සපත්නීරෝෂයක් මමවත් හිතුවේ නෑ මෙච්චර ජනප්‍රිය වෙයි කියලා – අභිෂේකා විමලවීර




සපත්නීරෝෂයක් ගීතය මේ සටහන ලියන මොහොත වනවිටත් You Tube එකේ Trending වෙවි ඉහළටම යමින් පවතී. ඔබ මේ සටහන කියවනවිට Trending වී හමාර වීමට ද පුළුවන. මේ ගීතය මුලින්ම නිසැඳසක් විදිහට ඇතුළත් වුණේ පසුගිය පෙබරවාරියේ ප්‍රකාශයට පත් කළ ‘Velvet ප්‍රේමය’ කෘතියෙනි.

‘අභී’ එහෙමත් නැතිනම් අභිෂේකා විමලවීරගේ පද රචනයෙන් ඉන්ද්‍රජිත් මිරිහානගේ සංගීතයෙන් ආචාර්ය නන්දා මාලනිය සමග ඇය මේ ගීතය ගායනා කරන්නේ. මේ දිනවල හැමෝම වගේ කතාබහ වෙන Take Care ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලෙසිනි.


ඇත්තටම සපත්නීරෝෂයක් කියන්නේ මොකක්ද? මේ දිනවල හැමෝම අහන ප්‍රශ්නය හින්දම අපිත් අභීගෙන් ඇසුවා මොකක්ද මේ සපත්නීරෝෂයක් කියන්නේ කියලා.


“සපත්නීරෝෂයක් කියලා කියන්නේ සමාන භාර්යාවන් අතර ඇතිවන කෝපය නිසා හටගන්නා ඊර්ෂ්‍යාව. මේක ඡද්ධන්ත ජාතකයේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. චූල සුභද්‍ර සහ මහා සුභද්‍ර කියලා ඇතින්නියන් දෙන්නෙක් ඉන්නවා ඡද්ධන්ත කියන ඇතාට. මේ චූල සුභද්‍රාට මහා සුභද්‍රා කෙරෙහි ඇතිවන වෛරය තමයි සපත්නීරෝෂය කියලා කියන්නේ. මේ දවස්වල හැමෝම කතාබහ වෙන Take Care ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන්නෙත් සපත්නීරෝෂයක් ගීතය. ඉන්ද්‍රජිත් මිරිහාන අයියා තමයි මේ ගීතය සංගීතවත් කළේ. වචන ටික මුලින්ම ලියලා තිබුණේ මගේ වෙල්වට් ප්‍රේමය කියන කෘතියේ. ඉන්ද්‍රජිත් අයියට කිව්වහම කිව්වා මේක ආපහු ලියන්න අවශ්‍ය නැහැ කියලා. ඊට පසුව ලස්සන තනුවක් දැම්මා. නන්දා මාලනී මහත්මිය ආදරයෙන් මතක් කරන්න ඕනෑ. එතුමිය මේ ගීතය ගායනා කළා. ඊට පසුව යුග ගායනයෙන් මම සහාය වුණා”.


මේ ගීතය මේ තරම් සමාජයේ කතිකාවකට ලක්වෙයි කියලා හිතුවද?


මම ඇත්තටම හිතුවේ නැහැ. වෙල්වට් ප්‍රේමය පොත ඇතුළේ තියෙන එක එක කවි නිස`දැස් සමාජ මාධ්‍යවල ගොඩක් ෂෙයාර් වුණා. හැබැයි සපත්නීරෝෂයක් කියන පද රචනය ඒ තරම් ෂෙයාර් වෙච්ච එකකුත් නෙමෙයි. මම මේ ගීතය අහන්න දුන්නා මගේ යහළුවෝ කිහිපදෙනකුට. එතකොට කිව්වා ‘අභිෂේකා මේක ටිකක් බර වැඩියි.


මිනිස්සුන්ට ටිකක් තේරෙන්නේ නැහැ කියලත්.


