ඒ නිසා ලැබෙන ඕනෑම නිර්මාණයක් උපරිමයෙන් කිරීමයි මගේ එකම උත්සාහය.


රංගන ශිල්පියෙක්ට වෘත්තිමය අධ්‍යාපනයක් තිබිය යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද


විශ්වවිද්‍යාල මට්ටමෙන් රංගනය හැදෑරූ අය වගේ රංගනය තුළ ජීවත් වෙලා අත්දැකීම් ලබපු අය ලෙස අපට දෙයාකාරයක් දැකිය හැකියි. ඇතැම් විට රංගනය හැදෑරූ අයට වඩා රංගනය තුළ කරක් ගහපු අපූරු රංගන ශිල්පීන් ඉන්නවා. මම නම් හිතන්නේ වෘත්තිය තුළ කන කට්ට, සමාජ භූමිකාවන් තුළින් ලබන අත්දැකීම් තුළින් වෘත්තිය මට්ටමක් ගොඩනඟාගන්න පුළුවන් කියලයි. වසර ගණනාවක් පාඨමාලාවක් තුළ සිටි කෙනෙක්ට වඩා ඇතැම් විට කිසිදු අධ්‍යාපන මට්ටමක් නැතිව ඇක්ෂන් කට් ඇතුළේ සුපිරි ගේම් ගහපු අවස්ථා ඕන තරම් අප දැක තිබෙනවා. පාඨමාලා තුළින් අළුදූවිලි ගසා ගත්තත් අත්දැකීම් නැත්නම් වෘත්තීය මට්ටමක් ගොඩනගා ගන්න බැහැ.


ඔබ මෙතෙක් රඟපා නැති නමුත් ඔබගේ හැකියාව උපරිමයෙන් පෙන්විය හැකියම් චරිතයක් තිබෙනවද?


මම අරමුණු කරගත් යම් චරිතයක් නැහැ. ලැබෙන ඕනෑම චරිතයක් උපරිමයෙන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙසයි බොහොමයක් නිර්මාණවල පෙනී සිටියේ. නමුත් මාව කණපිට හරවලා ඕනෑම චරිතයක් සාර්ථකව කළ හැකි බව අපි ටෙලි නාට්‍යයේ සමීර කපුකොටුව ඔප්පු කළා. එය ඉතාමත් සංවේදී චරිතයක්. එකී චරිතයත් මම උපරිමයෙන් කළා කියා විශ්වාස කරනවා.


රිදී තිරයට පිවිසෙන්න කැමතිද?


ඔව්, අනිවාර්යෙන්ම ඉදිරියේදී රිදී තිරයේදීත් මාව දකීවි.


ආදරේ ගැන මොකද හිතෙන්නේ?


ආදරේ තියෙන තැන්වල ඇති. එය හොයාගෙන යන්න මම උත්සාහ කරන්නේ නැහැ. මම ආදරේ කරන වගේම, මට ආදරේ කරන අයත් ඇති. නමුත් මං ඔවුන් පසුපස හඹා යන්නේ නැහැ. හොඳ කෙනෙක් හරි කාලෙදි මට ලැබෙයි.


විශ්මි ප්‍රනාන්දු



Previous Post Next Post