එයත් කලා පවුලක කෙනෙක් නිසා කොහෙත්ම මට නීති දාන්නෙ නැහැ-අංජුලා රාජපක්ෂ




පුංචි තිරයේ ඇයට මුල් කාලේ වැඩි ඉඩක් වෙන් වුණේ දඟකාර කටකාර පෙම්වතියගේ චරිත සඳහා. පසුව ඇය නපුරු මවක් ලෙස සමාජගත වෙනවා. දෙවැනි ඉනිම නාට්‍යයට අමීෂා හා උදේනී වූ ඇය තවමත් ජනතාවගේ හදවතේ ඉන්න නිළියක්. මේ දවස්වල පාරාදීසයේ නාට්‍යයෙන් වෙනස්ම චරිතයකින් දකින අංජුලා රාජපක්ෂ ගැනත් ඇයගේ පුංචි පවුලේ තොරතුරු ගැනත් මේ විදිහට රසඳුන කතාබහකට එකතු වුණා.   


දැන් අංජුලා පුංචි පුතා එක්ක කාර්‍යබහුල වෙලා නිසා වැඩිය නිර්මාණවලින් දකින්න නැහැ නේද ..?


පුතා ලැබුණට පස්සේ ටිකක් වැඩිපුර එයා එක්ක ඉන්නවා. ඒ නිසා ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නෙ නැතුව මට කරන්න පුළුවන් කියලා දැනෙන නිර්මාණවලට සම්බන්ධ වෙනවා. මම ආරාධනා ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නෙත් නැහැ.


පාරාදීසය නාට්‍යයෙන් අංජුලාගේ වෙනස්ම රංගනයක් දකින්න ලැබෙනවා. දැන් මවක් නිසා තනිකඩ ජීවිතේට වඩා අත්දැකීම් එකතු කරගෙන මවගේ චරිතයට සාධාරණයක් කරනවා ඇති..?


තනිකඩ ජීවිතේ ඉන්න කොට අම්මා කෙනෙකුගේ චරිතය රඟපාන්න ලොකු අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. හැඟීම් සම්පූර්ණයෙන් එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම දැන් අම්මා කෙනෙක් නිසා දරුවන්ට දක්වන ආදරේ වගකීම් ගැන වැඩිපුර දැනෙනවා. ඒක ඉබේටම ෆීල් වෙනවා චරිතයට යද්දී. පාරාදීසය කියන්නේ මම රඟපෑ නිර්මාණවලින් වෙනස්ම චරිතයක්. දුෂ්කරතා මැද ආර්ථික අපහසුතා එක්ක දරුවන් රැකබලාගෙන ජීවිතේ ගොඩ දාගන්න උත්සාහ කරන අම්මා කෙනෙක් විදිහට මම රඟපාන්නේ. ඒ චරිතයට මම හරි සාධාරණයක් කරනවා කියලා හිතෙනවා. ඒ චරිතය මට ගොඩක් දැණුනු චරිතයක්. අම්මා කෙනෙක් වුණාට පස්සේ ඒ වගේ චරිත වෙනදාට වඩා කරන්න පුළුවන් කියලා හිතෙනවා.


දෙවැනි ඉනිම එක්ක අංජුලා බොහෝ කාලයක් වැඩ කරනවා. එපා වීමක් දැනිලා නැද්ද ..?


එකම නිර්මාණයක අවුරුදු අටක් එක දිගටම රඟපානවා කියන්නේ ලෙහෙසි දෙයක් නෙමෙයි. මගෙන් නාට්‍යයට වගේම නාට්‍යයේ කාර්‍යමණ්ඩලයෙන් ලොකු සහායක් එකමුතු බවක් තියෙන නිසා තවමත් පවුලක් හැටියට වැඩේ කරගෙන යනවා. චරිතය වෙනස් වෙලා අලුත් වෙමින් රූගත වෙන නිසා තවම නම් එපා වීමක් නැහැ.


