එයා කවදාවත් මට රංගනයෙන් ඉවත් වෙන්න කියල නෑ - කාංචනා මෙන්ඩිස්




කාංචනා මෙන්ඩිස් නම පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ නිරතුරුවම දිස් වූ යුගයක් ද විය. ඒ මීට දශකයකටත් ඉහතය. ආදරණීය කැදැල්ලට මුල් තැන දෙමින් රංගනයෙන් ඈත් වන විටත් ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම සිටි දක්ෂ රංගන ශිල්පිනියකි. අවසන් වරට දායක වුණු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් රෝහණගේ ගිරිකුල ටෙලි නිර්මාණයේ රංගනය උදෙසා ඇය හොඳම නිළිය ලෙස ද සම්මානයට පාත්‍ර වූවාය. ධර්මසේන පතිරාජගේ සුබ අනාගතයක් ටෙලි නිර්මාණය ඔස්සේ රංගනයට අත්පොත් තබද්දී ඇය දොළොස් වියැති පාසල් ශිෂ්‍යාවක වීම ද විශේෂත්වයකි. තම සැමියා සහ දරු තිදෙනා සමඟ එංගලන්තයේ වෙසෙන ඇය මෙවර ලංකාවට පැමිණි මොහොතේ අප හා කතාබහට එක්වූවාය.


කාංචනා ලංකාවට ආවා කියලා ආරංචි වුණා. ඇවිත් ගිහින් අවුරුද්දක්වත් වුණේ නෑ කියලයි හිතෙන්නේ?


ගිය අවුරුද්දෙ සති දෙකකට විතර හදිසියේම ලංකාවට ඇවිත් ගියා අම්මා අසනීප වෙලා හිටිය නිසා. මේ පාර බබාලත් එක්කම ආවේ ටික දවසක් ඉඳල යන්න. මේ එයාලගේ සමර් වැකේෂන් එක. ජූලි 18 ආවේ. සැප්තැම්බර් 01 වගේ ආයෙම යනවා. මම රැකියාවක් නොකළට මටත් නිවාඩු ලැබෙන්නෙ බබාලගෙ වැකේෂන් එකට තමයි.


බබාලා ලංකාවට ආවේ බොහෝ කාලෙකින් නේද?


2018දී ආවට පස්සේ මේ ආවේ. අවුරුදු 6කට පස්සේ. ඒ එද්දි චූටි පුතාට අවුරුද්දයි. එයාට කිසිම මතකයක් නෑ. දැන් එයාට තේරෙන වයස නිසා මට හිතුණා දරුවෝ එක්ක ඇවිත් මගේ ගෙදර අයට පෙන්නන්න. අපේ අම්මට, අක්කලට එයාව හුරතල් කරන්නවත් බැරි වුණානේ. අපි ලංකාවෙන් යද්දි මට හිටියේ ලොකු පුතයි, දුවයි විතරයි. ඒ වෙද්දි ලොකු පුතාට අවුරුදු 4යි. දුවට අවුරුද්දයි. ලබන මාසෙ 25ට ලොකු පුතාට අවුරුදු 15 ලබනවා.


දැන් දරුවන්ට තේරෙන වයසනේ. එයාල ලංකාව ගැන මොකද කියන්නේ?


ලොකු පුතා කියනවා අපිට වඩා මෙහේ අයට නිදහස තියෙනවා කියලා. මෙහේ අය හවස එළියට යනවා, ට්‍රිප් යනවා, එන්ජෝයි කරනවා. එහේ නිතරම වැඩ වැඩනේ. එහේ වැඩ කරන අතරේ ෆෝන් පාවිච්චි කරන්නත් බෑ. හදිසි කෝල්වලට වෙනම නොම්මරයක් තියෙනවා. ගොඩක් දෙනා ලංකාවට ආවත් ඉක්මනින් ආයෙම යන්නෙ ඒ රාජකාරි නිසා. එහේ ඉන්න ලංකාවෙ අය වුණත් එහෙමයි. ලොකු පුතා හරිම සාධාරණව හිතන කෙනෙක්. එදා එද්දි එයාර් ෆෝට් එකේ පෝලිමක හිටිද්දි කාන්තාවක් මාව අඳුනගෙන මට ඉස්සරහට කතා කළා. මාත් ගියේ මං ගැන වැරැදියට තේරුම් ගනියි කියල හිතලා. එතැනදි ලොකු පුතා මට කිව්වා අම්ම ඒ කළ වැඩේ වැරැදියි කියලා.


එයාලා ලංකාවට කැමැතිද?


එයාලා කියන්නෙ වැකේෂන් එකකට ඇවිත් යන්න හොඳයි ඒත් දිගටම නම් ඉන්න බෑ කියලා. එයාලා සත්තුන්ට හරිම ආසයි. අපි සාමාන්‍යයෙන් සර්පයන්ට බයයි. කැතයිනේ. ඒත් එයාලා සර්පයන්ට ආසයි. විශේෂයෙන්ම දුව. එයාලව අල්ලන්න බය නෑ. දරුවන්ව පින්නවල, දෙහිවල සත්තුවත්ත, හික්කඩුව වගේ තැන්වලට එක්කගෙන ගියා. එයාලා හරිම සතුටින් ඉන්නේ.


