මම නිර්මාණයක් භාරගන්න කලින් පිටපත බලනවා – සුබුද්ධි ලක්මාලි



මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන “ෆ්ලැට් නොවන ෆ්ලැට්” ටෙලි නාට්‍යයේ “ශ්‍යාමලී” ලෙසිනුත්, හිරු නාලිකාවේ ඔස්සේ විකාශය වන “බඹරෙක් ඇවිත්” ටෙලි නාට්‍යයේ “සුද්දි” ලෙසිනුත්, වේදිකාවේත් විවිධ චරිතයන්ට පණ පොවමින් ඔබ හමුවට එන ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනී සුබුද්ධි ලක්මාලි සමගිනුයි මේ සුහද කතාබහ ඇරඹෙන්නේ.


සුබුද්ධි මේ දවස්වල රංගන කටයුතු කොහොමද?

ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය කරන “ෆ්ලැට් නොවන ෆ්ලැට්” ටෙලි නාට්‍යයෙත්, හිරු නාලිකාවෙන් නිෂ්පාදනය කරන ‘බඹරෙක් ඇවිත්’ කියන ටෙලි නාට්‍යයෙත් තමයි මේ දවස්වල වැඩ කරගෙන යන්නේ. ඊට අමතරව වේදිකා නාට්‍යවලත් වැඩ කරගෙන ඉන්නවා.


“ෆ්ලැට් නොවන ෆ්ලැට්” ටෙලි නාට්‍යයේ “ශ්‍යාමලී”ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


තවම කොටස් ටිකයි විකාශය වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා ප්‍රේක්ෂකයන් ගොඩක් ඒක වැළඳගනිවී කියලා.


“ෆ්ලැට් නොවන ෆ්ලැට්” නාට්‍යය තෝරා ගන්නත් විශේෂ හේතුවක් තිබුණද?


ඇත්තටම ඔව්, ජාතික රූපවාහිනිය ගැන මට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම පිටපත් රචක චාලක රණසූරිය, අධ්‍යක්ෂක හා නිෂ්පාදක මාවෝ ලක්ෂිතගෙත් වැඩ කරන පිළිවෙළ මම දන්නවා. ඒ විශ්වාසයත් එක්ක මට ඇත්තටම ආස හිතුනා මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න.

“බඹරෙක් ඇවිත්”ටෙලි නාට්‍යයේ ඔබ රඟදක්වන්නේ වෙනස්ම චරිතයක්. අපි ඒ ගැනත් කතා කරමු?


ඔව්, මම මෙච්චර කාලයක් නොකරපු, ටිකක් අලුත් චරිතයක් සුද්දි කියන්නේ. ඒක 1970 ගණන්වල පැවැති භීෂණ සමයේ කතාවක්. තමන්ගේ දරුවාව ජීවත් කරවන්න ඕනෑ නිසා දුෂ්කර ගමක ඉඳගෙන බොහොම අකමැත්තෙන් වෛශ්‍යා වෘත්තියේ යෙදෙන්න සිද්ධවෙන ගැහැනු කෙනකුගේ චරිතයක්. මෙච්චර කාලෙකට එහෙම චරිතයක් මම කරල තිබුණේ නෑ. හැබැයි ඒ චරිතය ලස්සනට සාධාරණීකරණය වුණා.


සිනමා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද ?


මම එක සිනමා නිර්මාණයකට විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ 2015 දී උපාලි ගම්ලත් කියන අධ්‍යක්ෂකවරයාගේ “කළු හිම”කියන චිත්‍රපටයට. ඒකෙන් පස්සේ මට තවම ආරාධනා ලැබිලා නැහැ. ආරාධනාවක් ලැබෙනකම් බොහොම කැමැත්තෙන් ඉන්නවා.


වේදිකාව තුළත් ඔබ නැතුවම බැරි චරිතයක්නේ. ඉදිරියේදි එන්න තියෙන වේදිකා නාට්‍ය පිළිබඳවත් අපි මතක් කරමු ?


“ගුරු ගීතය” කියන ඔපෙරා එකේ වැඩ පටන් අරගෙන තියෙනවා. ඒක ඔක්තෝබර් මාසයේ වේදිකාගත වෙන්න නියමිතයි. ඒකේ මම රඟදක්වන්නෙ අල්තීනායිගේ චරිතය. තව මේ මාසේ 24 ඉඳලා 30 වෙනකම් කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පටන් ගන්නවා. ඒකට රටවල් දහයකින් විතර විදේශීය නාට්‍යකරුවන් ලංකාවට එනවා. ඒක පටන් ගන්නේ මගේ ඒකපාර්ශ්ව නාට්‍යයකින්, “”love & lockdown˜ ”කියලා. ඊට අමතරව “කුවේණි”නාට්‍යයේත්, “ සෙක්කුව” නාට්‍යයේත් දර්ශනවාර තියෙනවා.

