මයික්‍රෆෝනය ටිකක් දුරින් තියලා කතුරෙන් වැඩ පෙන්නන්න හිතුවා – රහල් අල්විස්




වසර ගණනාවක පෙර ‘සිතට හොරා මං ඔබේ වෙලා දැන්‘ කියලා කියූ රහල් අල්විස් කාලෙන් කාලෙට තමයි සංගීත ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන්නේ. කාලයක් නිහඬව ඉඳලා විවාහයත් එක්ක සමාජයේ කැපි පෙනුණු රහල් ආයෙමත් සංගීතයට විරාමයක් දීලා. ඒ මයික්‍රෆෝනය වෙනුවට කතුරක් අතට ගත් නිසා. කතුරේ කතාවත් පවුලෙන් ඈත්වීම ගැනත් රහල් මේ විදිහට කතා කරන්න පුවත්පතක් එක්ක එකතු වුණා. මේ රහල් ගැනයි.


මයික්‍රෆෝනයක් අතට අරගෙන සින්දු කියපු රහල් දැන් මයික්‍රෆෝනය පැත්තකින් තියලා කතුරක් අතට අරගෙන කියලා ආරංචියි ..?


මයික්‍රෆෝනය මගේ අතට ආවෙත් බොහෝම අහම්බෙන්. ඒ වගේම තමයි කතුර මගේ අතට ආවෙත් අහම්බෙන්. දැනට මයික්‍රෆෝනය ටිකක් දුරින් තියලා කතුරෙන් වැඩ පෙන්නන්න හිතුවා. කතුර ළඟට ගත්තට මයික­්‍රෆෝනයත් ළඟින් තියා ගන්න තමයි මම උත්සාහ කරන්නේ.


ඔබේම ව්‍යාපාරයක් ඩුබායි වගේ රාජ්‍යයක පවත්වාගෙන යන්න හිතුවේ ඇයි..?


ඩුබායි කොතනද හිටියේ. අද කොහෙද ඉන්නේ. ඒ වගේම තව අවුරුදු විස්සකින් විතර කොයි තරම් දියුණු මට්ටමක ඉඳියිද කියලා මම තවත් රටවල් කිහිපයක් එක්ක සංසන්දනය කරලා බැලුවා. ඒකත් එක්ක මට හිතුණා ඩුබායිවල ව්‍යාපාරයක් පටන් ගන්න හොඳ තැනක් කියලා. මම සාධාරණව ඉපැයූ මුදල් ඉන්වෙස්ට් කරන්න හරි මාර්ගයක් කියලා හිතලා තමයි මම ඩුබායි තෝරාගෙන ව්‍යාපාරය පටන් ගත්තේ. අලුත් සැලුන් එක ඩුබායි ඕපන් කළේ මගේ මුදල් අපතේ යන්නේ නැහැ කියන ලොකු විශ්වාසයත් එක්කයි. ඒ වගේම මම හොඳ සේවාවක් ලබා දෙනවා. මේක ඇත්තටම අහියෝගයක්. මොකද රහල් කියන නමට හරි ලංකාවේ ජනතාව මගෙන් සේවය ලබා ගන්න එයි. ඒත් මෙහේ මාව දන්න අය නැති තරම්. නමුත් මට විශ්වාසයි මගේ සැලූන් එක හරි පොඩියට තිබ්බත් පිළිවෙළට හරියට සේවාව ලබා දෙන නිසා සාර්ථක වෙයි කියලා.


සැලූන් කරන්න තරම්ම ඒ පැත්තෙන් පළපුරුද්දක් ඇති කෙනෙක් ද ඔබ..?


මයික් එක අතට ගනිද්දි වගේම කතුර අතට ගනිද්දි මට පළපුරුද්ද තිබ්බේ නැහැ. ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි ගායනයයි, සැලුන් එකේ වැඩෙයි සාර්ථකව කර ගත්තේ. නමුත් අද මට යම්කිසි දැනුමක්, පළපුරුද්දක් තියෙනවා කොහොමද සැලූන් එකක් රන් කරන්නේ කියලා. මගේ සේවය මම කොහොමද මගේ ළඟට එන අයට දෙන්නෙ කියන එක යම් අවබෝධයක් තියෙන නිසා මම විශ්වාස කරනවා මට සාර්ථක වෙන්න පුළුවන් කියලා. අපි හැමෝම යම් කිසි දෙයක් ආරම්භ කරන්නේ පළපුරුද්ක් එක්ක නෙමෙයි. මේ දේත් එහෙමයි.


එහෙම නැත්තම් ජනප්‍රිය අය මොකක් හෝ ව්‍යාපාරයක් පටන් ගන්න නිසා ඔබත් යොමු වුණාද..?


ජනප්‍රිය අය කරන බිස්නස් මොනවද කියලා මම හොයන්න යන්නෙ නැහැ. මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ මම ජීවිතේ වැටුණු කාලයක් තිබුණා. ඒ වැටීම තුළින් මට නැඟිටින්න අත දුන්නේ කතුර. ඒ නිසා තමයි මම සැලූන් ව්‍යාපාරයක් විදිහට වැඩි දියුණු කරගත්තේ. කවුරුත් කරන නිසා නෙමෙයි.


රහල් ගායකයෙක් විදිහට නැවත දකින්න ලැබෙන්නේ නැද්ද..?


මයික් එක අතට ගත්ත මම ගායකයෙක් වෙන්නේ මගේ කැමැත්තට. සින්දු කියන්න කියලා කවුරුවත් මට මයික් එක අතට දුන්නෙ නැහැ. අවුරුදු දෙක තුනක් මම සම්පුර්ණයෙන්ම සංගීතය ඈත් කරලා තිබුණේ. රහල් අල්විස් කියන ගායකයා මම අමතක කළා. නමුත් ආයෙමත් ගීත කිව්වා. දැන් ටික දවසකට කලින් ආයෙමත් මම ගායක භූමිකාව ටිකක් පැත්තකින් තියලා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. තව ටික කාලෙකින් ආයෙමත් මම සින්දු කියයි. ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙයි. එතකල් මගේ හඬින් ගීත ගැයෙන්නෙ නැහැ. ඒක තාවකාලික සමුගැන්මක් විතරයි



Previous Post Next Post