මම යන්නෙ හරිම සරල පාරක-සචින් ලියනගේ




ප්‍රේමණීය හැඟුම් රසික සිත් පතුලටම මෝදු කරන්නට තරම් දක්ෂ වූ රංගන විලාසයන් තුළින් රසික සිත් වශී කරගත් ඔහු තරුණ කඩවසම් රංගන ශිල්පියෙක්. කලා ලොවට ප්‍රේමණීය ආලෝකයක් විහිදවන ඔහු පුංචි තිරයෙන් වගේම දැන් රිදී තිරයෙනුත් දැකගන්න පුළුවන්. ඉතින් මෙවර හදගැස්මට මේ සො¾දුරු කතාබහ එක් කරන්නේ රංගන ශිල්පී සචින් ලියනගේ.


මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?


මේ දවස්වල නම් ටෙලි ඩ්‍රාමාස්වල වැඩකටයුතු කරගෙන යනවා. චිත්‍රපටයකටත් ආරාධනයක් ලැබී තිබෙනවා. ඒකෙ ෆොටෝ ෂූට් එක කළා. ඉතින් ඒ වැඩ කටයුතුත් එක්ක තමයි කාලය ගත වෙන්නේ.


“කියා දෙන්න ආදරේ තරම්”හි නිර්වාන්ගේ චරිතයට පණ පෙවූ ඔබට පාරාදීසේ වගීශගේ චරිතය දැනුණේ කොහොමද?


ඇත්තටම නිර්වාන් ගැන කතා කරන්න නම් දැන් මට අයිතියක් තිබෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් මම රංගනයෙන් දායක වුණු කොටස ගැන කියන්නම්. නිර්වාන්ගේ චරිතය සාමාන්‍යයෙන් ටිකක් අහිංසක, ගොඩක් සාධාරණ විධියට වැඩ කරන මිනිසුන්ට හොඳට ටී්‍රට් කරන චරිතයක් විධියට තමයි මම දකින්නේ. ඒ වගේම ගෙදරක් බලා ගන්න අම්මා, තාත්තා ඉන්න පවුලක් තිබෙන කෙනෙක්. නමුත් වගීශ කියන චරිතය ගත්තම වගීශ ළඟ අම්මා, තාත්තා නැහැ. ඔහු තාත්තාව හොයනවා. වගීශ හැදුණු විධිය එයා දන්නේ නැහැ. වගීශ කියන්නේ ඉක්මනින් තරහ යන කෙනෙක්. සමහර වෙලාවට හොඳ තීරණ ගන්නවා. ඒ වගේම වැරැදි තීරණත් ගන්නවා. එයා කොහෙත්ම අහිංසක පුද්ගලයෙක් විධියට මම දකින්නේ නැහැ.


ඇතුළාන්තයේ අහිංසක පුද්ගලයකු හිටියත් පිටතින් ඉන්නේ වෙනස් පුද්ගලයෙක් විධියට තමයි මම වගීශගේ චරිතය දකින්නේ. ඉතින් නිර්වාන් සහ වගීශ කියන චරිත දෙකම පෙම්වතුන්ගේ චරිත වුණත් ඒ චරිත දෙක දෙවිධියක්. නිර්වාන් නිවුණු චරිතයක්. නමුත් වගීශ ඉක්මනින් කේන්ති ගන්නා චරිතයක්. ඒ චරිත දෙකෙහි හැසිරීම, කතා විලාසය ටෝන් අප් එක එහෙමත් වෙනස්. වගීශගේ වොයිස් එක ගොඩක් අප් යන්නේ. නිර්වාන්ගේ වොයිස් එක සාමාන්‍යයෙන් ටිකක් ලෝව් (Low) තමයි යන්නේ.


ඔබ මුල් වරට ප්‍රධාන චරිතයකින් රංගනයෙන් දායක වූ “කියාදෙන්න ආදරේ තරම්” හි නිර්වාන්ගේ චරිතයෙන්ම ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිතුණේ?


“කියා දෙන්න ආදරේ තරම්” ටෙලි නාට්‍ය මම රංගනයෙන් දායක වූ දෙවැනි ටෙලි ඩ්‍රාමා එක. නමුත් ඒක ප්‍රධාන චරිතයකින් මම රංගනයට දායක වූ පළමු ටෙලි නිර්මාණය තමයි. ඉතින් ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබාදෙන්න මට අවස්ථාව ලැබුණම මම හරි සතුටින් භාර ගත්තට ඒක මට ලොකු අභියෝගයක් වුණා. මොකද චරිත දෙකකට පණ පොවන්න තිබුණා. ඒ කියන්නේ ඩබල් ඇක්ටිංවලින් තමයි රංගන දායකත්වය ලබා දෙන්න තිබුණේ. ඒක ඕඩියන්ස් එක කොහොම භාර ගනීද දන්නෙ නැහැනේ. මට ටෙලි නාට්‍යය තුළ ප්‍රවීණ නළු නිළියන් සමඟ එකට වැඩකටයුතු කරන්න


