එයා මං ගැන අහලා මාව හඳුන්වලා දෙන්න කියලා තිබුණා - ටනාශා හතරසිංහ



කුරුලු කුමාරි මීගහවත්ත, අවුරුදු හයහමාරක් පුරා ප්‍රේක්ෂක ඔබ සමඟ ළෙන්ගතුව ගනුදෙනු කළ ඇගේ කතාව පසුගියදා නිමාවට පත්විය. ‘නීල පබළු‘ ඉවරද? ඇයි ඉවර වුණේ? දෙවෙනි කොටසක් එනවාද? මේ ‘නීල පබළු‘ අවසානය පිළිබඳව ප්‍රේක්ෂකයන්ට ඇතිවූ ගැටලුය. කුරුලු කුමාරි මීගහවත්ත ලෙසින් මෙතෙක් ඔබේ ආදරය දිනා සිටි ඇය ටනාශා හතරසිංහය. ඇය අද අප හා කතාබහට එක්වූයේ ඒ පිළිබඳ නවතම තොරතුරු ද සමඟිනි.


ටනාශා හතරසිංහ, කුරුලු කුමාරි මීගහවත්ත නමින් ප්‍රසිද්ධ වුණු හැටි මුලින්ම කියමු?


කුරුලු කුමාරි මීගහවත්ත කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. අවුරුදු හයහමාරක් පුරා ‘නීල පබළු‘ හරහා කුරුලුට ලැබුණු අසීමිත ආදරය කවදාවත් අමතක කරන්න බෑ. ටනාශා කිව්වට ගොඩක් අය දන්නෙ නෑ. ඒත් කුරුලු කිව්වම නොදන්න කෙනෙකුත් නෑ. ‘නීල පබළු‘ කියන්නෙ සිරස නාළිකාවේ මෙතෙක් විකාශය වුණු දීර්ඝතම ටෙලි නාට්‍යය. ‘නීල පබළු‘ අවසන් වීමත් එක්ක ගොඩක් ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් මතුවුණා. ඇයි නීල පබළු ඉවර වුණේ. තව කොටසක් එනව ද? කියලා. සමහරු පෞද්ගලිකව මැසේජ් කරලා තිබුණා. අපි දැන් ‘නීල පබළු‘ වෙලාවට මොකක්ද බලන්නෙ. කුරුලු, අභිමන් ආයිම එකට දකින්න ලැබෙයි ද අහලා. ඒ තරමටම කුරුලු, අභිමන්, පූජා චරිතවලට ප්‍රේක්ෂකයො ආදරේ කළා.


‘නීල පබළු‘ අවසානයක් නැතුව අවසන් වුණා වගේ හැඟීමක් ප්‍රේක්ෂකයාට දුන්නෙ දෙවැනි අදියරක් ගැන බලාපොරොත්තුවක් ද?


පුංචි කුතුහලයක් තියලයි ටෙලි නාට්‍යය ඉවර කළේ. ‘නීල පබළු‘ දෙවැනි කොටසකට ගොඩක් ඉල්ලීම් තියෙනවා. චැනල් එකෙන් වගේම ප්‍රේක්ෂකයන්ගෙනුත් ගොඩක් ඉල්ලීම් තියෙනවා. ‘නීල පබළු‘ මෙතෙක් කල් විකාශය කළෙත් ප්‍රේක්ෂකයාට එපා නොවෙන්න එක එක කාලෙට චරිතවල වෙනස්කම් කරමින්. කුරුලු වුණත් අහිංසක වුණා, නපුරු වුණා, මතකය අමතක කළා නොයෙක් වෙනස්කම්වලට භාජනය කළා. අනෙක් චරිතත් එහෙමයි. අධ්‍යක්ෂවරයාගේ හිතේ නම් දෙවැනි අදියරකට යන්න අදහසක් නෑ කියලයි හිතෙන්නේ. ඉදිරියේ දී කොහොම වෙයිද දන්නෑ ඉතින්.


වසර හයහමාරක් කියන්නෙ දීර්ඝ කාලයක්. අමතක නොවන අත්දැකීම් ඇති?


