අපි ගින්දරත් එක්කයි ඩීල් කරන්නේ -අමීලියා විජේසූරිය



අමීලියා විජේසූරිය මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිතර දකින්න ලැබෙන චරිතයකි. ඇවටර් සංගීත කණ්ඩායම සමඟ එක්වී ප්‍රසංග වේදිකාව මත විශාල පෙරළියක් කරන මේ අපූරු තරුණිය ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වී ඇති බව පැහැදිලියි. ඕනෑම ආරක ගීත ගායනා කළ හැකි අමීලියා මේ වනවිටත් සංගීත ලෝකයේ හිතාගත නොහැකි දුරක් ගොස් ඇති බවට ඇයට ලැබෙන ප්‍රතිචාර සාක්ෂි දරනු ඇත. ඇය පාරම්පරික නර්තන ඉතිහාසයකට උරුමකම් කියන කලා පරම්පරාවක අටවැනි පුරුකට අයත් සාමාජිකාවක් වීම තවත් විශේෂත්වයකි. ඇගේ දක්ෂතා අතර තවත් බොහෝ දෑ තිබෙන බව වටහා ගත් අපි ඇය හා කතාබහට එක්වීමු.


අමීලියා කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයේ ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. කොහොමද ඒක වෙන්නේ?


ඇත්තටම ඇවටර් බෑන්ඩ් එක නිසා තමයි මේ තරම් ජනප්‍රිය වුණේ. මට ඇවටර් බෑන්ඩ් එක කතා කරලා දුන්නේ නවීන් අයියා. ඒ මීට අවුරුද්දකට කලින්. ඔඩිෂන් එකට ගිහින් පළමුවැනි වටයෙන්ම තේරුණා. මේක මං තනියම ආපු ගමනක් නොවෙයි. ඇවටර් එක්කම ආපු ගමනක් නිසා මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ කමෙන්ට්ස් ලැබෙනවා. ලංකාවේ ජනප්‍රියම ආර්ටිස්ට්ලත් ගොඩක් හොඳ කමෙන්ට්ස් දෙනවා. ෆෑන්ස්ලගෙනුත් ඒ වගේමයි. අපේ හාර්ඩ් වර්ක් එක, ප්‍රැක්ටිස් එක වගේම ටීම් වර්ක් එක තමයි මෙච්චර ඉක්මනට ජනප්‍රිය වෙන්න හේතු වුණේ. මගේ ඩැඩීට තමයි මාව ජනප්‍රිය ගායකාවක් කරන්න ලොකුම වුවමනාව තිබුණේ. ඔහු තමයි අද ගොඩක්ම සතුටු වෙන්නේ.


ඔබ ඇවටර් බෑන්ඩ් එකේ ප්‍රධාන ගායිකාව. ඔවුන් ගැනත් කතා නොකළොත් අඩුවක් වේවි?


ඔව්. මගේ සින්ගින් පාර්ට්නර් තේජාන්. T J කිව්වම හැමෝම දන්නවා. බේස් ගිටාර් ශෙහාන්, ලීඩ් ගිටාර් දුලාන්, ඩ්‍රම්ස් බෙන්ජමින්, සුපර් පර්කෂන් සචින්, කීබෝඩ් නිලංග. ඒ වගේම බෑන්ඩ් ඕනර් චතුරංග විතානගේ. ඔහුගේ අදහස් නිසා තමයි අපි මේ තරම් ඉක්මනින් ජනප්‍රිය වුණේ. මැනේජර් විදිහට කටයුතු කරන සුධාරක අයියත් මතක් කළ යුතුයි.


ඔවුන් එක්ක ලබපු පළමු අත්දැකීම මතකද?


මුලින්ම මං එළිමහන් ප්‍රසංගයක් කළේ මාතර. ඊට කලින් මං එළිමහන් ප්‍රසංගවලට සම්බන්ධ වෙලා තිබුණේ නෑ. අදත් එක්ක සංසන්දනය කරල බලද්දි මටම තේරෙනවා මං ගොඩක් ඩිවොලොප් වෙලා කියලා. ගොඩක් දෙනා ඒක කියනවා. අත්දැකීම් ලබද්දි අපි දවසින් දවස දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම බෑන්ඩ් එකේ අයියලත් ගොඩක් දේවල් කියල දෙනවා.


ඔබ බොහෝ දුරට බටහිර පන්නයේ ගීත ගායනා කරන කෙනෙක්?


මං බටහිර ගීත ගායනා කරන නිසා ගොඩක් දෙනෙක් එහෙම හිතුවට මට හැම ආරකම ගීත ගායනා කරන්න පුළුවන්. බටහිර, හින්දි, සිංහල වගේම බයිලා, රැප් ගායනා කරන්නත් පුළුවන්. මං ආසයි බයිලාවලින් ප්‍රේක්ෂකාගාරයම නටවන්න. ඩැඩී තමයි මගේ පළමු සංගීත ගුරුවරයා. උමාරියා සිංහවංශ, රයිනි චාරුකා වගේම අමිල දිල්හාන් මගේ පසුකාලීන ගුරුවරුන් වුණා.