අංජුලා වැඩිපුරම බැණුම් අහන්නේ දෙවැනි ඉනිම චරිතයට වෙන්න ඇති. දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණු කාලයක් තමයි දෙවැනි ඉනිම එක්ක වැඩ කරපු කාලේ. මම විවාහ වෙන්නේ මට දරුවා ලැබෙන්නේ ඒ කාලේ. ඒ වගේම මාව අතිශය ජනප්‍රිය වෙන්නේ තවම වැඩිපුර කතා කරන්නේ ඒ චරිතවලට. මම බබා ලැබෙනකල්ම රඟපෑවා. බබා ලැබිලත් තවම රඟපානවා, අමිෂා නිසා මම ජනතාවගෙන් ගොඩක් බැණුම් ඇහුවා. ඔය විදිහට නපුරුකම් කරන්න එපා කියලා කියපු අය හිටියා. දැන් උදේනිගේ චරිතයට මිනිස්සු දක්වන්නේ වෙනම ආදරයක්. හරි ආදරෙන් දැන් කතා කරනවා. ඉස්සර වගේම මට තවම ආදරේ කරන ජනතාවක් ඉන්න එක ගැන හරි සතුටුයි.


දැන් අංජුලාව මවගේ චරිතයට කොටු කරලා නේද ..?


අවුරුදු 40න් පස්සේ ලංකාවේ නිළියන්ට වෙන චරිත රඟපාන්න නැති නිසා මවගේ චරිතයට තමයි ආරාධනා කරන්නේ. දෙවැනි ඉනිම නාට්‍ය එක්ක මට ගොඩක් ආරාධනා එන්නේ අම්මා කෙනෙක් විදිහට රඟපාන්න. ඒක ඉතිං රැල්ලක්. මේක රැකියාව විදිහට කරනවා නම් ඉන් මිදෙන්න බැහැ. නමුත් මම එහෙම චරිතයක් ලැබුණත් ඒ චරිතයට මට යමක් කරන්න පුළුවන් නම් විතරයි භාර ගන්නේ.


සැමියා නැතුව දඟකාර පුතත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද ..?


පුතාගේ නම සනිජ වීරකෝන්. එයාට දැන් වයස අවුරුදු තුනහමාරක්. එයාට තියෙන්නේ අහිංසක දඟකාරකම්. කාටවත් ෆෝන් එකෙන් කතා කරන්නවත් දෙන්නෙ නැහැ එයා මා ළඟ ඉන්නකොට. මම කතා කරනකොට එයාට අවධානය යන්නෙ නැති නිසා. එතකොට පුතා කරදර කරනවා. මගේ හස්බන්ඩ් රංග වීරකෝන්. එයාව මට මුණගැහෙද්දිත් එයා ජීවත් වුණේ ඉතාලියේ. විවාහ වුණා කියලා එයාට එහේ වැඩ දාලා එන්න බැහැ. මට එහේ යන්න බැහැ. මගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටසක් තියෙනවා. මගේ තාත්තා නැති වුණා. අම්මා ඉන්නේ මාත් එක්ක. ඒ නිසා රංග අවුරුද්දකට සැරයක් ලංකාවට එනවා අපිව බලලා යන්න. එයා එහේ පදිංචිය. එයා නැතුව මම දරුවා එක්ක ලංකාවේ ජීවත් වෙනවා.


එහෙම නම් දැන් වැඩිපුරම පුතා ළෙන්ගතු ඔබට වෙන්න ඇති ..?


මොනදේටත් එයා ළඟින් ඉන්න කෙනා මම නිසා මට තමයි ගොඩක් ආදරේ කරන්නේ. එයාට මාව නැතුව ඉන්න අමාරුයි. කොයි වෙලාවෙත් මාව හොයනව. රංග කතා කරද්දී එයා කතා කරනවා. ලංකාවට ආවම එයා එක්කත් වැඩිපුර ඉන්නවා. මාව රූපවාහිනියේ දකිද්දී අම්මී අම්මී කියලා කෑගහනවා. ඒ වගේ තැනකදි වුණත් එයාට මාව අඳුරගන්න පුළුවන්.


සැමියා විදෙස්ගත වෙලා ඉන්න නිසා ඔබේ රංගනයට ඔහු වැඩිපුර වාරණ දාලා ඇති ..?


නැහැ. රංග දන්නවා මම වැඩිපුර යාළුවෝ ආශ්‍රය කරන පාටි පස්සේ යන කෙනෙක් නෙමෙයි කියලා. මම වැඩ ඉවර කරපු ගමන්ම ගෙදර දුවගෙන එන්නේ. එයත් කලා පවුලක කෙනෙක් නිසා කොහෙත්ම මට නීති දාන්නෙ නැහැ. නිර්මාණ ලැබුණොත් මම එයාට කියනවා, අපි අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්න නැහැ.


