ප්‍රංශයේ ජීවත් වුණත් ලංකාවට එනකම් ඉවසිල්ලක් නැහැ - ඩියෝනා ඩයස්




සැක්සෆෝනයෙන් තාල අල්ලා හදවත් බොහෝමයකගේ හිත් ගත් අය ලංකාවේ විරලයි. ඒ අය අතරේ සැක්සෆෝනයෙන් වගේම හඬින් ජනතාවගේ හිත් ගත් කඩවසම් ගායකයෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. ඔහුගේ එකම දියණිය ඩියෝනා ඩයස්. ඇය ප්‍රංශයේ ජනප්‍රිය වූ ළමා ගායිකාවක්. මේ දිනවල ඇගේ ප්‍රථම සිංහල ගීතය එළිදැක්වීමට සූදානම් වෙනවා.


ප්‍රංශයේ the voice රියැලිටිකරණයෙන් ඔබේ හඬ ඒ රටේ බොහෝ දෙනෙක් අතරට ගියා. දැන් අලුත් ස්වයං නිර්මාණයක් එක්ක ලංකාවේ ජනතාවගේ හිත් ගන්න සූදානම්. අපි මුලින්ම ඒ ගැන කියමු..?


මගේ තිබුණ ලොකුම ආසාව තමයි ප්‍රංශයේ the voice රියැලිටිකරණයේ ගීත ගයන එක. මගේ ඒ හීනය ඉටු වුණා. ඒ වගේම ප්‍රංශයේ අධ්‍යාපනය ලබන එකත් බලාපොරොත්තුවක්. ඒ නිසා තමයි මම ඒ බලාපොරොත්තු ඉටු කරගන්න වැඩ කළේ. ඒ වගේම මගේ මවු භාෂාව සිංහල නිසා ලංකාව වෙනුවෙන් මගේ භාෂාවෙන් ගීතයක් කරන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ ආසාව තමයි ආල තරණය කියලා අගෝස්තු 16 වෙනිදා හෙක්ටර් ඩයස් DMAJOR යූටියුබ් චැනල් එකෙන් එළිදක්වන්නේ


වෙනස්ම සංගීත නාද රටා හා රූප රාමු ගීතයට ඇතුළත්. ලංකාවේ වගේම ලෝකේ වටේ ගීතය ප්‍රසිද්ධ කරන්න ගත්ත උත්සහයක්ද..?


මේ ගීතයේ රූප රචනා අධ්‍යක්ෂ විදිහට වැඩ කළේ මගේ තාත්තා හෙක්ටර් ඩයස්. ගී පද නවෝද්‍ය පෙරේරාගේ. තනු නිර්මාණය ප්‍රමිත ගල්ගමුවගේ. මේ විඩියෝ එක හොඳ කොලිටි එකකින් කරන්න අවශ්‍ය සියල්ල මගේ මාපියන් ලෑස්ති කළා. වීඩියෝ එක රූපගත කරන්න විතරක් පැය විසිපහක් ගත වුණා. ඇඳුම් විලාසිතාවලින් වෙනසක් කරන්න උත්සාහයක් ගත්තා. ඒ ඇඳුම් බොහෝමයක් මේ වීඩියෝ එක සඳහාම නිර්මාණය කළ ඒවා. ෆැෂන් ඩිසයින් කරන අය හරි දක්ෂ විදිහට අවශ්‍ය දේ කරලා දුන්නා. අපේ රටින් පිට මේ ගීතය ප්‍රසිද්ධ වුණොත් හොඳයි. ඒක සතුටක්. ජාත්‍යන්තරයට යන්න අපේ ලාංකිකයින් විදිහට වැඩ කරන්න ඕන. බලමු ඉතිං ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා.


ඇයි ප්‍රංශයේ ජනප්‍රිය වෙලා ඔබේ ගීතයක් ලංකාවේ කරන්න හිතුවේ. පියා ජනප්‍රිය තරුවක් නිසා ඔහුගේ ඉල්ලීමටද..?


නැහැ. මේ ගීතය කරන්නේ තාත්තගේ බලපෑමක් නිසා නෙමෙයි මගේම ආසාවට. මම ප්‍රංශයේ ජීවත් වුණත් ලංකාවට එනකල් ඉවසිල්ලක් නැතුව ඉන්න කෙනෙක්. මගේ රට ලංකාව නිසා තාත්තා කිව්වා මගේ මුලින්ම කරන ස්වයං නිර්මාණය සිංහල එකක් වුණොත් හොඳයි කියලා. තාත්තා එදා ඉඳලා මට මේ ගීතය කරන්න ගොඩක් උදව් කළා.


ලංකාවේ ගීත කිරීම හා අලෙවි කිරීම ටිකක් අසීරූ දෙයක්. ලොකු වියදමක් දරලා ගීතයක් නිර්මාණය කළේ ලංකාවේ මාකට් එක අල්ලන්නද..?


