පාට කුරුල්ලෝ පිටපත ලියන්නේ මගේ මහත්තයා – නයෝමි පෙරේරා



දෙරණ නාලිකාවේ විකාශනය වන ‘සිත නිදි නෑ’ ටෙලි නිර්මාණයේ ‘සඳලි’ ලෙසින්ද හිරු නාළිකාවේ විකාශනය වන ‘බඹරෙක් ඇවිත්’ හි රංජනී’ ලෙසින්ද ඔබ හමුවට එන ඇය නමින් නයෝමි පෙරේරා. ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය ටෙලි නාට්‍ය පිටපත් රචක බුද්ධික සේමසිංහ. මේ දිගහැරෙන්නේ නයෝමිගේ කතාවයි.

මේ දවස්වල වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ සඳලිටද? රංජනීටද?


මේ චරිත දෙකටම එක හා සමානව ප්‍රතිචාර ලැබෙනවා. ඒකට හේතුව මේ චරිත දෙක දෙකක්නේ. මේක මට මාර අත්දැකීමක්. සමහරුන්ට කාලයක් ගිහිල්ලානේ මේ වගේ අත්දැකීමක් ලැබෙන්නේ. නමුත් මට කලින්ම ඒ අවස්ථාව ලැබුණා.


පසුගිය දවස්වල නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබුණා නේද?


පසුගිය දවස්වල මම රඟපෑ සීසර්ලා කියලා නාට්‍යයක් විකාශනය වුණා. හිරුපායා චරිතය හරහා මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පසුව බයිස්කෝප් කියලා නාට්‍යයක් විකාශනය වුණා. පස්සේ මේ නාට්‍යයේ නිෂ්පාදන අංශයේ ගැටලුවක් හින්දා රඟපෑ සියලුම කලාකරුවන් ඉන් ඉවත් වුණා. එහි මම රඟපෑවේ ගිහාන් ප්‍රනාන්දු අයියාගේ දුව විදිහට. මගේ චරිතෙට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේදී මම රංගනයෙන් දායක වුණු තවත් ටෙලි නාට්‍ය දෙකක් විකාශනය වීමට නියමිතයි.


රංගනය තෝරාගන්න හිතුවේ ඇයි?


මම නිරූපණ ක්ෂේත්‍රයෙන් තමයි රඟපෑමට ආවේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව අහම්බයෙන් තමයි නිරූපණයට ආවේ. නිරූපණයේ ඉන්න ගමන් රඟපෑමට එන්න පුළුවන් වුණෙත් අහම්බයෙන්. මම විලාසිතාවලට ආසයි. කවදාවත් අවස්ථාවක් නොලැබෙයි කියලා හිතපු හින්දා මම රඟපෑමට එන්න උත්සාහ කළේ නැහැ.


එතකොට රඟපාන්න ආවේ පෙම්වතා හින්දා කියන්නේ ඇත්තද?


ඔව්. මගේ පෙම්වතා ජනප්‍රිය පිටපත් රචකයෙක්. ඔහු ඒ කාලේ රංගනයේ පවා නිරතවෙලා තියෙනවා. ඔහු නිසා තමයි මට මේ අවස්ථාව හම්බවුණේ. එයා දැන් මගේ මහත්තයා. ඔහු නමින් බුද්ධික සේමසිංහ. ඔහු හින්දා තමයි මම රඟපෑමට ආවේ.


ඉගෙන ගත්තේ මොනවා කරන්න හිතාගෙනද?


මම උසස් පෙළ කළේ වාණිජ විෂය ධාරාවෙන්. මගේ හිතේ ආශාව තිබුණේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියැළෙන්න. නොහිතපු වෙලාවක නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන්න අවස්ථාව උදාවුණා. එතැනින් එහාට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියැළෙන්න තියෙන අවස්ථාව නැතිවෙලා කලාවට යොමුවුණා.


රංගන ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?


රඟපාන්න ආවහම තේරෙනවා හරිම සුන්දර ක්ෂේත්‍රයත් කියලා. අපිට විවිධාකාර මිනිස්සු මුණගැසෙනවා. ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ හරිම නිහතමානියි. මේ පොඩි කාලයට මට රඟපාන්න හම්බ වුණේ ක්ෂේත්‍රයේ දැවැන්තයෝ සමගයි. ඒක මට මාර වටිනවා. ඒ කාලය තුළ මට ලැබුණ අත්දැකීම් එක්ක ලොකු සහයෝගයක් ලැබුණා. රංගන ක්ෂේත්‍රය කියන්නේ සතුටින් වැඩ කරන්න පුළුවන් ක්ෂේත්‍රයක්.


