කලින් ආදර සම්බන්ධතා තිබිල තියෙනවා ඒත් දැන්නම් ආදරවන්තයෙක් නෙවෙයි - මේඝ සූරියආරච්චි



මේඝ මනුරද විහඟ සූරියආරච්චි. ඒ ඔහුගේ සම්පූර්ණ නමයි. නමට සරිලන ඔහුගේ රුව ද කඩවසම්ය. සිනමාව ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඔහු පුංචි තිරයේ දකින්නට නැති තරම්ය. ඒ ඔහු සිනමාවට අසීමිතව පෙම් බඳින නිසාය. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘නන්නත්තාර‘ ඔහු දායක වුණු එකම ටෙලි නිර්මාණයයි. මේ දිනවල දිවයින පුරා තිරගත වන මන්දාරා සිනමාපටයේ විශ්වගේ භූමිකාවෙන් ප්‍රේක්ෂක ආදරය නොමඳව විඳිමින් සිටින ඔහු ලංකාවේ පැවති Siyatha Mr. World Sri Lanka- 2024 තරගය ජයග්‍රහණය කරමින් වියට්නාමයේ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටියි. අද ඔහු අප හා එක්වන්නේ සිය අත්දැකීම් බෙදාගැනීමේ අරමුණෙනි.


ඔබේ නවතම සිනමා අත්දැකීම මන්දාරා මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා. මුලින්ම අපි ඒ ගැන කතාකරමු?


මන්දාරා කියන්නෙ ප්‍රියන්ත කොළඹගෙගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල තිරගත වන මගේ නවතම සිනමා අත්දැකීම. විශ්ව කියන්නෙ මේඝට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. සිනමාවට ආදරය කරන හැමෝටම මං ආරාධනා කරනවා මන්දාරා නරඹලා විශ්වගේ ඒ වෙනස්කම අත්දැකලා මාත් එක්ක අදහස් බෙදාගන්න කියලා.


විශ්ව කියන්නෙ මොන වගේ චරිතයක් ද?


විශ්ව කියන්නෙ ඉක්මනින් කේන්ති යන ඒ කේන්තිය නිසා ජීවිතේ ගොඩක් වෙනස්කම්වලට භාජනය වන චරිතයක්. ඒ වෙනස්කම් එක්ක ඔහු ජීවිතය හොයාගන්නෙ කොහොමද, ඔහුගේ තරහ නිසා ජීවිතයේ වෙන්වීම, ආදරය, මිත්‍රත්වය, පිය සෙනෙහස වෙනස් වෙන්නෙ කොහොමද? හටගන්නෙ කොහොමද? නැතිවෙන්නෙ කොහොමද කියන එක මන්දාරා තුළ හොඳින් නිරූපණය වෙනවා.


එතකොට මේඝ කියන්නෙ මොන වගේ කෙනෙක්ද ?


ඒක නම් මට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මං හිතන්නෙ ඒක මාව ඇසුරු කරන අය කියන්න ඕන දෙයක්.


මේ දිනවල ඔබ වර්ල්ඩ් පැජන්ට් එකකට සූදානම් වෙනවා කියලත් ආරංචියි?


ඔව්. Siyatha Mr. world Sri Lanka – 2024 තරගය ජයග්‍රහණය කළේ මං. ඊළඟට තියෙන්නෙ world Stage එක. ඒක පැවැත්වෙන්නේ වියට්නාමයේ. මේ දවස්වල ඒ තරගය සඳහා සූදානම් වෙනවා. තව සති හයකින් ලෝක තරගාවලිය පැවැත්වෙනවා. ඒ සඳහා මං සැප්තැම්බර් මාසයේ වියට්නාමය බලා පිටත්වෙනවා. මෙතෙක් මං පුහුණුවීම් කටයුතු කරගෙන ආවේ මගේ අධ්‍යාපන කටයුතු වගේම කලා කටයුතුත් එක්ක සමබරව. ඉදිරියටත් ඒක ඒ විදිහටම කරගෙන යනවා.


ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සිනමාව හරහා ඔබේ පියාගේ නිර්මාණයකින්?