මිනිස්සුන්ට ඕනෑ සිම්පල් දේවල්. පුළුවන් තරම් සරල දේවල් ලියන්නත් කිව්වා. මම හිතුවේ නැහැ ඒක මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. හැබැයි මට හිතුණා ඒක හොඳ නිර්මාණයක් විදිහට මිනිස්සුන්ගේ ඔළුවේ තියේවි කියලා. මොකද ඉන්ද්‍රජිත් මිරිහාන අයියා, ආචාර්ය නන්දා මාලනිය, Take Care නාට්‍යයට තියෙන ප්‍රතිචාර, ඒ සියල්ල මත තමයි අපි හිතන්නෙවත් නැති විදිහට සපත්නීරෝෂයක් වැඩ කළේ.


Take Care ටෙලි නාට්‍යයේ තේමා ගීතයට සම්බන්ධවෙන්න ලැබීම ගැන මොකද හිතන්නේ?


Take Care නාට්‍යයේ නිෂ්පාදකතුමා සාරංග දිසාසේකරට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. අපි ඔහුව දකින්නේ නළුවෙක් විදිහටනේ. ඒ වගේම අනුෂ්ක රසාංජන, කැමරා අධ්‍යක්ෂ සසංක, දිනක්ෂි, රෙබෙකා ඇතුළු මේ කට්ටියටම ස්තුතිවන්ත වෙනවා මේ ගීතය තෝරා ගත්තට.


අද වෙනකොට මේ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා?


හිතාගන්න බෑ, මම ඇත්තටම හිතුවේ නැහැ මෙච්චර මෙහෙම දෙයක් වේවි කියලා. සාමාන්‍යයෙන් මම වැඩක් කළාට පසුව ඒ වෙනුවෙන් පොඩි කැපකිරීමක් සිදුකරනවා. මේ ගීතයටත් අපි මහන්සි වුණා. මේකට රූප රචනාවක් නැති වුණත් ටෙලිනාට්‍යයේ ගිය දර්ශනම තමයි අපි ශදම ඔමඉැ එකට යොදාගත්තේ. ඒකේ මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන පුදුම සතුටුයි. ගීතයට රූප රචනාවක් නැතිව මේ මට්ටමට ගියා කියන්නේ ඒක අපි හැමෝගෙම ලොකු ජයග්‍රහණයක්.


අභී Take Care නාට්‍යයේ රසිකයෙක්ද?


ඇත්තටම ඔව්.


‘සපත්නීරෝෂයක්’ ගැන ක්ෂේත්‍රයේ අය මොනවද කියන්නේ?


ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ගොඩදෙනෙක් මට කතා කළා. මට කතා කරන්නේ නැහැ කියලා හිතෙන්නේවත් නැති ගොඩක් ජ්‍යෙෂ්ඨයන් මට කතා කළා. මේ වෙලාවේ මම හරිම ආදරයෙන් මතක් කරන්න ඕනෑ නන්දා මිස්ව. ඒ වගේම මේක ගැන පොඩි වාද විවාද ඇති වුණා. තේරුම් හොයන්න ගත්තා. ගොඩක් අයගේ වැරදි වැටහීම් නැති කරන්නත් පුළුවන් වුණා. ගොඩක් මිනිස්සුන්ගේ චින්තනය කියවන පැත්තට බර කරන්න පුළුවන් වුණා.


නන්දාමාලනීය මේ ගීතයට සම්බන්ධවීම ගැන මොකද හිතන්නේ ?


