ආදර කතා නම් ගොඩක් තිබුණා දැන්නම් තනිකඩයි- යෂ් වීරසිංහ




හා හා පුරා කියා ඔහු කැමරාවට මුහුණදී ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘පාරා වළලු‘ ටෙලි නිර්මාණයෙනි. එය ඔහු කවුරුන්දැයි කියා හඳුනාගැනීමට තරම්වත් නොහැකි සුළු චරිතයක් යැයි කිවහොත් ඔබ පුදුම වේවි. කාලය විසින් ඔහු පරිණත කර තිබෙන අපූරුව අගනේය.


MAIN CHARACTOR, සංසාරිණී, සික්ස්පැක් ලෙසින් අද ජනප්‍රියම තලයේ ටෙලි නිර්මාණ හතරක ප්‍රධාන චරිතයන් ඔස්සේ ඔහු ඔබ හමුවට පැමිණේ. කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ අනා ඔහුගේ රංගන ජීවිතේ පෙරළිය යැයි කීවත් නිවැරැදිය. මේ දිනවල MAIN CHARACTORහි ප්‍රධාන චරිතයෙන් ඔබ හමුවන ඔහු කලා පවුලක පුරුකක් වන යෂ් වීරසිංහය.


යෂ් මේ දවස්වල මොන චැනල් එක දැම්මත් දකින්න ලැබෙන චරිතයක් වෙලා?


ඒක හරි. මේ දවස්වල මම ගොඩක් කාර්යබහුලයි. මගේ අලුත්ම නිර්මාණය ශාන් ජයරත්නගේ MAIN CHARACTOR මේ දවස්වල විකාශය වෙනවා. ඒ වගේම කියාදෙන්න ආදරේ තරම් දැන් අවුරුදු කිහිපයක ඉඳන් විකාශය වෙනවා. අනා එහෙම නැත්නම් අනර්ඝ කියන්නෙ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගිය චරිතය. සංසාරිණී ටෙලි නිර්මාණය ගත්තොත් ද්විත්ව චරිතයක්. එකම නිර්මාණයේ පැතිකඩ දෙකක් නිරූපණය කරන්න ලැබුණ අවස්ථාවක්. ඒ වගේම අසංක සායක්කාරගේ සික්ස්පැක් ටෙලි නිර්මාණය. ඊට අමතර අලුත් ෆිල්ම් එකකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.


ඔබ ක්ෂේත්‍රයට එන්නේ නමක්වත් නැති චරිතයකට රංගනයෙන් දායක වෙලා. දැන් ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මං කැමරාවක් ඉදිරියේ ඉස්සෙල්ලම අත්දැකීමක් ලැබුවේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ පාරා වළලු ටෙලි නිර්මාණයේ. හරියටම කියනවා නම් ඒක නමක්වත් නැති චරිතයක්. ඒක මුලින්ම විකාශය වෙන දවසේ මුල්ම සීන් එක බලන්න ගෙදර හැමෝම රූපවාහිනිය ඉදිරියේ වාඩිකර ගත්තා. එදා ඒක මට හරි ලොකු දෙයක්. කාලය ගොඩක් දේවල් වෙනස් කරලා. ඇත්තම කිව්වොත් අද මං මේ ඉන්න තත්ත්වයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්න ඕන මගේ ලොකු අම්මා ගීතා කාන්ති ජයකොඩිට. ඇය තමයි මාව ස්ක්‍රීන් ටෙස්ට්වලට වොයිස් ටෙස්ට්වලට යොමු කළේ. මාව ප්‍රතික්ෂේප වුණු, කඩා වැටුණු තැන් අනන්තයි. ඒත් ඇය කවදාවත් මැදිහත් වෙලා කිව්වෙ නෑ මෙයාව ගන්න, මෙයාට තව චාන්ස් එකක් දෙන්න කියලා. ඇය නිතරම කිව්වෙ ඊළඟ එකට ට්‍රයි කරන්න කියලා. ඇය කළේ මාව ඒවට යොමු කළ එක විතරයි.


MAIN CHARACTOR කියන්නෙ ඔබට සුවිශේෂී චරිතයක්?


MAIN CHARACTOR කරලා සෑහෙන කාලයක් වුණත් හරි ටයිම් බෙල්ට් එකක් එනකල් අපි බලන් හිටියා. හරිම ආසාවෙන් කළ නිර්මාණයක්. MAIN CHARACTOR එකේ මේන් කැරැක්ටර් එක. නළුවෙක් වෙන්න හීන දකින ඒ වෙනුවෙන් සෑහෙන කට්ටක් කන කොල්ලෙක්ගේ කතාවක්. ඒ වගේම මේ ෆීල්ඩ් එකේ වෙන දේවල් ගැන කතාකරන නිර්මාණයක්. මේ කතාව මගේ ජීවිතේටත් ගොඩක් සමීපයි. මමත් මේ තැනට එන්න සෑහෙන කට්ටක් කාලා තියෙනවා. ඔඩිෂන් ගිහිල්ලා ෆේල් වෙලා, වෙන්න තියෙන හැමදේම වෙලා තියෙද්දිත් ඉලක්කය අත්නොහැරපු කොල්ලෙක් මම. MAIN CHARACTOR එකේ ෂේන් කියන්නෙත් ඒ වගේ මොන දේ වුණත් කොහොම හරි තමන්ගෙ හීනෙට යන්න උත්සාහ කරන කොල්ලෙක්. මේ ෆීල්ඩ් එකට විතරක් නෙවෙයි මං හිතනවා මේ කතාව ඕනෑම ෆීල්ඩ් එකකට ආදර්ශයක් කියලා. අධ්‍යක්ෂණය ශාන් ජයරත්නගේ. තිර පිටපත ප්‍රියනාත් විදානපතිරණ.


චරිත ස්වභාවයත් අනෙක් ඒවට වඩා වෙනස් නේද?


ඔව්. හේලි නාට්‍යයේ විහේන් ඇරුණම අනෙක් හැම නිර්මාණයකම මට ලැබුණෙ චණ්ඩි එහෙම නැත්නම් නපුරු චරිත. ඒත් ඒවා විලන් කැරැක්ටර්මත් නොවෙයි. හොඳ නරක දෙපැත්තම අතර දෝලනය වන චරිත. ගොඩක් දෙනා හිතුවෙ යෂ්ට කරන්න පුළුවන් ඒ වගේ ඒව විතරයි කියලා. ඒත් ෂේන් කියන්නෙ කෙළිලොල් චරිතයක්. ෂේන් ඒකට දීපු හොඳ උත්තරයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්.



Previous Post Next Post