රංගන කටයුතු භාරගන්නේ තෝරාබේරාගෙනද?


අනිවාර්යයෙන්ම හොඳටම තෝරා බේරගෙන තමයි භාරගන්නේ. මම ඒත් හිතනවා තෝරනවා වැඩියිද කියලත්. හැම නිර්මාණයක්ම සියයට අසූවක් විතරම ගැබ්වෙලා තියෙන්නේ පිටපත ඇතුළේ. අපි ඒක හොඳටම අධ්‍යයනය කළොත් තමයි, අපිට එතැනින් එහාට ඒ නිර්මාණයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඕනෑම නිර්මාණයක් භාර ගන්න කලින් මම පිටපත බලනවා. එතැනින් පස්සේ තමයි අනිත් කාරණා ගැන අවධානය යොමු කරන්නේ.


කමල් අද්දරආරච්චිගේ “ඔබයි මමයි” ප්‍රසංගයෙත් ඔබ ගායනයෙන් සහාය වෙනවා නේද?


මගේ රංගන ගුරුවරයා වන කමල් අද්දරආරච්චි කියන ජ්‍යෙෂ්ඨ කලාකරුවා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පටන් ගත්ත “ඔබයි මමයි”කියන සංගීත ප්‍රසංගය. ඒකේ මම ප්‍රධාන සහාය ගායිකාව විදියට කටයුතු කරනවා. එළැඹෙන අගෝස්තු 30 වැනිදාට BMICH එකේ තියෙන ෂෝ එකෙත් ගායනා කරන්න මට ආරාධනා කළා. ඉතින් ඒ වැඩකටයුතුත් මේ එක්කම කරගෙන යනවා.


සුබුද්ධිට රංගන ක්ෂේත්‍රයට එන්න දොරටු විවර වෙන්නේ කොහොමද?


මම 2005 වර්ෂයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ළඟට යනවා ප්‍රාසාංගික කලාව හදාරන්න. එහෙම අවුරුදු තුනහමාරක් මම ප්‍රාසාංගික කලාව හදාරනවා.ඊට පස්සේ මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ 2007 කේමදාස මාස්ටර්ගේ අන්තිම ඔපෙරාව වූ “අග්නි” ඔපෙරා එක හරහා. එහෙම පටන් ගනිපු ගමන තමයි දැන් අවුරුදු 18 ක් පුරාවටම මේ යන්නේ.


මේ සියලු වැඩ සාර්ථකව කරගෙන යන්න ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?


පුංචි කාලෙ ඉඳලම අම්මා, තාත්තා මට උපරිම සහයෝගය ලබා දුන්නා. ඒක මට ලොකු ශක්තියක් වුණා. මට මානසික නිදහස සෑහෙන දුරට එයාලා ලබා දුන්නා. ඉතින් මම හරිම සතුටින් වැඩ කළේ. හැබැයි දැන් අවුරුදු දෙකකට කලින් මගේ තාත්තා නැති වුණා. ඒක මට අදටත් ලොකු ශොක් එකක්. ඒ පීඩනයත් එක්ක මම ගොඩක් දුරට වැඩවලින් ඈත් වෙලා හිටියේ. අනිත් එක තාත්තා මගේ වැඩවලට පස්සෙන්ම මාත් එක්ක ආපු කෙනෙක්. ඉතින් අම්මා අදටත් ඒ වගේ ලොකු ශක්තියක් වෙමින් මගෙත් එක්කම ඉන්නවා.


ජීවිතේ ඉදිරි බලාපොරොත්තු මොනවද?


මෙහෙමයි, මගේ ජීවිතේ කොහොමත් එහෙම ලොකු බලාපොරොත්තු තිබ්බ කෙනෙක් නෙවෙයි. මම හැමතිස්සෙම හිතුවේ මගේ මානසික නිදහස සහ කලාකාරිනියක් විදියට මගේ ඇතුළේ තියෙන දේශපාලනය මම කරන නිර්මාණ හරහා මිනිස්සුන්ට දෙන්න ඕනෑ කියලා. ඒ දේ සමාජයට දෙන ගමන් විශ්වයේ ආශිර්වාදයත් විශ්වාස කරන ගමන්, මම මාවම තේරුම් අරගෙන, මගේ වටේ ඉන්න අයටත් මගෙන් යහපත් දෙයක් සිදු කරගෙන සරලව ජීවත් වෙන්න තමයි මම කැමැති.


පාරමී කෞෂිකා



Previous Post Next Post