මගේ සංගීත ජීවිතයේ ලැබුණු ලොකුම ජයග්‍රහණය තමයි එතුමිය සමග මේ ගීතය ගායනා කරන්නට ලැබීම. ඇත්තටම ඉන්ද්‍රජිත් මිරිහාන තමයි ඒ වගකීම් අරගෙන මේ සියලුම වැඩේ සිදු කළේ. මම මගේ මුහුණු පොතේ සටහනකුත් තැබුවා. මගේ ජීවිතයේ ඉර අල්ලනවා වගේ සිහින තිබ්බෙ නැහැ. මොකද ඉර ඇල්ලුවහම පිච්චෙනවා. නන්දා මාලනියත් එක්ක ගීතයක් ගායනා කරනවා කියන්නෙම ඉර අල්ලනවා වගේ එකක්. හැබැයි ඉන්ද්‍රජිත් අයියා කිව්වා ඉර අල්ලන්නත් පුළුවන් කියලා. ඉන්ද්‍රජිත් අයියා වගේම මේ ගීතයට අවස්ථාවක් දුන්නු සාරංග දිසාසේකර, අනුෂ්ක මල්ලී, දිනක්ෂි, රෙබෙකා වගේ මේ හැමෝටම සුබ පතනවා.


සමාජයේ මේ ගීතය ගැන විචාර මතවාද වගේම විවිධ කරුණු මුහුණු පොත හරහා සැරිසරනවා?


හරිම සතුටුයි මම හිතන්නේ මෑත ඉතිහාසයේ ටෙලිනාට්‍ය සේම, ගීතයක් මේ තරම් කතාබහට ලක්වෙන්න ලැබීම ගැන හරි සතුටුයි. ඒ වාද විවාද ඇති කරන්නේ මේ ටෙලි නාට්‍යයේ ඉන්න චරිත තුනමයි. ඒ කියන්නේ මේනකාගේ දෘෂ්ඨි කෝණයෙන් ඉන්න අය මේනකාගේ පැත්තට කතා කරනවා. අසේනිගේ අත්දැකීම තියෙන අය අසේනිගේ පැත්තට කතා කරනවා. අපේ සමාජය ඇතුළේ ඉන්න මේනකාලා, අසේනිලා වගේම වාසලලා වගේම හැමෝම මේකට ලස්සනට ප්‍රතිචාර දක්වනවා. මේක අපේ ලෝකයේ මිනිස්සුන්ගේ පොදු අත්දැකීම. මම හිතනනේ ඒක තමයි මේ ගීතය මේතරම් ජනප්‍රිය වෙන්න තියෙන රහස.


මේ දවස්වල සංගීත වැඩකටයුතු එහෙම කොහොමද?


මගේ ඊළඟ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයට සූදානම් වෙනවා. ඒකේ තේමාවත් Take Care ම තමයි. ‘ආදරේ නම් පරිස්සම් කරන්න’ රත්නපුර ජාතික කෞතුකාගාරයේ අගෝස්තු 31 වැනිදා ප්‍රසංගය පැවැත්වෙනවා.


ඔබේ ප්‍රසංග ටිකක් වෙනස්ම තේමාවන් ඔස්සේ තමයි රැගෙන යන්නේ. ඇයි එහෙම කරන්න හිතුවේ?


පළාත් නවයට තනියම ඒක පුද්ගල ප්‍රසංග නවයක් කරනවා කියන ඒක ලේසි නැහැ. මගේ දැනට තිබුණු කොන්සර්ට් පහටම ආපු පිරිසක් ඉන්නවා. එතකොට ඒ ගොල්ලන් හැමෝටම හැමදාම එකම අත්දැකීම බලන් ඉන්න එක බෝරින්.


ඒ වගේම මේ ගීත ටික ගායනා කරලා එකම තේමාවක් ඔස්සේ කියන්න ගියොත් මටත් ඒක බෝරින්. මටත් කම්මැලියි. මටත් ඕනෑ වෙනසක්. පළාත් නවයෙන් හැම පළාතකටම අපිට පුළුවන් විදිහට අපි වෙනස්කම් එකතු කළා. මොකද මිනිස්සු කැමැතියි විවිධත්වයට. ඉතින් මට ගැළපෙන විදිහට මගේ ෂෝ එකෙත් ආකෘතිය පළාතෙන් පළාතට වෙනස් කර ගන්නවා.