එහෙම මාකට් එක අල්ලන්න ඕන කියලා අදහසක් නැහැ. මම ගයන්නේ ආසාවට. මට අලුත්ම දෙයක් හා වෙනස්ම දෙයක් කරන්නයි වුවමනාවක් තිබ්බේ කියලා කියන්න ඕන. ඒ අරමුණ මේ විදිහට ඉටු වුණා


ඔබේ පියා වසර ගණනක් සංගීතය එක්ක ජීවත් වෙන හෙක්ටර් ඩයස්. පියාගේ ජනප්‍රියත්වය එක්ක ඔබේ හඬට ලංකාවේ ජනතාව ආදරේ කරයි කියලා විශ්වාස ද..?


තාත්ති ජනප්‍රිය කෙනෙක් වගේම එයා එයාට අනුව ප්‍රතිරූපයක් හදාගත්ත කෙනෙක්. මට ඕන තාත්තිගේ ජනප්‍රියත්වයෙන් එළිය නොබලා මටම කියලා අනන්‍යතාවයක් හදා ගන්න. මම ඒකට අවශ්‍ය දක්ෂතා මා තුළින් මම ගොඩනඟාගන්න වෙහෙස ගන්නවා. එයාගේ කලර් එක වෙනස් මගේ කලර් එක වෙනස්.


ඔබේ හයිය දෙමාපියන්, ඔබ සංගීතයට ඕපපාතික­‍ෙයක් නෙමෙයි. කොහොමද ආදරණීය පියාගෙන් එකම දියණියට ලැබෙන සංගීතයමය උදව්ව..?


තාත්ති වගේම මගේ අම්මි පාටී ඩයස් තමයි මගේ ලොකුම හයිය. මගේ ජීවිතේ ඒ දෙන්නා. එයාල ගැන මට කතා කරන්න වචන නැහැ. ඒ තරම් දරුවන් වෙනුවෙන් කැපවෙනවා. මගේ ඉලක්ක හීන එයාලා නිසයි මම ඉටු කර ගන්නේ. ඒ වගේ මාපියන් නොහිටියා නම් මේ වගේ ගීතයක් එළිදක්වන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. තාත්තිගෙ උපදෙස් එක්ක තමයි මම අද මෙතැන ඉන්නේ.


ඒ කියන්නේ ඔබගේ විවේචකයා පියාද..?


මගේ තාත්තී වගේම අම්මි තමයි මගේ විවේචකයින්. සමහර වෙලාවට තාත්තිගේ සින්දුවල අඩුපාඩු හදන්නෙත් අම්මී. පොඩි අඩුපාඩුවක් තිබ්බත් කියලා හදා ගන්න කියනවා. සංගීතයට අවතීර්ණ වෙන්න මුලින්ම පය තිබ්බ මට ඒක හරි වටිනවා.


ඔබ දැන් ජීවත් වෙන්නේ ප්‍රංශයේ. එහේ ජීවිතේ කොහොමද? එහේ අය ඔබව දන්නේ කොයි විදිහට ද..?


මමයි, අයියයි මල්ලියි ඉන්නේ ප්‍රංශයේ ආච්චි එක්ක , අම්මියි තාත්තියි ලංකාවේ. එයාලා පුළුවන් හැම වෙලාවකම එනවා අපිව බලන්න. එහේ ජීවිතේ හරි කාර්යබහුලයි. පාසල් වැඩ එක්ක. එහේ පිරිස මාව දැන ගත්තේ the voice නිසා. පොඩි ළමයිගේ ප්‍රතිචාර මට වැඩිපුර ලැබෙනවා.


දැන් භාෂා කීයකින් ගීත කියන්න පුළුවන් ද ..?


මට දැන් භාෂා පහ හයකින් සින්දු කියන්න පුළුවන්. ඕනෑම භාෂාවක ගීතයක් එක පාරක් ඇහුවට පස්සේ මට ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා


ලංකාවේ පදිංචි වෙන්න එන්න බලාපොරොත්තු වෙන්නෙ නැද්ද ..?


මම ආස ලංකාවේ ජීවත් වෙන්න. අධ්‍යාපන කටයුතු ඉවර වුණාට පස්සේ අම්මියි තාත්තියි කිව්වා ලංකාවට එන්න කියලා . මම ලංකාවේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා


නව යොවුන් වියේ තරුණියක් විදිහට විලාසිතා භාවිතය කොහොමද ..?


මම ඉපදිලා ඉන්නේ විලාසිතාවලට බොහෝම ඇලුම් කරන පවුලක. අම්මියි තාත්තියි දෙන්නම විලාසිතා කරන දෙන්නෙක්. ඉතිං ඒක මට හොඳටම ඇවිත් තියෙනවා , මගේ ඇස් ඉක්මනින් විලාසිතාවලට යනවා. මට ගැළපෙන විදිහට මම විලාසිතා කරනවා.


හර්ෂණී වීරරත්න




Previous Post Next Post