අද සමාජයේ සියයට අනූවක් විතර ඉන්නෙ හිරිවැටුණ පුරවැසියො – සමිත සුගීෂ්වර



 ඔහු සම්මානනීය වේදිකා රංගන ශිල්පියෙක්. එමගින් ලැබුණු පන්නරය පුංචි තිරයේ වගේම පුළුල් තිරයේත් විසල් චරිත මවන්නට ඔහුට මහෝපකාරී වෙනව.වේදිකාවේ ජීවිතය කියන්නෙ හරිම සොඳුරු රස්තියාදුවක්. ඒ රස්තියාදුවම තමයි අපිව හැඩගස්වන්නෙ, අපිව අභ්‍යාස කරා යොමුකරවන්නෙ, අපිට චරිත මුණගස්වන්නෙ. අවසානයේ ඒ රස්තියාදුව විසින්ම තමයි අපිව සම්මානනීයත්වයට පත්කරන්නෙ. මේ, වේදිකාව ඔහුට දැනෙන විදිහ. අපේ මේ කතාබහ සමිත සුගීෂ්වර සමග.


මේ දිනවල තිරගත වන කම්බිලි සිනමා නිර්මාණයට ඔබ සම්බන්ධවෙලා ඉන්නව. 


කොහොමද ප්‍රතිචාර?


සමස්ත චිත්‍රපටයට වගේම මම රඟපාන ‘නන්දෙ’ ගෙ චරිතයට ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි වගේම ඉතාම සුබවාදියි.


මේ චරිතයට කොහොමද ඔබ සූදානම් වුණේ?


ඇත්තටම ලොකු කැපකිරීමකින් වගේම වෙනම හැදෑරීමක් එක්ක තමයි මම මේ චරිතය කළේ. වේදිකාවෙන් ලබපු ශික්ෂණයත් එක්ක පෙර සූදානමක් ඇතුවයි මම චරිතයකට එකතු වෙන්නෙ. ඒ චරිතයේ සාර්ථක


අසාර්ථක බව කොතෙක්ද කියන කාරණය ප්‍රේක්‍ෂකයා විසින් තමයි තහවුරු කරන්න ඕන.


චරිතය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?


ප්‍රතිචාරය කොහොම වුණත් පෞද්ගලිකව මම මගේ චරිතය ගැන තෘප්තිමත්. රංගන ශිල්පීන් හැටියට අපිට තියෙන ලොකුම ගැටලුව තමයි කරපු චරිතයක් ගැන පසුව හිතනව, තව ටිකක් හොඳට කරන්න තිබුණ කියල. නමුත් දැන් මම තිරයේ මාව දකිනකොට හිතෙනව චරිතයට සාධාරණයක් කළා කියල.


නන්දෙ වෙනුවෙන් මොන වගේ කැපකිරීමක්ද කළේ?


නන්දෙ කියන්නෙ ශාරීරික දුබලතා ගොඩක් තියෙන, කායික මානසික දෙපැත්තෙන්ම බිඳවැටුණ චරිතයක්. ජීවිතයේ විවිධ අවධීන්වල සිදුවුණ හැලහැප්පීම් කොහොමද පුද්ගලයකුගේ වර්තමාන ජීවිතයට බලපාන්නෙ කියන දේ ඉතා හොඳට නන්දෙගේ චරිතය පුරාවටම දිවෙනව. එකපැත්තකින් මේ චරිතයට අදාළ මනෝ විද්‍යාත්මක චර්යාවන් කොහොමද සිද්ධවෙන්නෙ කියන එක අධ්‍යයනය කරන්න සිදු වුණා. අනෙක් පැත්තෙන් ඔහුගේ ශාරීරික දුබලතා චිත්‍රපටය පුරාවටම අඛණ්ඩවම ගෙනියන්න සිදු වුණ නිසා ඒ ගැන විශේෂ අධ්‍යයනයක් කරන්න වගේම අවධානයක් යොමුකරන්න සිදු වුණා.


සමිත වේදිකාව වෙනුවෙන් උපන්නෙක්?


මම වේදිකාවට සම්බන්ධ වෙන්නෙ 2008 අවුරුද්දෙ. මෙතෙක් කලක් වේදිකාවේ රැඳෙනව කියන්නෙ ඒ වෙනුවෙන් සතත අභ්‍යාසය, ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යායුතුයි. ඒ සියල්ලටම වඩා ලංකාව වගේ කලාව ජනජීවිතයට අත්‍යවශ්‍ය අංගයක් නොවන රටක කලාව එක්ක රැඳිල ඉන්නව කියන එක ඉතාම ආයාසකර වෑයමක්. විශේෂයෙන්ම වේදිකාව වගේ ලාභාවධාරිත ලාභයක් අවධාරණය නොවන තැනක දශක දෙකකට අධික කාලයක් රැඳී සිටීම, අභ්‍යාස කිරීම, ඒ හරහා උත්තේජනය ලබමින් වෙන වෙන ආකාරයට ජීවිතය හැඩගස්වා ගැනීම සුළුපටු කැපකිරීමක් නෙමෙයි. නමුත් මම අදටත් ඒක ඉතා කැමැත්තෙන් කරගෙන යනව.


