කොහේ හිටියත් මගේ රට වෙනුවෙන් මම යුතුකම් ඉටු කරනවා - නදී ධර්මසිරි




දේශදේශාන්තර වල සිටියත්, කුමන රැකියාවක නියළුනත් සංගීතයට ඇති ඇල්ම, උපන් හැකියාවන් කිසි දිනෙක, කිසිවෙකුගෙන් වියැකී යන්නේ නැහැ. සංගීතයට, කලාවට ඇති ආදරය නිසාම සිය හැකියාවෙන් යහපත් නිර්මාණ සමාජගත කරන්න නිරන්තර උත්සහ කරන තාරකාවක් සමඟයි අද අපේ කතාබහ ඇරඹෙන්නේ. ඇය පරිපාලනවේදිනියක්, කළමනාකාරිනියක්, නීතිය, අලෙවිකරණය පිළිබඳ ප්‍රවිණයෙක් වගේම මෞරි භාෂාව පිළිබඳ උපාධිධාරිනියක්. ගායනයට, පද රචනයට වගේම වේදිකා නාට්‍ය රංගනයටත් උපන් හපන්කම් ඇති නවසීලන්ත සෞඛ්‍ය අංශ පරිපාලනවේදිනී, විශාරද නදී ධර්මසිරි සමඟ කළ කතාබහයි මේ.


ඉතින් නදී කොහොමද මේ දවස් ගෙවන්නේ ?


මේ දවස්වල නම් මම කෙටි නිවාඩුවකට ලංකාවට ඇවිත් ඉන්නෙ.


ඔබ දක්ෂ ගායන ශිල්පිනියක්. මේ වෙනකොට ඔබේ ගීත කීයක් පමණ තියෙනව ද ?


මම මේ වෙනකොට මගේම ගීත දහයක් ගායනා කරලා තියෙන්නේ. ඒ ගීත අතරින් දෙකක් ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහත්මයාගේ සංගීතයෙන් හැඩ වුණා. තවත් ගීතයක් සංගීතවේදී දර්ශන වික්‍රමතුංග නිර්මාණය කළා. තිළිණ රුහුණගේ, දුලීක කෝදාගොඩ (ඔහු නම් මේ වෙනකොට අප අතර නැහැ), ශෙනාල් මද්දුමගේ වගේ සංගීත අධ්‍යක්ෂවරුන් එක්ක මගේ ගීත නිර්මාණය වුණා. මම තීක්ෂණ අනුරාධ සහ දිමන්ක වෙල්ලාලගේ එක්ක යුග ගීත තුනක් කරලා තියෙනවා. මේ හැම ගීතයක්ම මම ගායනා කළේ වරින්වර ලැබුණ නිවාඩු කාලයේදී ලංකාවට පැමිණි අවස්ථාවල.


මේ සැරේ නිවාඩුවෙදිත් ඔබ අලුත් ගීතයක් ගායනා කළාද ?


මේ සැරේ නිවාඩුවෙදී මම තීක්ෂණ අනුරාධ සමඟ වගේම දිමංක වෙල්ලාලගේ සමඟ ගීත දෙකක් ගායනා කළා. ඒ වගේම මම කලින් නිර්මාණය කරලා තිබුණු සියලුම ගීතවලට රූප රචනා නිර්මාණය කළා. මට හිතෙනවා මගේ ගීත සමාජගත කරන්න ඕන කියලා. ඒ වැඩපිළිවෙළේ පළමු ගීතය විදියට එළියට එන්නේ “මනමාලයි රෑ“ කියන ගීතය. ඒ ගීතය මම ගායනා කළේ තීක්ෂණ අනුරාධ එක්ක. පද රචනය මාධ්‍යවේදී සගා ගුරුගේ. මේ අවුරුද්දේ දෙසැම්බර්වලට කලින් ඒ ගීතය එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මගේ මිතුරියක් වන අචලා නෙලුනිකාගේ පද රචනයක්. දර්ශන වික්‍රමතුගේ සංගීතයෙන් මගේ හඬින් සැප්තැම්බර් මාසෙ නවසීලන්තයේදී එළියට එනවා.


ඔබ ලංකාවෙන් යන්න කලින් මොනවද කළේ ?