ලැබීමේදී මම කොහොමද හැසිරෙන්න ඕන, කියන දේවල් ගැනත් මට ප්‍රශ්නාර්ථයක් තිබුණා. අඩියෙන් අඩිය තිය තියා මම ඒ වැඩකටයුතු හොඳට කළා කියලා මම හිතනවා. රසික ආදරය ඒ කාලේ ඉඳන් අද වන විට ගොඩක් වැඩිවෙලා තිබෙනවා. මගේ රසිකයෝ මාත් එක්ක තාමත් මට ශක්තියක් වෙලා ඉන්න එක ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම රසිකයන් තමයි මේ වෘත්තියේදී අපට ලැබෙන සතුටුදායකම දේ. රසික ආදරය වැඩි වෙනකොට ගොඩාක් සතුටුයි. රසිකයන් අපි ළඟ ඉන්නකල් තමයි අපට පැවැත්මක් තිබෙන්නේ. රසිකයන්ගේ ආදරය හරි ආදරයෙන් මම පිළිගන්නවා. මට ඒ රසික ආදරය කොයි වෙලාවකවත් කරදරයක් නෙවෙයි. මම ඕනෑම වෙලාවක පාරෙදි වුණත් රසිකයන් එක්ක ෆොටෝ එකක් හරි ගන්න කෙනෙක්. ඉතින් මට ලැබෙන රසික ආදරය ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.


චරිතාංග රංගන ශිල්පියෙක් විධියට පෙම්වතාගේ චරිත තුළට ඔබ කොටු වීම ඔබට අභියෝගයක්ද?


නැහැ. සාමාන්‍යයෙන් එක කාලයකට පෙම්වතා, පෙම්වතිය කියන චරිතයන්ටම විතරක් තෝරා ගන්නා රංගන ශිල්පීන් ඉන්නවා දකින්න පුළුවන්. නළුවෙක් වන අපි හැමෝටම ප්‍රේමවන්තයා කියන චරිතය ගොඩක් කාලයක් කරන්න ලැබෙනවා. මගෙ ටර්ම් එක තුළ ඒ දේ තමයි මම ප්‍රේමවන්තයාගේ චරිතය තුළින් කරගෙන යන්නේ. ඉතින් මගේ ටර්ම් එක වෙනස් වෙන්න නම් මම තව වෙනස්කම්වලට යන්න ඕනෑ. ඉතින් ඒකට මට වෙනස්කම් සහිත නිර්මාණවලට ආරාධනා ලැබෙන්න ඕනෑ. ඉතින් මම මේ යන ගමන සාර්ථකයි කියල මට හිතෙනවා. මේක හරි හෙමින් යන ගමනක්. කැරැක්ටර්ස්


වෙනස් කරන්න නම් මට තව අත්දැකීම් ලබා ගන්න ඕනෑ. ඒ වගේම අනෙක් අයගෙන් ලබාගන්නා දැනුම අවශ්‍යයි. ඒ දේවල් ලබා ගැනීමත් එක්ක තමයි ඉදිරියට මගේ කැරැක්ටර්ස් වෙනස් වෙන්නේ. එකපාර වෙනසකට ගිහින් රසික සිත් ඇතුළේ මම දිනා ගත්ත ආදරය නැති කරගන්න මම කැමැති නෑ. ඉතින් මං හිතන්නේ මේ කාලයේ රසිකයෝ මගෙන් බලාපොරොත්තු වන්නේ ආදරවන්තයා කියන දේ. එතැනින් එහාට වෙනස්කම්වලට යන්න මම ආසයි. ඒකට ටික කාලයක් ගතවෙයි.


 කලා ක්‍ෂේත්‍රයට නවක කලා පරපුරෙන් එක්වූවකු ලෙස ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන අත්දැකීම් ගැන කතා කළොත්?


ඒ අත්දැකීම් තමයි මට ලැබුණු ලොකුම දේ. මම රංගන කටයුතුවලට දායක වන හැම නිර්මාණයෙන්ම මට ප්‍රවීණයන් හමුවෙනවා. ඒ හැමෝම හරි ආදරයෙන් මාත් එක්ක වැඩ කටයුතු කරනවා


ඉතින් ප්‍රවීණයන් ඔවුන්ගේ දැනුම මාත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මම ඔවුන්ට ගොඩක් ගෞරව කරනවා. ඉතින් මම ඒ දැනුමත් එක්ක තමයි මේ ගමන යන්නේ. මම හිතනවා කලාකරුවන් බොහොමයක් එක්ක එකට වැඩ කටයුතු කරන්න ලැබීම ම මට ආශීර්වාදයක් කියල.