‘නීල පබළු‘ පවුල එක්ක ගත කළ හැම මොහොතක්ම අමතක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම කොවිඩ් කාලේ අනෙක් හැම නාට්‍යයක්ම වගේ නැවැත්තුවා. අපි අවුරුද්දකට ආසන්න කාලයක් කොත්මලේ නැවතිලා ඉඳන් ෂූට් කරලා ‘නීල පබළු‘ අඛණ්ඩව විකාශය කළා. ඒ කාලෙ නම් අමතක වෙන්නෙ නෑ.


සංසාරිණීහි ඇමැන්ඩා කියන්නෙත් වෙනස් අත්දැකීමක්?


‘සංසාරිණී‘ කොටස් හැට ගණන්වල ඉඳන් තමයි මං සම්බන්ධ වෙන්නේ. ඇමැන්ඩා මුලින් විලන් කැරැක්ටර් එකක් වුණත් මේ වෙද්දි හරිම අහිංසක චරිතයක් බවට පත්වෙලා. මුලදි නම් ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් බැණුම් ඇහුවා. සමහරු කියලා තිබුණා ඇමැන්ඩා හින්දා ‘නීල පබළු‘ බලන්නත් එපා වෙනවා කියලා. මේ වෙද්දි නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මේ දවස්වල සියත නාළිකාවේ විකාශය වන ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ ‘සංසාරේ‘ ටෙලි නර්මාණයේ අභිෂේකාටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තවත් අලුත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා.


ටනාශාට ඉන්නෙ නංගිලාම තුන්දෙනෙක්. කොහොමද එයාලත් එක්ක ගෙවුණු ජීවිතේ?


ඔව්. මම තමයි වැඩිමහල් සහෝදරිය. ඒ නිසා හැමවෙලේම මං හිතුවේ මගේ නංගිලා තුන්දෙනා මං දිහා බලලා හැදේවි කියලා. කවදාවත් අපි අතර කිසිම දේකට රණ්ඩු ඇති වෙලා නෑ. පොඩ්ඩක් හරි සැර ලොකු නංගි තමයි. මේ වෙද්දි එයා විවාහ වෙලා පිටරට පදිංචිවෙලා ඉන්නවා. චූටි නංගිත් විවාහ වෙලා. තව එක්කෙනයි ඉන්නේ. ගෙදරින් ඈත් වුණා කියලා නෑ අපි හැමෝම හැමදාම කතා කරලා දුක සැප බෙදා ගන්නවා. මට හරිම සතුටුයි අද එයාල ඉන්න තැන දකිද්දි.


ටනාශාට අනුරාධව හමුවුණු හැටිත් කියමු?


අනුරාධව මට හමුවෙන්නේ ‘නීල පබළු‘ කරපු මුල් කාලෙමයි. දැනට අවුරුදු 6ක් විතර වෙනවා. අවුරුදු හතරහමාරක් ආදරේ කරලා අපි විවාහ වුණේ. විවාහ වෙලත් දැන් අවුරුදු එකහමාරක් වෙනවා. ඔහු මට හමුවෙන්නේ චානක කියන මගේ යාළුවාගේ මාර්ගයෙන්. එයාලත් එක්ක ඉන්න මගේ ෆොටෝ දැකලා මං ගැන අහලා මාව හඳුන්වලා දෙන්න කියලා තිබුණා. දවසක අපි ඔක්කොම හමුවෙමු එයාවත් එක්ක එන්න කිව්වලු. එහෙම තමයි වුණේ. ඒ වෙද්දිත් මං නිළියක් කියන එක එයා දැනන් හිටියා.‍


කොහොමද ඔහුගෙන් ලැබෙන සහයෝගය?


මට විවිධ දර්ශන, විවිධ නළුවොත් එක්ක රඟපාන්න සිද්ධ වෙනවා. මං ගැන වගේම මගේ වෘත්තිය ගැනත් එයාට හොඳ අවබෝධයක් තියෙනවා. මං හැකි උපරිමයෙන් හැම වැඩක්ම කරන්න උත්සාහ කළත් කාර්යබහුලත්වය නිසා මගේ අතින් වගකීම් පැහැර හැරෙන අවස්ථා තියෙනවා. ඒත් කවදාවත් ඒවා කළයුතුයි කියලා ඔහු මට නීති දාන්නෙ නෑ. එයාගෙන් ලැබෙන ඒ සහයෝගය මට ලොකු ශක්තියක්.



Previous Post Next Post