මං ප්‍රධාන චරිතයකින් සිනමාවට සම්බන්ධ වෙන්නේ මගේ පියා අධ්‍යක්ෂණය කළ සිනේමා චිත්‍රපටය හරහා. නමුත් මගේ කලාවට පිවිසීම සිද්ධ වෙන්නෙ ඊටත් කලින් මගේ පාසල් අවධියේ. ඒ ජෝ අබේවික්‍රම මහත්මා සමඟ ප්‍රතිරූ කියන චිත්‍රපටයේ පුංචි කොටසකට පෙනී ඉඳලා. මං නවය වසරේ වගේ ඉගෙන ගනිද්දි. ඒ අත්දැකීම තමයි පළමු රංගන අත්දැකීම.


මන්දාරා සිනමාපටයට ආරාධනා ලැබෙන්නෙ සිනේමා නිසාද?


නැහැ. මන්දාරා සඳහා ඔඩිෂන් තියද්දි සිනේමා තිරගත වෙලත් නැහැ. ඔඩිෂන් විශාල ගණනකින් පස්සෙ‍ තමයි ප්‍රියන්ත කොළඹගේ මහත්මයා මාව මන්දාරාහි විශ්වගේ චරිතයට තෝරගන්නේ. ඒ වගේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩකරන්න ලැබීම මට ලොකු අත්දැකීමක් වුණා. සිනේමා මගේ පියාගේ අධ්‍යක්ෂණයක් නිසා ඒක මට පහසුවක් කියලා හිතන්න බෑ. මොකද එතැනදි ඔහු මට තවත් අධ්‍යක්ෂවරයෙක් විතරයි.


මේ වෙද්දි ඔබේ අධ්‍යක්ෂවරයකු වීමේ සිහිනයත් සැබෑ වෙලා නේද?


පොඩි කාලෙ ඉඳන්ම මං ආස කළේ, අධ්‍යයනය කළේ අධ්‍යක්ෂණය පැත්ත. මං රංගනය ගැන හදාරන්න පටන් ගත්තෙ සිනේමා චිත්‍රපටයට සම්බන්ධ වුණාට පස්සේ. අනෝජා වීරසිංහ මහත්මිය යටතේ රංගනය පිළිබඳ හැදෑරීමක් කළා. ඒත් අධ්‍යක්ෂණය කියන එක මං අධ්‍යයනය කළේ ඊටත් කලින්. මං රංගනයෙන් දායක වන මන්දාරා මේ දිනවල ප්‍රදර්ශනය වෙනවා. මං අධ්‍යක්ෂණට අතගහන්නෙ මන්දාරා රූගත කරන්නත් කලින්. ‘මැරීන් Drive’ කියන පීචර් ෆිල්ම් එක මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. දැන් ගොඩක්දුරට ඒකෙ වැඩ ඉවරයි. කොවිඩ් වසංගතයත් එක්ක ටිකක් ප්‍රමාද වුණාට ඒක මන්දාරාත් එක්ක සමකාලීනයි. ඉදිරියේදී ‘මැරීන් Drive’ ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


පුංචි තිරයේ ඔබ දකින්නත් නැති තරම්?


පුංචි කාලෙ ඉඳන්ම මං වැඩිපුරම ආදරේ කළේ සිනමාවට. ඒ නිසා ටෙලිනාට්‍ය පැත්තට නැඹුරු වුණේ නෑ. එකම එක ටෙලි නිර්මාණයකට විතරක් දායක වෙලා තියෙනවා. ඒ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ නන්නත්තාර ටෙලි නිර්මාණයට. ඔහු වගේ අධ්‍යක්ෂවරයෙකුගේ ආරාධනාවක් ප්‍රතික්ෂේප කරන්න බැරිකම නිසා මං ඒකට සම්බන්ධ වුණත් මං ගොඩක්ම කැමැති සිනමාවට.


නන්නත්තාර කියන්නෙ ඔබේ පළමු ටෙලි අත්දැකීම වගේම ඔබ තවත් මානයකට ගෙන ගිය නිර්මාණයක්?


ඔව්. නන්නත්තාර ටෙලි නිර්මාණය සඳහා මට ආරාධනා ලැබුණේ රංගනයට. ඊට අමතරව මං එහි සංස්කරණ ශිල්පියා විදිහටත් කටයුතු කළා. නන්නත්තාර මගේ රංගන ජීවිතේට අත්දැකීම් රාශියක් එක්කළා වගේම මගේ වෙනත් පැතිකඩක් නිරාවරණය කළා කියන්නත් පුළුවන්. ඒ නිසා ඒක මට විශේෂයි.