ඔබේ සැමියා ජනප්‍රිය පිටපත් රචකයෙක්?


ඔව්. මගේ සැමියා බුද්ධික සේමසිංහ. ඔහු අතින් පසුගිය කාලයේ පාරදිගේ, පාට කුරුල්ලෝ වගේ ජනප්‍රිය ටෙලි නාට්‍යවල පිටපත් රචනය සිදුවුණා. ඒකත් හරිම ලස්සන අත්දැකීමක්. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න නම් දෙන්නම එකම ක්ෂේත්‍රයක වැඩ කරන්න ඕනෑ. මට ලැබෙන වැඩ ගැන ඔහුට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මොකද ඔහුට ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.


ඔහු කාර්යබහුල චරිතයක්ද?


ඔව්. රචකයෙක් විදිහට ඔහු මාර බිසී. සමහර වෙලාවට අපි දෙන්නට කතා කරන්න වෙලාවක් නෑ. වෙන අයට ඔය ප්‍රශ්න ආවොත් ෆැමිලි ලයිෆ් එක කැඩෙනවා නේ. සමහර වෙලාවට එයාට මා ගැන හොයන්නවත් නැති වෙලාවල් තියෙනවා. අපි දෙන්නා හොඳ තේරුම් ගැනීමක ඉන්නේ. චරිතයක් රඟපාන්නත් ඔහුගේ උපකාරීත්වය මට සෑහෙන්න වටිනවා.


බුද්ධිකගේ පිටපත් ගැන කතා කළොත්?


එයා මුලින්ම ලිව්වේ 2018 හිරු නාලිකාවේ විකාශනය වුණු ‘බටහිර අහස’ ටෙලි නාට්‍යයේ පිටපත. ඊට පසුව සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගෙන් පසුව පාරදිගේ ටෙලි නාට්‍යයේ පිටපත ලිව්වා. ඒ කොටස් 410 ඉඳලා තමයි ලියන්න පටන් ගත්තේ. එතැනින් පසුව ඔහු ගැන කතාබහ කරන්න පටන්ගත්තා. එතැනින් පසුව පාට කුරුල්ලෝ, සිකුරු ඇවිත් ටෙලි නාට්‍ය දෙකේ පිටපත් රචනය සිදු කෙරෙනවා. මීට කලින් බයිස්කෝප්, සීසර්ලා ටෙලිනාට්‍යවල පිටපත් ලිව්වෙත් මහත්තයාම තමයි. ඔහුට ඇත්තටම කරන්න බැරි තරමටම ආරාධනා ලැබෙනවා. ඒ හින්දා ගොඩක් නාට්‍ය භාරගන්න බැහැ.


මේ දවස්වල මහත්තයාගේ පාට කුරුල්ලෝ පිටපත හරි ජනප්‍රියයි නේද?


ඇත්තටම ඔව්. අපිත් හරි ආශාවෙන් තමයි නරඹන්නේ. එයාගේ නාට්‍යයක් ඒ වගේ ජනප්‍රියත්වයක තියෙන එක ගැන හරි සතුටුයි.


සැමියාගේ වැඩවලට ලබාදෙන සහයෝගය?


මම කොච්චර ෂූටින් ගියත් එයාට කෑම බීම පවා හදලා තමයි යන්නේ. ගොඩක් වෙලාවට මම එයාගේ හැමදේම බලනවා. සියලුම දේවල් මම තමයි බලන්නේ.


රඟපාන්න එපා කියලා නැතිද?


නැහැ. ආදර සම්බන්ධතාවය තියෙන කාලේ ඉඳලා එයා මේ ක්ෂේත්‍රයේ හිටියේ. මුලින් නම් මට අවස්ථාවක් ලබාදුන්නේම නැහැ. මේ ක්ෂේත්‍රයේ ඇත්තටම යන්න හරිම අමාරුයි. තමන් හරියට කල්පනාවෙන් ගියොත් තමයි ගමනක් යන්න පුළුන් වෙන්නේ. ගියාට ගියොත් දිගු ගමනක් යන්න අමාරුයි. ඇත්තටම මට වාසනාවක් තිබුණා එයා හින්දා හොඳ චරිතවලට සහභාගි වෙන්න. ඒක මට ලැබුණු භාග්‍යයක්.


දිනේෂ් විතාන



Previous Post Next Post