මා ළඟ බොරු ෂෝ නෑ - යුරේනි නොෂිකා




යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කෙළින් කතා කරන, කියන්න තියෙන දේ මුහුණට කියන හරි විවෘත චරිතයක්. වර්තමානයේ ආට්එක ඇතුළේ වෙනස්ම හැඩයක් නිර්මාණය කරගත්තු චරිතයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ටික කාලයකට පස්සේ ඔන්න යුරේනි ආයෙමත් පුංචි තිරයට ගොඩවෙලා. ටෙලියේ නම ‘රීකන්ඩිෂන් කෙල්ල’. රීකන්ඩිෂන් කෙල්ල එක්ක අපි පොඩි චැට් එකක් දැම්මා. ඔයාලත් ආසා ඇතිනේ යුරේනිගෙ කතා ටික අහන්න. එහෙනම් මේ සටහන කියවලා බලන්න.

රීකන්ඩිෂන් කෙල්ල ගැන කට්ටිය මොනවද කියන්නේ?


හරිම සතුටුයි. මොකද අවුරුදු ගණනාවකට පස්සේ තමයි මගේ ටෙලි නාට්‍යයක් විකාශය වෙන්න පටන් ගත්තේ. මම හිතනවා අවුරුදු ගණනාවකට පස්සේ හරි මම හරිම පිටපත තෝරා ගත්තා කියලා. ඒක හිතට දැනෙන පිටපතක්. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනෑ අනුර ඒකනායක අධ්‍යක්ෂවරයාට. ඔහු මා ළඟට පිටපත අරගෙන එනකොටම මට ලොකු විශ්වාසයක් ආවා. මොකද ලංකාවේ අධ්‍යක්ෂවරු මට මෙවැනි චරිතකයක් කරන්න පුළුවන් කියල හිතන්නේ නැහැ. නමුත් ඔහුට මා තුළ තිබුණ විශ්වාසයට මම ස්තූතිවන්ත වෙනවා.


කොච්චර කාලෙකට පස්සෙද ටෙලි නාට්‍යයක් භාරගත්තේ?


මම හිතන්නේ අවුරුදු හතරකට විතර පස්සේ.


ඉඳලා ඉඳලා කරන පෙරළි ලේසි නැහැ?


අනේ මම එහෙම පෙරළි කරන්නේ නැහැ. මට හිතෙට දැනෙන්න ඕනෑ පිටපතක් භාරගන්න. ආවාට ගියාට මම දේවල් කරන්නේ නැහැ. මගේ කලා ජීවිතයේ මම කරපු රඟපෑම් හරි සීමිතයි. නමුත් ඒ හැම එකක්ම හිතට දැනෙන දේවල්. ඉතින් රීකන්ඩිෂන් කෙල්ලගේ දිනූගේ චරිතයත් මාගේ හිතට දැනිච්ච චරිතයක්. දිනූගේ චරිතය නිරූපණය කරද්දි මගේ ජීවිතයට ගොඩක් අත්දැකීම් ලැබුණා. යාල කැලේ, තිස්සමහාරාමයේ තමයි රූගත කිරීම් සිදුකළේ. අපි කොළඹ ඉන්නකොට හරිම සරුවපිත්තල ලෝකවල ජීවත්වෙන්නේ. නමුත් කොළඹින් ඈත ගමක ජීවත්වෙනකොට, ඒ මිනිස්සුන්ගේ නාඩි අපට දැනෙනකොට ජීවිතයට ඒක වෙනම රහක් සහ අත්දැකීමක්. මනුස්සයෙක් විදිහට අපිව ඒ දේවලිනුත් පෝෂණය කරනවා චරිතයක් නිරූපණය කරනකොට.


රීකන්ඩිෂන් කෙල්ලව කොහේදිද හම්බවුණේ?


තිස්සමහාරාමයෙන් තමයි හම්බවුණේ. කෙල්ල දැන් තිස්සමහාරාමය හොල්ලගෙන ඉන්න කෙල්ලෙක්. කිසි යකෙකුටවත් බය නෑ.


මොකද මේ කොල්ලන්ව පෙන්වන්න බැරි?


සැබෑ ජීවිතයේ නම් එහෙම නැහැ. දිනූට තමයි කොල්ලන්ව පෙන්වන්න බැහැ කියන්නේ. ඇය ගොඩක්ම පොඩි කාලෙම තමන්ගේ පියාගෙන් බාප්පාගෙන් අතවරයට ලක්වෙච්ච චරිතයක්. මම හිතන්නේ එහෙම චරිත අපිට සමාජයේ මුණගැසෙනවා. එතකොට එහෙම ළමයි සමාජගත වෙනකොට හරි වෛරයක් පිරිමි සංහතිය ගැනම තියෙන්නේ. ඒ වගේම කලකිරීමක්. දිනූත් ඒ අත්දැකීම්වලට මුහුණ දුන්න නිසා ජිවිතය හුඟක් දරදඬු කරල පිරිමි සංහතිය ගැනම වෛරයෙන් බලනවා. ඒ වෛරය සාධාරණයි කියලා මට හිතෙනවා.