රංගන ශිල්පියෙක්, සංස්කරණ ශිල්පියෙක් වීම අධ්‍යක්ෂ භූමිකාවට පහසුවක් ද?


අධ්‍යක්ෂවරයෙක් වීමේදී නිර්මාණකරණයේ තියෙන හැම පැතිකඩක්ම අධ්‍යයනය කර තිබීම වගේම අත්දැකීම් ලබා තිබීම වැදගත්. ඒක රංගනය, අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරාකරණය, වේශ නිරූපණය මේ ඕනෑම අංශයක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම නිර්මාණකරණයේ කොටසක් වශයෙන් භාර අරන් අධ්‍යයනය කිරීමට මාත් පෙළඹෙනවා. ඒ මං අධ්‍යක්ෂණයට තියෙන ආදරය නිසා.


ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වෙයිද එහෙම නැත්නම් අධ්‍යක්ෂවරයෙක් වෙයිද ?


අධ්‍යක්ෂණයට මං පොඩි කාලෙ ඉඳන්ම ආදරේ කළා. කවදහරි ඒ පැත්තට යොමුවෙයි කියලා දැනන් හිටියා. ඒකත් එක්ක තමයි මං අධ්‍යයනයේ නිරත වුණේ. නමුත් මං වෘත්තියක් විදිහට රංගනයවත්, අධ්‍යක්ෂණයවත් තෝරගන්න එකක් නැහැ. මං උගන්වන්න ආස කෙනෙක්. මම ලෙක්චරින් තමයි වෘත්තිය විදිහට තෝරගෙන තියෙන්නේ සහ ඒ වෙනුවෙනුයි කටයුතු කරල තියෙන්නේ. එතැනදි මට ඕන නිර්මාණ මට ඕන විදිහට වෙලාව වැය කරගෙන හරියට කරන්න පුළුවන් වෙන නිසා මම ඒක ඒ විදිහට කරන්න තීරණය කරල තියෙනවා.


මේඝගෙ පවුලේ තොරතුරු ටිකකුත් කියමු?


මට ඉන්නෙ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි. නංගියි මල්ලියි නිවුන්නු. ඔවුන් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. මගේ තාත්තා කපිල සූරියආරච්චි. අම්මා උමංගා සූරියආරච්චි. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරු.


මවුපියන් දෙපළම වෛද්‍යවරුන් නිසා ඔබටත් වෛද්‍යවරයෙක් වෙන්න කියලා ගෙදරින් බලපෑම් කළේ නැද්ද?


නැහැ. ඔවුන් කවදාවත් අපිට බලපෑම් කළේ නෑ. ඒකම ලොකු පිටිවහලක් වුණා මං ආදරය කරන නිර්මාණකරණයට යොමු වෙන්න. කොහොමත් වෛද්‍ය විද්‍යාව පැත්තට යොමු වුණොත් ඒක මගේ පැෂන් ඒකට ගැළපෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. හැමවෙලේම තමන්ට දැනෙන දේ, තමන් විශ්වාස කරන දේ ඔස්සේ තමන් කැමැති පැත්තට යොමුවුණේ නැත්නම් ජීවිතේ අවසාන කාලෙදි තෘප්තියක් නැතිවේවි කියන විශ්වාසය නිසා මං, මං කැමති, මං ආදරේ කරන නිර්මාණකරණයට යොමු වුණා. මගේ පියා වෛද්‍යවරයෙක් වුණත් ඔහුත් පොඩි කාලෙ ඉඳන්ම කලාවට ඇලුම් කළ කෙනෙක්. ඔහු එහි වටිනාකම දැනන් ඉන්න ඇති. අද මා දිහා බලලා ඔහු තෘප්තිමත් වනවා ඇති කියලා මට හිතෙනවා. මගේ මල්ලි මේ වෙද්දි වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගන්නවා.


මේඝගෙ පාසල් කාලෙට ගියොත්?


මගේ සම්පූර්ණ පාසල් කාලය ගෙවුණෙ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ. ඒ අතරේ 8/9 වසරෙදි වගේ අපේ පවුලම ඔස්ට්‍රේලියා යන්නේ අම්මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. අවුරුදු දෙකකින් නැවත ඇවිත් එම පාසලේම අධ්‍යාපනය නිම කරනවා.


පාසල් කාලේ කලාවට සම්බන්ධතාව කොහොමද?