සංගීතය පැත්තෙන් ගත්තොත් මම විශාරද දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය යටතේ විශාරද දක්වා සංගීතය හදෑරුවා. ඒ වගේම මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ විශේෂවේදී උපාධිය ලබා ගත්තා. විශ්ව විද්‍යාල්‍යයේ අවසන් වසර වලදි තමයි මගෙ මුල්ම රැකියාව ආරම්භ වෙන්නෙ. නේචර් සීක්‍රට් සමාගම සහ බ්‍රවුන්ස් සමාගම යටතේ සන්නාම කළමණාකාරිනියක් විදියට සේවය කළා. විවාහයෙන් පස්සේ තමයි මම නවසීලන්තයේ පදිංචියට ගියේ.


ඔබේ පවුලේ තොරතුරු ගැනත් කියමු?


මම විවාහකයි. මගේ සැමියා හරිඳු ලොරෙන්සු. අපිට දුවක් ඉන්නවා සෙලීනා ලොරෙන්සු. ඇගේ වයස අවුරුදු දහයයි. ඇයත් නර්තනයට, ගායනයට ගොඩක් දක්ෂයි. නවසීලන්තයේ තියෙන අපේ රටේ නර්තන කලායතනයක ඇය ඉගෙන ගන්නවා. මගේ පියා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයකු විදියට වැඩ කළා. තුරුණු ශක්ති ගායන වැඩසටහන හඳුන්වා දුන්නේ මගේ පියා. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. මට සහෝදරියන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු අක්කා ජනමාධ්‍ය අංශයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක්. පොඩි අක්කා මහජන බැංකුවේ කළමනාකාරවරියක්.


ඉදිරියේදි ඔබ ලංකාවේ පදිංචියට එන්න බලාපොරොත්තු වෙනව ද ?


මට රටවල් දෙකේම පුරවැසිභාවය තියෙනවා. මට මේ රටවල් දෙක ගැනම තියෙන්නේ මගේ මවු රට කියන හැඟීම. ඒ තරම් රටවල් දෙකම මට වටිනවා. මගේ පෞද්ගලික ජීවිතේ සාර්ථකත්වය වගේම වෘත්තීයමය වශයෙන්ද ස්ථාවරත්වයක ඉන්නේ. දැනට එරට සෞඛ්‍ය අංශයේ පරිපාලන නිලධාරිනියක් විදියට සේවය කරන්නේ. මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඒනිසා මම මොන රටේ හිටියත් මගේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම කරනවා.


ඔබේ සේවා ආයතනයෙන් මේ කලා කටයුතුවලට ලැබෙන සහය කොහොමද ?


ඇත්තටම ලොකු සහයක් ලැබෙනවා මගේ ඉහළ කළමනාකාරිත්වයෙන්. ඔවුන් මම ගායනා කරන සිංහල ගීත හුඟක් ආසාවෙන් රසවිඳිනවා. අපේ භාෂාව වෙනස් වුණා කියලා ප්‍රශ්නයක් නැහැ අපේ ගීතවලට ඔවුන් කැමැතියි. මේ සැරේ නිවාඩුවත් ඔවුන් මට දුන්නේ ලංකාවට ගිහින් මගේ නිර්මාණ කටයුතු කරන්න කියලා. ඒ තරම් විශාල සහයෝගයක් ආයතනයෙන් මට ලැබෙනවා.


වර්තමානයේ අපේ සංගීත ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ ?


මට හිතෙන්නේ මේ වෙනකොට සමාජ මාධ්‍ය පදනම් වුණු සංගීත කලාවක් තමයි ලංකාවේ තියෙන්නේ. හොඳ උසස් නිර්මාණයක් අපි සමාජයට දුන්නොත් ඒ නිර්මාණයේ පැවැත්ම වැඩියි. හරසුන් නිර්මාණ වල ආයු කාලය කෙටියි. හොඳ නිර්මාණ වගේම හරසුන් නිර්මාණත් මේ ක්ෂේත්‍රයේ තියෙනවා. මම හිතන්නේ අපි හැම වෙලාවෙම රසිකයන්ට දෙන්න ඕන හොඳ රසවින්ඳනයක් තියෙන නිර්මාණයක් කියලා.


ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?


මම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා කිහිපයකට ආයෝජනය කරලා තියෙනවා. ඒ අවස්ථා මට නවසීලන්තයේදීම ප්‍රයෝජනයට ගන්න හැකියාව තිබුණත් මම හිතන්නේ මගේ රටට මම යමක් කළ යුතුයි කියලා. එයිනුත් අපේ රටට ලැබෙන්නේ ඩොලර්. ඒ ව්‍යාපාර කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්න වගේම ඉදිරියටත් හොඳ ගීත නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.


කුමුදිකා ඩී. සපුතන්ත්‍රි



Previous Post Next Post