සබරගමුවට එකතුවන අලුත්ම ගීතය තමයි සපත්නීරෝෂයක් ගීතය. ඒක රසිකයන්ට ලබාදෙන්න කොහොමද සූදානම් කරලා තියෙන්නේ?


සපත්නීරෝෂයක් ගීතය ගායනා කරන්නේ ආචාර්ය නන්දාමාලිනිය. එතුමියට කරන ගෞරවයක් විදිහට එතුමියගේ කොටස ඒ විදිහටම තියලා මම පමණක් මගේ කොටස සජීවීව ගායනා කරනවා. එතුමියගේ ගායන කොටස වෙනුවෙන් වෙනත් ගායිකාවක් යොදාගන්නේ නැහැ. ඒකත් මම හිතනවා මිනිස්සුන්ට වෙනස් අත්දැකීමක් වෙයි කියලා.


ප්‍රසංගවලට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙන එක ගැන මොකද හිතන්නේ ?


ඒක දරාගන්න බෑ. ෂෝ එක ඉවර වුණාට පස්සේ මිනිස්සු ඇවිල්ලා කියන දේවල් වගේම මම වගේ තනි මනුස්සයෙක් වෙනුවෙන් මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් එනවා කියන එකත් හිතාගන්න බෑ. මම හිතන්නේ මගේ තාත්තා තමයි මේ ප්‍රාතිහාර්යය කරන්නේ. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. තනි ගැහැනියකට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මගේ වටේ ලොකු පිරිසක් නැහැනේ. මගේ වටේ ඉන්නේ හරිම පුංචි පිරිසක්. එක අතක ඇඟිලි ගාණටත් අඩුයි. ඒ පුංචි පිරිස තමයි මේ තරම් ලොකු වැඩක් කරන්නේ. මගේ ප්‍රසංගය සංවිධානය කරන කාර්ය මණ්ඩලයට වගේම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මගේ මිත්‍රාගාරයට. මම ආස නැහැ ඒකට ප්‍රේක්ෂකාගාරය කියන්න. මොකද ඔවුන් මගේ මිත්‍රාගාරය. මගේ හැම ප්‍රසංගයකම මගේ මූලික අනුග්‍රාහකයා මගේ මිත්‍රාගාරය. ඒ ගොල්ලෝ සල්ලි දීලා ටිකට් එකක් අරගෙන එන හින්දා තමයි මට කොන්සර්ට් එක එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වුණේ. ලේසි නැහැ, ලක්ෂ ගණනාවක් වැයවෙන වැඩක්. ඉතින් අතින් සල්ලි දාලා කරන්න බැහැ. මගේ ප්‍රධාන අනුග්‍රාහකයා මගේ මිත්‍රාගාරය.


රත්නපුරයට යෑමේදී මොනවගේ සූදානමක්ද තියෙන්නේ?


රත්නපුරයේ ප්‍රසංගය නම්කරලා තියෙන්නේ ආදරේ නම් පරිස්සම් කරන්න කියලයි. හැම කොන්සර්ට් එකකට වගේම මේ කොන්සර්ට් එකෙන් ගීතයක් එළිදක්වනවා. ඉතින් මේ කොන්සර්ට් එක ප්‍රදානය කරන්නෙම තාත්තාට. සබරගමුව පළාතේ තියෙන සුන්දරම උතුම්ම දේ තමයි ශ්‍රීපාදය. තාත්තේ කියන ගීතයට එදාට අපි රූපරචනාවක් රිලීස් කරනවා. ඒ රූගත කිරීම අපි YouTube එකට දාන්න බලාපොරොත්තු වෙනවා. මගේ තාත්තාගේ උපන්දිනය අගෝස්තු 23 වැනිදා. ඉතින් එයාට දෙන තෑග්ගක් විදිහට ඒක මගේ හිතේ හැමදාම තියේවි කියලා හිතනවා. ප්‍රසංගය 31 වැනිදා තමයි පවත්වන්නේ.


දිනේෂ් විතාන





Previous Post Next Post