පාසලේදි වැඩිපුරම යොමුවුණේ ක්‍රීඩාවට වුණත් පාසලේදිත් ඉන් බැහැරවත් මං කලා කටයුතුවලට යොමු වෙලා හිටියා. පාසල් කාලෙම සිනමාව විෂයක් විදිහටත් අධ්‍යයනය කළා. ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් මං හොකී සහ ෆුට්බෝල් ක්‍රීඩාවෙන් ජාතික තලයේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙක්. පාසල් කාලයෙන් පසුව වැඩිදුර අධ්‍යාපනය වගේම කලා කටයුතු නිසා ක්‍රීඩාවේ යෙදෙන්න කාලයක් නැතිවුණා. ඒ ක්‍රීඩාවන්ට අමතරව පුංචි කාලෙ ඉඳන්ම මං කරාතේ කළා. අදටත් මාෂල් ආට් ඩිසිප්ලීන් ප්‍රැක්ටිස් කරනවා.


මේඝව අපිට ඉදිරියේදි දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?


සිනමාපට කිහිපයක්ම එන්න තියෙනවා. ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ ‘සූරිය සුළඟ‘ සිනමාපටය මේ වෙද්දි වැඩ නිමවෙලා තියෙනවා. රොහාන් පෙරේරාගේ ‘සීගිරි‘ සිනමාපටය ෆී ප්‍රඩක්ෂන් කටයුතුවල, ඊට අමතරව ආකාශ් තාරුක පෙරේරාගේ ‘කලර් පෙන්සිල්‘ සිනමාපටයේ ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ දේවී කුසුමාසන සිනමාපටයත් ඉදිරියේදී තිරගතවීමට නියමිතව තියෙනවා. තවත් චිත්‍රපට කිහිපයක වැඩකටයුතු මේ දිනවල කරගෙන යනවා.


ඔබ Siyatha Mr. world Sri Lanka – 2024 තරගයේ ජයග්‍රාහකයා. නිරූපණ ක්ෂේත්‍රයට ඔබේ දායකත්වය මොන වගේද?


රෑම්ප් මොඩ්ලින් හෝ මොඩ්ලින්වලට විශේෂයෙන් යොමුවෙලා හිටියෙ නෑ. මේ අවුරුද්දේ සියත Mr. World Sri Lanka – 2024 පැජන්ට් එකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. ඒ පැජන්ට් එක ලංකාවේ උසස්ම තත්ත්වයේ තියෙන පැජන්ට් එකක් වගේම ලෝකයේත් ඉහළ පිළිගැනීමක් තියෙන පැජන්ට් එකක් කියලා මං විශ්වාස කරනවා. ඒ හරහා නිරූපණයට එන්න ලැබීම සතුටක්. ඒ කොහොම වුණත් මං හැමදාම ආදරේ කරන්නෙ සිනමාවට. ඒ වගේම නිරූපණයේ දී මං සන්නාමයක් විදිහට තාමත් සම්බන්ධ වෙලා තියෙන්නේ නාමල් බාල්චන්ද්‍රන් සන්නාමය එක්ක විතරයි. ඒක මං හිතල ගත්ත තීරණයක්. මගේ ෆිල්ම්ස් එළියට එනකල් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ නොවී ඉන්න මං තීරණය කළා. ඉදිරියේදී මට දැනෙන, මට ගැළපෙනවා කියල හිතෙන සන්නාම සඳහා ආරාධනා ලැබුණොත් ඒ ගැනත් හිතනවා.


මේඝ කියන්නෙ කඩවසම් තරුණයෙක්. ඔබ ආදරවන්තයෙක්ද කියල ඇහුවොත්?


මේ මොහොතේ නම් නැත. කලින් ආදර සම්බන්ධතා තිබිල තියෙනවා. ඒත් මේ මොහොත වෙද්දි ආදරවන්තයෙක් නෙවෙයි කියලයි කියන්න තියෙන්නේ.


ආදරය ගැන මේඝට මොනවගේ අදහසක්ද තියෙන්නේ?


ආදරය කියන එක හැම මනුස්සයෙකුටම, හැම සත්ත්වයෙකුටම ලැබිය යුතු දෙයක් විදිහටයි මං දකින්නෙ. ඒත් ඒක එක එක්කෙනා දකින්නෙ එක එක විදිහට. ඒක මටත් පොදුයි.


 නාමලී ගමගේ




Previous Post Next Post