එක රැයකින් ජනප්‍රිය වීම හොඳට වගේම නරකටත් වෙන්න පුළුවන් – අංජුලා රාජපක්‍ෂ



අංජුලා රාජපක්‍ෂ රංගන ක්‍ෂේත්‍රයට අලුත් මුහුණක් නෙමෙයි. දෙවෙනි ඉනිම, බිග්බෙන් හැරුණම මේ දිනවල තවත් අලුත්ම ටෙලියකින් ඇයව දකින්න ලැබෙනව. ‘වීරයා’ සිනමා නිර්මාණයත් තිරගත වෙන්න පටන්අරගෙන කියලයි ඇය කියන්නෙ. මේ ගැන වැඩිදුර තොරතුරු අංජුලාගෙන්ම දැනගනිමු.

අංජුලා අලුත් නිර්මාණයකින් දකින්න ලැබෙනවා?


ඔව්, හසුන් සමීර අධ්‍යක්‍ෂණය කරන ‘පාරාදීසේ’ ටෙලි නාට්‍යයෙන් මල්ලිකා කියන චරිතයෙන් තමයි මේ දිනවල මාව දකින්න ලැබෙන්නෙ. සතියේ දින පහේම රාත්‍රී 8.30ට ස්වාධීන රූපවාහිනියේ මේ නාට්‍යය විකාශය වෙනවා.


මල්ලිකා ගැන කතා කළොත්?


මල්ලිකා කියන්නෙ නාගරික පරිසරයක් තුළ ජීවත්වන, දියණියන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. තරුණ කාලෙන් පස්සෙ හැමදේම ළමයි වෙනුවෙන් කැපකරල, සමහර අම්මලා වගේ තමන්ගෙ හීන ළමයින්ගෙන් සැබෑකරගන්න හදන කෙනෙක්.


රසිකයො මොකද කියන්නෙ?


තවම කොටස් දහයයි විකාශය වුණේ. නමුත් මේ වන විට රසිකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනව.


අංජුලාට මල්ලිකා වෙන්න අවස්ථාව ලැබුණෙ කොහොමද?


සමීර හසුන්ගෙ පළමුවැනි නිර්මාණයේ පටන්ම මම ඔහුත් එක්ක වැඩකරල තියෙනව. නමුත් මේ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ නම් අවුරුදු ගාණකට පස්සෙ. සමීර මට මේ චරිතය ගැන කිව්වාව මම බොහොම කැමැත්තෙන් ආරාධනය භාරගත්තා. විස්තර හොයල බලනකොට ගොඩක් දෙනෙක් ඉන්නෙ දන්න හඳුනන අය. ඒ වගේම මෙතනදි අලුත් අය බොහෝ දෙනෙක් එක්ක වැඩකරන්නත් මට අවස්ථාව ලැබුණා.


පසුගිය කාලෙ මොකද කළේ?


පසුගිය කාලෙ මම තුෂාරි අබේසේකර මහත්මියගෙ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක මගේ ජීවිතයේ මෙතෙක් කලක් නොකළ ආකාරයේ චරිතයක්. තවම වැඩකටයුතු අවසන් නැති නිසා වැඩි විස්තර කියන්න බැහැ. ඒ අතරතුර තමයි මට මල්ලිකාගෙ චරිතය ලැබෙන්නෙ.


ලැබෙන ආරාධනා ගැන කතා කළොත්?


මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු විසිහතරක් වෙනව. මේ කාලය තුළ අඛණ්ඩව රංගන ක්‍ෂේත්‍රයේ රැඳී සිටීම ගැන නිහතමානී සතුටක් තියෙනව. බබා ලැබෙන කාලය තුළ මාස දෙකක විවේකයක් ගත්තා. ඒ හැරුණම හැම දවසකම මම ෂූටිංවලට සහභාගි වුණා. එකම නාළිකාවක නිර්මාණ දෙකතුනක් කළත් අපිව පේනව අඩුයි. නමුත් නාළිකා දෙකතුනක අපේ නිර්මාණ විකාශය වුණොත් හැමදෙනාම දැනගන්නව අපි වැඩකරනව කියල. දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙලා දැන් අවුරුදු අටක් වෙනව, ‘වීරයා’ චිත්‍රපටය ළඟදී රිලීස් වුණා. මොනරා ටීවී නාළිකාවේ ‘බිග්බෙන්’ ටෙලි නාට්‍යය විකාශය වෙනව. සුපුරුදු විදිහට මම වැඩ කරගෙන යනව.


ක්‍ෂේත්‍රයේ එදා සහ අද වෙනස දකින්නෙ කොහොමද?