සාමාන්‍යයෙන් ගායිකාවෝ රැප් ගායනයට යොමුවෙනවා අඩුයි. ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මට ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නෙ රැප් ගායනයට. මං රවී ජේගේ රැප් ගායනය කරන්නේ. ඒක ගොඩක් අමාරුයි. ගොඩක් අයට පුදුමයි එයාලට හිතාගන්න බෑ මං රැප් ගයනවා කිව්වම. තාමත් මට අවුරුදු 16යි. උසස් පෙළ හදාරනවා. මං උසස් පෙළ හදාරන්නේ ජීව විද්‍යා අංශයෙන්. ලංකාවේ ජනප්‍රිය රැපර්ස්ලගෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


අමීලියාගේ පෞද්ගලික තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයන් කැමැති ඇති?


මගේ ගම අම්බලන්ගොඩ. මං ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. ලබන ජනවාරි මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. වෛද්‍යවරියක් වෙන එක තමයි මගේ ලොකුම හීනය. පුංචි කාලෙ ඉඳන්ම තිබුණු අනෙක් හීනය තමයි ජනප්‍රිය ගායිකාවක් වීම. ඒක දැනටමත් වෙලා ඉවරයි. දැන් මට තියෙන්නේ වෛද්‍යවරියක් වෙන සිහිනය. ඒ වගේම ජාත්‍යන්තර ගායිකාවක් වෙන්නත් ගොඩක් කැමැතියි.


අමීලියා නර්තනයටත් දක්ෂයි කියල ආරංචියි?


මං අවුරුදු තුනේ ඉඳන්ම නර්තනය හැදෑරුවා. මං කරන්නේ පහත රට නර්තනය.


අපිට අයිති පාරම්පරික නර්තන කලාවක් තියෙනවා. දැන් යන්නෙ හත්වැනි පරම්පරාව. මගේ සීයයි ඩැඩියි තමයි හත්වැනි පරම්පරාව ගෙනියන්නේ. මායි, මල්ලියි, නංගියි අයිති අටවැනි පරම්පරාවට. ආරියපාල කියන මගේ මී මුත්තා තමයි වෙස් මුහුණු, කෝලම් මුළු ලෝකෙටම හඳුන්වලා දුන්නේ. ඒ නිසා පොඩි කාලෙ ඉඳන්ම මට තිබුණෙ නර්තන වටපිටාවක්. අපේ ගෙදර හැමවෙලේම අඩුම ගානෙ බෙර සද්දයක් හරි තියෙනවාමයි.


නර්තන අංශයේ ඔබේ දක්ෂතා ගැන කතා කළොත්?


මෝදර දෙවොල් පෙරහර අම්බලන්ගොඩ සුවිශේෂී පෙරහරක්. අපේ පවුලම ඒ පෙරහරේ නටනවා. මං අවුරුදු 3 ඉඳන්ම ඒ පෙරහරේ නටනවා. තාමත් දේවල් ඉගෙන ගන්නවා. මේ අවුරුද්දෙත් සම්බන්ධ වුණා. මං ගොඩක්ම ආස රාස්ස වෙස්මුහුණ පැලඳගෙන නටන්න. ඒක ලේසි වැඩක් නෙවෙයි. වෙස් මුහුණ ගැටගහගෙන නටන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඒ වෙස් මුහුණක් කිලෝ 3-5 වගේ බරයි. ඒකත් ගැටගහගෙන පන්දම් අරන් නටනවා කියන්නේ අමාරු වැඩක්. ඒ වගේ නටන්නේ පිරිමි අය විතරයි. මොකද ගැහැනු කෙනෙකුට ඒ වගේ බරක් උස්සන් නටන්න අමාරුයි. ගොඩක් දෙනෙකුට හිතාගන්න බෑ මේ අමීලියා ද නටන්නෙ කියලා. අපි ගින්දරත් එක්කයි ඩීල් කරන්නේ. වෙස් මුහුණ බැන්දම අපිට පොඩ්ඩක්වත් පේන්නේ නෑ. හුස්ම ගන්නත් අමාරුයි. සම්පූර්ණයෙන්ම කවර් වෙලා. මුකුත්ම පේන්නෑ. ගින්දර කෑල්ලක් ඇඟට ආවත් පේන්නෑ. ඇඟට වැටිලා ඇඳුම පිච්චෙන සුවඳ දැනුණොත් මිසක් පේන්නෙ නෑ. ඒ නිසා මේක ලොකු රිස්ක් එකක්.


වෙස්මුහුණු දමාගෙන පන්දම් අරන් නටද්දි අනතුරුදායක අත්දැකීම්වලට මුහුණ දීලත් ඇති?


අපි පන්දම් අරන් නටද්දි එක අතකින් පන්දම අරන් අනිත් අතින් දුම්මල ගහන්න ඕන. දුම්මල හැමෝටම දෙන්නෙත් නෑ. ඩැඩීටයි මටයි විතරයි දුම්මල දෙන්නේ. දුම්මල ගැහුවම ලොකු ගිනි දැල්ලක් එනවා. දවසක් දුම්මල මගේ මුහුණ ඇතුළටම ආවා. දුම්මල එක්ක ගින්දර එන එක සාමාන්‍යයි. ඉක්මනින් ඩැඩී ඇවිත් මගේ වෙස් මුහුණ ගැලෙව්වා. ඒක හරි තදට ඔළුවට තියල ගැටගහන නිසා ගලවන්නත් ලේසි නෑ. දැන් බැලුවත් පේනවා වෙස් මුහුණු බැඳලම මගේ ඔළුව පොඩ්ඩක් ඇතුලට එබුණ ගතියක් පේනවා.


නාමලී ගමගේ



Previous Post Next Post