දිනූට ලැබෙන ප්‍රතිචාර වෙනස්නේද?


ඇත්තටම ඔව්. ගොඩක් අයගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතනවා මම හරි වාසනාවන්තයි කියලා. මට රංගනය සඳහා ගොඩක් අවස්ථා ලැබෙන්නේ නෑ. හැම තිස්සේම වගේ පිටපත් අරගෙන මිනිස්සු මගේ පිටිපස්සෙන් එන්නේ නැහැ. හරි සීමිත අවස්ථාවන් තමයි හම්බවෙන්නේ.


මේ වගේ චරිතයක් යුරේනි කරයි කියලත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ?


ඔව්. විශ්වාස කරන එකක් නැහැ. දෙවියෝ මට මේක දුන්නේ කරලා පෙන්වන්න. මම දන්නේ නැහැ සියයට සියයක් සාධාරණය ඉෂ්ට කළාද කියලා. නමුත් මම හිතනවා මගේ උපරිමය කළා කියලා.


එක්වර එක චරිතයක් විතරද භාරගන්නේ?


ඔව්. මට නිදි වරලා පුරුදු නෑ. ඉතින් ඒක හින්දා මට නිදි වරලා චරිත රඟපාන්න බැහැ. හරි අමාරුයි. මට පැය පහකවත් නින්දක් ඕනෑ. ප්‍රේෂ් පිට සෙට් එකට ගියේ නැතිනම් මට හරි අමාරුයි. ඒක හින්දා මට චරිත දෙක තුන භාර අරගෙන කරන්න බෑ. අර සෙට් එකෙන් මේ සෙට් එකට පනින්නයි මේ සෙට් එකෙන් අර සෙට් එකට පනින්නයි බෑ. අනික එහෙම හැක්වෙලා වැඩ කරන්න බෑ.


ලැබෙන ජනප්‍රියත්වය අඩුවෙයි කියලා හිතෙන්නේ නැතිද?


නැහැ. මම කවදාවත් ජනප්‍රියත්වය පස්සේ දුවපු කෙනෙක් නෙමෙයි. මම කවදාවත් ජනප්‍රියත්වයට කෑදරකම් දැක්වුව කෙනෙකුත් නෙමෙයි. එහෙනම් මාව හැම චැනල් එකකම හැම නාට්‍යයකම දකින්න තිබ්බා. මම අදටත් ටීවීවල එහෙම ලොකුවට නැහැ. ඒක හින්දා මට ලැබිලා තියෙන ජනප්‍රියත්වය ඇති. අනික කරන්නන්වාලේ වැඩ කරන්න මම ලෑස්ති නැහැ.


යුරේනි සෝෂල් මීඩියා කැම්පේන් කරන්නේ නැතිද?


මම සෝෂල් මීඩියා කැම්පේන් කරනවා හරි අඩුයි. ඒ වගේම මම සමාජ මාධ්‍යවල ඉන්නවා හරි අඩුයි. මට ඒක හරි ලොකු කරදරයක්. සමහරු ඒක ඇත්තටම විඳිනවා. එහෙම විඳින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. වැඩ කරන්නේ නැති වෙලාවට තනියම ගෙදරට වෙලා පොතක් පතක් කියවාගෙන පිනක් දහමක් කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නයි කැමැති. වැඩ තියෙන කොට වැඩ කරනවා, වැඩ තියෙන කොට ඒවායේ ප්‍රචාරණයන්ට සමාජ මාධ්‍යවල ක්‍රියාකාරී වෙනවා.


ගායන වැඩකටයුතු එහෙම කොහොමද?


ගායන වැඩකටයුතු ටිකත් කරගන්න ඕනෑ කියලා හිතලා තියෙන්නේ. ගීත දෙකක් නිර්මාණය කරලයි තියෙන්නේ. එකක් පටිගත කළා. සින්දුවක් එළියට දාන්න බලන්න ඕනෑ.


නිවේදන කටයුතු ගැනත් කියමු නේද?


මේ දවස්වල නිවේදන කටයුතු විතරමයි කරන්නේ. මම රංගනයට ආසා වුණාට ගොඩක්ම කාර්යබහුල වෙලා තියෙන්නේ නිවේදන කටයුතු එක්කයි.


මේ දේවල්වලින් වැඩිපුර කැමැති?


මම ඇත්තටම ආසා රඟපාන්න.


ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 18ක්. මොකද හිතෙන්නේ?


ආපස්සට හැරිලා බලනකොට හරි සතුටුයි. ඒ වගේම පොඩි අභිමානයකුත් තියෙනවා.


එතකොට විවාහ වෙන්නේ කවදාද?


විවාහයත් පරක්කු වෙයි. මම විවාහ වෙයි. දන්නේ නැහැ කවදා කොයි කාලයේ සිද්ධ වේවිද කියලා. විවාහය ගැන බලාපොරොත්තු නැති කරගෙන නැහැ. ඒ වුණාට අර කියනවා වගේ කරන්නන්වාලේ මම දේවල් කරන්නේ නැහැ. මට ජීවිතයේ හදවතට තදින්ම දැනුණ කෙනෙක් හම්බවුණොත් මම ඒ කෙනත් එක්ක විවාහ වේවි.