වේදිකාවේ ජීවිතය මොන වගේද?


වේදිකාවේ ජීවිතය කියන්නෙ හරිම සොඳුරු රස්තියාදුවක්. ඒ රස්තියාදුවම තමයි අපිව හැඩගස්වන්නෙ, අපිව අභ්‍යාස කරා යොමුකරවන්නෙ, අපිට චරිත මුණගස්වන්නෙ. අවසානයේ ඒ රස්තියාදුව විසින්ම තමයි අපිව සම්මානනීයත්වයට පත්කරන්නෙ.


ඔබත් රාජ්‍ය නාට්‍ය උළලේදී අගැයීමට ලක් වුණා?


ඔව්, වසර පහක් කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා හැටියට සම්මානයට පාත්‍ර වෙන්න මට භාග්‍ය ලැබෙනව. ඒ වගේම කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළලේදීත් සම්මාන ලබන්න මම වාසනාවන්ත වෙනව. රූපවාහිනී නිර්මාණ අතළොස්සකට පමණයි මට දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. එයින් රයිගම් සම්මාන උළලේදි හොඳම සහය නළුවාට හිමි සම්මානය ලැබෙනව. ඒ වගේම සුමති සම්මාන උළලේදි හොඳම සහය නළුවාට හිමි සම්මානයට නිර්දේශ වෙනව.


පුංචි තිරයට සහ පුළුල් තිරයට අවස්ථාව ලැබෙන්නෙ අඩුවෙන්ද?


මේ නිර්මාණ ලැබෙන්නෙ අඩුවෙන්ද වැඩියෙන්ද කියන එක තීරණය වෙන්නෙ පිටපත සහ කණ්ඩායම මත. අපේ රටේ ටෙලි නිර්මාණ වෘත්තිය කරගත්ත ශිල්පීන් පිරිසක් ඉන්නව. ඔවුන්ට කිසිසේත්ම වරණයකට යන්න බැහැ. එහෙම වුණොත් ඔවුන්ගෙ ජීවිකාව නැතිවෙනව. නමුත් මම රජයේ සේවකයෙක් විදිහට වැඩකරන අතර තමයි කලාව කරන්නෙ. එතනදි මට නිර්මාණ තෝරාබේරාගන්න අවස්ථාව තියෙනව.


රැකියාවක් කරන ගමන් කලාව කරන්න පුළුවන්ද?


ඒක හරිම අමාරු දෙයක්. මොකද නෛතික රාමුවක් ඇතුළෙ තමයි අපිට ඒක කරන්න වෙන්නෙ. බොහෝ වෙලාවට සති අන්තයේ තමයි වේදිකාවේ කටයුතු වැඩියෙන් සිදු වෙන්නෙ. ඒ නිසා යම් සහනයක් තියෙනව.


සමිතගෙ වෘත්තිය?


මම අධිකරණ අමාත්‍යංශයේ ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ, පර්යේෂණ අංශයේ ප්‍රධානියා හැටියට සේවය කරන්නෙ.


ඔබ නිර්මාණයක් භාරගන්නෙ හරි පරිස්සමින්?


ඒකට මම කිසිසේත්ම පරිස්සම් වෙන්නෙ නැහැ. නිර්මාණයෙන් කතා කරන්නෙ සමාජයට අදාළ දෙයක්නම් එතැනදි මම සමාජයේ ඉන්න හිරිවැටුණ පුරවැසියකුගෙන් කෙනෙක් නෙමෙයි. මොකද අද සමාජයේ සියයට අනූවක්, අනූපහක් විතර ඉන්නෙ හිරිවැටුණ පුරවැසියො. ඔවුන් සමාජ, දේශපාලනික, ආර්ථික ප්‍රවාහයන් ගැන හරිම නිද්‍රිශීලියි. නමුත් කලාවේ තවමත් ඉන්නව කොන්ද කෙළින් තියාගෙන හරියට දෙයක් කරන, අවදියෙන් ඉන්න පිරිසක්. මම අයිති වෙන්නෙ ඒ පිරිසට.


කම්බිලි නිර්මාණයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?


අපේ නාට්‍යවල සංගීතය නිර්මාණය කරන පූර්ණිමා තමයි ප්‍රසාද් කළුපහණට මං ගැන කියල තියෙන්නෙ. ඉන් පස්සෙ ඔහු මං ගැන විස්තර හොයල පිටපත අරගෙන එනව මාව මුණගැහෙන්න. ඒ ආකාරයට තමයි මම කම්බිලි චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post