ජනප්‍රියත්වයත් සමඟ ජනප්‍රිය පුද්ගලයන්ට හොඳ ප්‍රතිචාර වගේම චෝදනාත් ලැබෙන්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස?


මගේ රසිකයන්ගෙන් මට අද වෙනකල් ඒ වගේ චෝදනාවක් නම් ඇවිල්ලා නැහැ. මම යන්නේ හරි සරල පාරක සහ ඒක මගේ රසිකයන්ට පෙනෙන්නට තිබෙන දෙයක්. හරි ඉක්මනට එකපාරටම දියුණු වුණේ නැහැ. ටිකෙන් ටික තමයි මේ ගමන ආවේ.


සාමාන්‍යයෙන් මට රසිකයන්ගෙන් නරක ප්‍රතිචාර එන කාලයක් නම් ඒ දේවලුත් මම භාර ගන්න ඕනෑ. මට නරක ප්‍රතිචාර මෙතෙක් කාලයකට ලැබුණා නම් ඒ සම්මාන උළෙලක් ළං වෙනකොට විතරයි. රසිකයෝ කියන්නේ හැම වෙලේම තමන් ආදරය කරන පුද්ගලයා දිනනකම් බලන් ඉන්න පුද්ගලයන් පිරිසක්. ඒ කාලෙට තමන් ආදරය කරන කලාකරුවා දිනවන්න ඕන නිසා එහෙම මඩ ප්‍රචාර එහෙන් මෙහෙන් යනවා. ඉතින් ඒ දේවල් සම්මාන උළෙලත් එක්කම ඉවර වෙනවා. ඉතින් රසිකයන්ගේ ආදරේ නොඅඩුවම මට ලැබෙනවා කියලා මම හිතනවා. නරක ප්‍රතිචාර කියලා නම් මට ආවේ නෑ. මට නරක ප්‍රතිචාර ආවොත් මම ඒ ගැන සලකා බලන කෙනෙක්.


විසල් ආදරේ වගේම සිනමා අත්දැකීමකින් නැවතත් ඉදිරියේදී සිනමාවෙන් ඔබව දකින්න පුළුවන් වේවිද?


මම රඟපාපු ප්‍රථම චිත්‍රපටයෙන්ම දින සියය සම්පූර්ණ කළ රංගන ශිල්පියෙක්. ඉතින් ඒ වාසනාව පහසුවෙන් කාටවත්ම ලැබෙන්නේ නැහැ. මම ප්‍රධාන චරිතයකින් සිනමාවට අඩිය තියපු පළමු චිත්‍රපටයම දින සියයක් සම්පූර්ණ කිරීම ගැන ලොකු සතුටක් තිබෙනවා. ඉතින් ඉදිරියේදී මගේ තවත් නිර්මාණ රසිකයන්ට ලැබෙන්න තිබෙනවා. ඒවත් එක්ක අපි ඉදිරියට කතා කරමු.


රසික ආදරය නොඅඩුව ලබන රංගන ශිල්පියෙක් විධියට ඒ රසික ආදරය ඔබට දැනෙන්නේ කොහොමද?


 රසික ආදරය තමයි අපේ මූලිකම දේ. මට ඉන්න රසික පිරිස කවදාවත් මාව දාලා ගියේ නැහැ. හරි ලස්සන ආදරණීය රසික පිරිසක් මට ඉන්නේ. මගේ රසිකයන්ට මම කියලා තිබෙන්නේ මගේ හොඳ නරක දෙකම ඕන වෙලාවක කමෙන්ට් කරන්න කියලා. මගේ නම්බර් එකත් මම ඉන්ස්ටග්‍රෑම්වල දාලා තිබෙනවා. ඉතින් රසිකයන් මාව අතඅරින දවසක විතරයි මං මේ වැඩේ අතාරින්නේ. රසිකයන් මට ශක්තියක් වන තාක්කල් මම නිර්මාණවලට දායක


වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒ වගේම තමයි රසිකයන් මට දෙන ආදරේ කිසිම වෙලාවක මම අයුතු විදිහට ප්‍රයෝජනයට ගන්නෑ කියලා මම එයාලට පොරොන්දු වෙනවා. මොකද මම දකිනවා රසික ආදරය අයුතු ලෙස ප්‍රයෝජනය ගන්න අය. මම කලාවේ ඉඳලා කලාවෙන් අයින් වෙන දවසටත් ඒ පොරොන්දු රැකගෙන ඉවත් වෙලා යයි.


රුවිනි අමරකෝන්



Previous Post Next Post