මේ ගෙවන ජීවිතය ගැන කතා කළොත්?


දැන් ගෙවන ජීවිතය හරි සැහැල්ලුයි. සතුටුයි. තනිකඩ ජීවිතයනේ. ඒකට මම හුරු වෙලා ඉවරයි. ඒ ජීවිතයේ මට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මට සමහර වෙලාවට ජීවිතයේ පොඩි තනිකමක් දැනෙනවා. නැතිවාම නොවෙයි. අපි මිනිස්සුනේ. දැන් ඒ තනිකමටත් මම හුරුවෙලා ඉවරයි. කෙනෙක් හම්බවුණොත් බඳීවි. නැතිනම් මෙහෙම ඉඳීවි.


මේ ආපු ගමන දෙස ආපසු හැරී බැලුවොත්?


ඇත්තටම ආපස්සට හැරිලා බලනකොට මම ගැන අර කිව්වා වගේම පොඩි අභිමානයක් තියෙනවා. මම ගොඩක් දේවල් ක්‍ෂේත්‍රයට දීලා තියෙනවා. මම එනකොට ෆීල්ඩ් එකේ නළු නිළියන් කතා කරන විදිහක් තිබුණා. හැසිරෙන විදිහක් තිබුණා. මම කිසි දෙයක් දන්නේ නැති හින්දා මම හරි විවෘතයි. හිතේ තියෙන දේ දෙපාරක් හිතන්නේ නැතිව කියපු කෙනෙක්. ඉස්සර කලාකරුවන් සහ මිනිස්සු අතර ලොකු පරතරයක් තිබුණා. නමුත් මගෙන් පස්සේ ආපු හුඟක් කට්ටිය තමන්ට රිසි දේ තමන්ට ඕනෑ විදිහට කියනවා. එතකොට මිනිස්සුත් හිතන්න ගන්නවා. කලාකරුවෝ කියන්නේ අහසේ පාවෙන පිරිසක් නෙමෙයි, අපි වගේම හැඟීම් දැනීම් තියෙන පිරිසක් කියලා මම හිතන්නේ. මම මේ දේවල්වලට හොඳ පන්නරයක් දුන්නා.


යුරේනි ළඟ බොරු ෂෝ නැහැ?


ඔව්. මම හිතනවා ඒක හොඳයි කියලා. අපි බොරු මවාපෑම් කරන්නේ නැතිව සාමාන්‍ය මිනිස්සු ආකාරයට ජීවත් වුණහම ඉවරයිනේ. මම එන කාලේ කොටට අඳින දේවල් තිබුණේ නැහැ. මම හින්නේ ලංකාවේ රෙඩ් කාපට් ෆැෂන් මම ගෙඩක් හඳුන්වා දුන්නා. අද මට සතුටුයි, ලංකාවේ නිළියන් ලස්සනට අඳිනවා.


යුරේනි කියන්නේ පැෂන් සාගරයක්?


මට ඒ ගැන සතුටුයි. මම එන කාලේ මම දන්නේ නැහැ ඇයි ඒ කියලා. මොකද කලාකරුවන්ට ලොකු වටිනාකමක් දීලා තිබුණේ නැහැ. මේ ක්‍ෂේත්‍රයේ ඒ වටිනාකම හදන්න මම ලොකු රුකුලක් වුණා කියලා හිතෙනවා. අද කාලේ ගොඩක් කට්ටිය තමන්ට රිසි සේ තමන්ගේ වටිනාකම ගන්නවා. මම එන කාලේ එහෙම තිබුණේ නැහැ වගේම මම ගණන් කියනකොට කට්ටියගේ ඇස් උඩ යනවා. ඉතිං කලාකරුවකුට වටිනාකමක් නියම කරන්න ගොඩක් දායක වුණා කියලා හිතනවා.


ඔය කරන විලාසිතාවලට බනින්නේ නැතිද?


දැනටමත් බණිනවානේ. කොච්චර බණිනවාද? ඔවා ඉතිං ගණන් ගන්නේ නෑ. මිනිස්සු බණින බණින වෙලාවට අපි අපේ ජීවිතය විඳින්නේ නැතිව ආපස්සට ගත්තොත් අපිටනේ පාඩු. මේ ජීවත්වෙලා ඉන්න අවුරුදු 60, 70 තව මනුස්සයෙක් බණින බණින පාරට ජීවිතය හදන්න ගියොත් ජීවත් වෙලා වැඩක් නැහැනේ. ඔය බණින එක කොහොමත් බණිනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් තමන්ට තමන්ගේ ජීවිතය විඳින්න තමයි තියෙන්නේ. තමන් තව මනුස්සයකුට බරක් වෙන්නේ නැති නම් වරදක් කරන්නේ නැතිනම් කිසිම කෙනකුට හානියක් නොවෙනවා නම් තමන්ට පුළුවන් තාක්කල් ජීවිතය විඳින්න තමයි තියෙන්නේ.


දිනේෂ් විතාන




Previous Post Next Post