සැමියා ළඟ නැතුව සියලු වගකීම් දරාගෙන ජීවත් වෙන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි නේද ..?


ළඟ නැතුව පාළුයි. ඒත් ලොකුවට වගකීම් දැනෙන්නේ නැහැ. දැනුණත් මම ඒ ගැන හිතන්නේ නැහැ. මම කොහොමත් තව කෙනෙක් මත යැපුණු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ඒක දැනෙන්නේ නැහැ. සියල්ල කරගෙන පුළුවන් විදිහට ඔහු නැතුව අපි ජීවත් වෙනවා. රංග ලංකාවට ඇවිත් ඉන්න කාලේ එයත් උදව් කරනවා.


ජීවිතේ මඟ හැරුණු අතපසු වූ දේවල් ගැන අංජුලා පසුතැවෙන කෙනෙක් ද..?


මොනව හරි දෙයක් සිදු වෙන්න තියෙනවා නම් ඒවා වෙනවා. සමහර දේවල් එහෙම වුණේ හොඳ දෙයක් ලැබෙන්න වෙන්න ඇති කියලා හිතලා ජීවත් වෙනවා. ජීවිතේ මට නැති වුණු දේවල්වලින් මට ලෝබ හිතුණේ මගේ තාත්තිගේ අහිමි වීම විතරයි. එයා තව ටිකක් අපිත් එක්ක ජීවත් වුණා නම් කියලා දැනෙනවා.


පිරිමි ආරක්ෂාව ළඟ නැති වෙනකොට අනිසි ප්‍රශ්න මතු වෙනවා, අංජුලා ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දීලා නැද්ද ..?


අපි ජීවත් වෙන විදිහට තමයි අපිම කතා හැදෙන්නේ. මඩ ප්‍රචාර හැදෙන්නේ කියලා මට හිතෙනවා. මට අද වෙනකල් කිසිම විදිහට කෙනෙක් අයුතු යෝජනා හෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙලා නැහැ. සැමියා ළඟ නැහැ කියලා එහෙම ප්‍රශ්න මතු වෙලත් නැහැ. මම ගොඩක් ආරක්ෂිතව ජීවත් වෙනවා.


නර්තන ගුරුවරයා ළඟට ඉගෙන ගන්න ගිය අංජුලාට ඔහුත් එක්ක දීග යන්න වුණා. ඒ සුන්දර මතකයත් මතක් කරමු?

ඔව්. රංග මට මුණගැහෙන්නේ ‘සඳදිය මංකඩ නාට්‍යයේ දි. එයා ඒකේ නර්තන ගුරුවරයෙක් හැටියට රඟපෑවා. මම නර්තන ශිෂ්‍යාවක්. එයා එතකොටත් රට හිටියේ. ලංකාවට ඇවිත් ඒ නිර්මාණයේ රඟපෑවා. එකම නිර්මාණයේ වැඩ කරද්දී ඇති වුණු සම්බන්ධයක් තමයි විවාහයක් දක්වා දුරදිග ගියේ. ඒ වෙද්දී මම ගැන නිර්මාණ එක්ක දැනගෙන හිටියද කියන්න මට එයා කියලා නැහැ. ඉන් පස්සේ අපි ආදරේ කරලා විවාහ වුණා. අදටත් එයා ඉතාලියේ බෙර වාදන සංගමයේ සභාපති විදිහට වැඩ කරනවා, නර්තන වැඩමුළු කරනවා. පුළුවන් විදිහට එයත් කලාවට සම්බන්ධ වෙනවා.


කතාබහ අවසන් කරන්න කලින් කියමු ඉස්සර වගේ විලාසිතා භාවිත කරන්න අවස්ථාවක් නැද්ද මවක් වීමත් එක්ක කියලා ..?


එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් වයසට යද්දී විලාසිතා කරන විදිහත් වෙනස් වෙනවා. මමත් ඒ වගේ. බබා ඉන්නවා කියලා කිසිදෙයක් වෙනස් කරගෙන නැහැ. නමුත් කාලෙත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවා.ඉස්සර වගේම තාමත් මම ලස්සනට අඳින්න ආසයි. ගැළපෙන විදිහට ලස්සනට අඳිනවා.


හර්ෂණි වීරරත්න



Previous Post Next Post