මම ගොඩක් වෙලාවට දකින්නෙ කාලවේලාව පිළිබඳ ගැටලුව. ඉස්සර නිර්මාණයක් කරනකොට හැමදෙනාටම ඒ වෙනුවෙන් නිදහසේ කැපවෙන්න කාලවේලාව තිබුණා. නමුත් දැන් හැමදෙනාටම තියෙන්නෙ අවිවේකී බවක්. ඒ වගේම මේ කාලෙ නිර්මාණයක් කරනව කියන එක ලෙහෙසි නැහැ. ඒක අපි අගය කරන්න ඕන. අද තියෙන ආර්ථිකයත් එක්ක බලනකොට එදාට සාපේක්‍ෂව ගෙවන ගාණ අඩුයි. නමුත් අපිට කාටවත් දොස් කියන්න බැහැ. මේ හැමදේම තේරුම්බේරුම් කරගෙන වැඩකරනව කියන එකත් වටින දෙයක්.


රංගන ක්‍ෂේත්‍රයේ නව පරපුර ගැන අදහස මොන වගේද?


වර්තමානයේ නවකයන්ට රංගන ක්‍ෂේත්‍රයට එන්න තියෙන අවස්ථාව වැඩියි. දැන් එක රැයකින් ජනප්‍රිය වෙන්න පුළුවන් අවස්ථාත් තියෙනව. ඒක හොඳට වගේම නරකටත් වෙන්න පුළුවන්. ඉස්සර අයට පැවැත්මක් තිබුණට දැන් අයගෙ පැවැත්ම කියන දේ බොහොම අඩුයි. ගුණධර්ම සහ සාරධර්ම කියන දේ පරම්පරාවෙන් පරම්පරාවට අඩුවෙලා යනව. ඒක ඉතිං කාලයත් එක්ක සිද්ධවෙන දෙයක්. කලාකරුවන් විදිහට අපි ඒ දේවල්වලට අනුගත වෙලා නිර්මාණයට සාධාරණයක් කරන්න ඕන කියන එකයි මම විශ්වාස කරන්නෙ.


අවුරුදු විසිහතරක ගමන්මග දෙස නැවත බැලුවොත්?


මම මෙතෙක් පැමිණි ගමන්මග දෙස බැලුවාම ලොකු සතුටක් දැනෙනව. මොකද මම ක්‍ෂේත්‍රයට ආවෙ කිසිම දෙයක් දැනගෙන නෙමෙයි. ප්‍රවීණයන්ගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදාහදාගෙන, ඔවුන්ගේ අත්දැකීම් අපිට කියල දීල, ඔවුන්ගෙන් දෙයක් ඉගෙනගත්ත ගමනක් තමයි මම මේ ආවෙ.


අංජුලා ඉස්සර වගේම තවමත් ජනප්‍රියයිද?


ජනප්‍රියත්වය කියන දේ ගැන මම ලොකුවට හිතන්නෙ නැහැ. හෙට මිනිස්සු මාව හඳුනාගත්තෙ නැති වුණත් දුකක් නොදැනෙන විදිහට තමයි මම වැඩ කරන්නෙ. ජනප්‍රියම නිළිය ලිස්ට් එකේ මගෙ නම නැති වුණාට මාව දන්න ටික දෙනෙක් හරි මං එක්ක කතාකරනවනෙ. මට ඒක ඇති.


අංජුලා සෝෂල් මීඩියාවලට කැමති නැද්ද?


ඇත්තටම මම කැමති නැහැ සෝෂල් මීඩියාවලින් ජනප්‍රිය වෙන්න. මොකද අපිටත් පෞද්ගලික ජීවිතයක් තියෙනවනෙ. මම කැමති ටෙලිනාට්‍යයක චරිතයක් තුළින් ප්‍රේක්‍ෂකයන් මාව හඳුනාගන්නවට. හැමදේටම වඩා හිමින් ගමන හොඳයි. දැන් තමන්ට තමන්ම ගොසිප් එකක් ගහගෙන එක රැයකින් ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් ඒක වැරදි ආදර්ශයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. වැඩි පැවැත්මක් නැහැ. වල්පැලෑටි බිහිවෙනව වැඩියි. නමුත් වටිනා ගහක් බිහිවෙන්න කාලයක් යනව. ඒ වගේම නරක පැතිරෙනව වැඩියි. හොඳ එළිවෙන්න කාලයක් යනව. මේ ටික තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන්නම් හොඳයි.


සැමියාගෙන් ලැබෙන සහයෝගය?


ඇත්තටම ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව. මොකද ඔහුත් කලා පවුලක කෙනෙක් නිසා මට අනවශ්‍ය නීති දාන්නෙ නැහැ. රංගන කටයුතු වෙනුවෙන් උපරිම නිදහස දීල තියෙනව.


අංජුලා මොන වගේ කෙනෙක්ද?


මම කලබල කෙනෙක් නෙමෙයි. ප්‍රශ්න ඇතිකරගන්න කෙනෙකුත් නෙමෙයි. මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post