කාංචනා කියන්නේ ලංකාවෙ ඉද්දි ෂූටින් නිසාම කාර්යබහුල චරිතයක්. එංගලන්තෙ ගෙවන ජීවිතේ ගැන පවුලෙ අය මොකද කියන්නේ?


බබාලත් එක්ක ආවම එයාලට හරිම සතුටුයි. එයාලා පුදුම වෙනවා මං දැන් මේ කරන වැඩ දිහා බලලා. මට ඉන්නෙ අක්කලම තුන්දෙනෙක්. මං ගෙදර බාලයා නිසා ඉස්සර එයාල මට කිසිම වැඩක් කරන්න දුන්නෙ නෑ. කුස්සිය පළාතට යන්න දුන්නෙ නෑ. තේ එක හදල දෙනවා. අද මං රංගනයට එන්නේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම නිසා මට වෙලාවක් තිබුණෙත් නෑ. එක ප්‍රඩක්ෂන් එකක් ඉවර වෙලා ඇවිත් පැයක්වත් නෑ තව එකකින් එක්ක යන්න එනවා. මං මේ තරම් දේවල් තනියම කරගන්නෙ කොහොමද කියලා එයාලට පුදුමයි. මට චූටි පුතා ලැබුණෙත් එංගලන්තෙදි. ඒවත් කරගෙන ළමයි තුන්දෙනෙක්ගේ වැඩයි, ගෙදර වැඩයි, ඉවුම් පිහුම් වැඩයි මේ ඔක්කොම කරගන්නෙ මං තනියම. හැබැයි එහේ ඕනෙම වැඩක් කරගන්න පහසුයි. ඒ වගේම දක්ෂකමට තැනක් තියෙනවා.


එංගලන්තෙදි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලම නැද්ද?


මොකක් හරි හොඳ වැඩක් ආවොත් සම්බන්ධ වෙනවා. වැඩිපුර මියුසිකල් ෂෝ තමයි. ලංකාවේ අය එන නිසා ගොඩක් කැමැතියි. මං ආසයි ඒ අතීත මතකයන් ආයිම අලුත් වෙනවට.


කාංචනාට ආයෙමත් රංගනයට ආරාධනා ලැබුණා කියලත් ආරංචියි?


ඔව්. මේ වෙද්දිත් මට ටෙලි ෆිල්ම් දෙකකට ආරාධනා ලැබිල තියෙනවා. විසිවෙනිදාට පස්සේ එකක රූගත කිරීම් ආරම්භ වේවි. කොහොමත් දවස් දෙක තුනෙන් කරන්න පුළුවන් ටෙලි ෆිල්ම්, ඩොකියුමන්ට්‍රි වගේ දේකට තමයි සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ටෙලි හෝ මෙගා නාට්‍යකට සම්බන්ධ වෙන්න කාලය මදි. දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. බබාලගෙ වැඩවලට මුල් තැන දෙන්න ඕන. ඔවුන් එක්ක ඉන්න ඕන.


ඒ කියන්නෙ කාංචනා නැවත රංගනයට එන්නේ වසර 11කට පස්සේ. මොකද හිතෙන්නේ?


ඔව්. අවුරුදු 11කට පස්සේ. අන්තිමටම මං සම්බන්ධ වුණේ ගිරිකුල ටෙලි නිර්මාණයට. ඒ 2013 වසරේ. ඒකට ලැබුණු හොඳම නිළිය සම්මානය ගන්නවත් මං ලංකාවේ හිටියේ නෑ. අක්ක තමයි ගත්තේ. රංගනය මගේ ඇඟේම තියෙන දෙයක් නිසා ඉස්සර ඒ තිබුණු සෙන්ස් එක තාමත් තියෙනවා. කැමරාවට මුහුණ දෙන විදිහ, ඩයලොග් ඩිලිවර් කරන විදිහ තාමත් මට මතකයි. ඒක ගැටලුවක් නෑ. ඒත් දැන් සිස්ටම් එක නම් ඉස්සරට වඩා වෙනස් කියලා හිතෙනවා. ඉස්සර අපි නිර්මාණයකට ගොඩක් සූදානම් වෙනවා. ස්ක්‍රිප්ට් හොඳින් අධ්‍යයනය කරනවා. දවසකට සීමිත සීන් ගාණයි කරන්නේ. ඒත් අද සියල්ල අලුත් වෙලා. ඒකට අනුගත වීම තමයි ගැටලුව. මට ආසයි එක නිර්මාණයකට හරි දායක වෙන්න.


නැවත රංගනයට යොමුවීම ගැන සැමියාගෙන් තහනමක් නැද්ද?


නෑ. නෑ. එයා කවදාවත් මට රංගනයෙන් ඉවත් වෙන්න කියල නෑ. හොඳ නිර්මාණයකට දායක වුණා කියලා එයාගෙන් ගැටලුවක් වෙන්නෙ නෑ.


නාමලී ගමගේ



Previous Post Next Post