ෂෙහානි ගහපු පාරවල්වල සැරට ඇඬුණා- මලීෂා බණ්ඩාර




සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ කොල්ලො දැලේ දාගන්න කපටි නයෝමිගේ චරිතය මේ වෙද්දි හුඟක් දෙනෙක් අතර කතාබහට ලක්වෙලා තියනවා. ඉතින් නයෝමිගේ චරිතය රඟපාන මලීෂා බණ්ඩාරගේ විස්තර දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න.




කෝලම් කුට්ටමෙන් පස්සෙ සල්ලි පොකුරුවල නයෝමි වුණා නේද?




ඔව් .කෝලම් කුට්ටමේ මනෝරි ටීචර්ගේ චරිතයෙන් පස්සෙ ආපහු සද්ධාමංගල සහ ශිවගුරුනාදන් සර්ලගේම සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ නයෝමිගේ චරිතය මේ දවස්වල රඟපානවා. නයෝමි කියන්නෙ කොල්ලො රවට්ටගෙන සල්ලි රත්තරං ඇඳුම් පැලඳුම් තෑගි භෝග හූරගෙනකන රණ්ඩුවට එන අයත් එක්ක ගහගන්න කපටි කෙල්ලෙක්ගෙ චරිතයක්.




ගහගන්න ගිහින් ඇත්තටම ගුටි කාලා තියනවද?




සද්ධාමංගල සර් පිටපත ලියන්නෙ ගහගන්න දර්ශන ඇත්තටම මැවෙන විදිහට. ඉතින් අපිත් ඒ දර්ශන තාත්වික විදිහට කරනවා. ඒ විදිහට සැරයක් ශෙහානි කහඳවල අක්කි එක්ක ගහගෙන පාරවල් සැර වැඩිකමට මට ඇඬුණත් එක්ක.




වෙනස් චරිතයක් නිසා මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නෙ?




කපටි රණ්ඩුකාර චරිතයක් නිසා ප්‍රේක්ෂකයන්ගෙන් ගොඩක් බැණුම් අහනවා. හැබැයි නයෝමි කියන්නෙ අද සමාජයේ ජීවත්වෙන චරිතයක්. ඉතින් ඒ වගේ චරිතයක් රඟපාන්න ලැබුණ එක ගැන මම ගොඩක් සතුටු වෙනවා.




සැබෑ ජීවිතයේදි මොනවගේ කෙනෙක්ද?




සැබෑ ජීවිතයේදි නම් කොල්ලො දැලේ දාගන්න නයෝමි වගේ කෙනෙක් නෙමෙයි. මම නිතරම සරල විදිහට හැසිරෙන වැඩිපුර තනියෙන් ඉන්න කැමැති කෙනෙක්.




කපටි නයෝමිගේ චරිතය ලැබෙන්න පෙනුමත් බලපාන්න ඇති...




පෙනුමට වැඩිය මගේ රංගන හැකියාව නිසා වෙන්න ඕන සද්ධාමංගල සර් සහ චේතනී විජේතුංග මිස් නයෝමිගේ චරිතය මට භාරදුන්නෙ. ඇඟේ හැඩයේ තියන සරාගීකම ටැටූස් වගේ දේවලුත් නයෝමිගේ චරිතයට ආභරණයක්.




සරාගී විදිහටද ඇඟ නඩත්තු කරන්නෙ?




මම ඇත්තටම විශේෂයෙන් ඇඟ නඩත්තු කරන්නෙ නැහැ. මට ස්වභාවිකවම ගොඩක් මහත නැති සරාගී හැඩයේ කෙට්ටු ඇඟක් ලැබිලා තියනවා. ඇඟ වෙනුවෙන් ව්‍යායාම කරන්නෙවත් කෑම පාලනය කරන්නෙවත් නැහැ. අනිත් නිළියො ඇ⁣ඟ හැඩකරගන්න විවිධ දේවල් කරනකොට ස්වභාවිකවම සරාගී හැඩයේ ඇඟක් මට තියෙන එක ගැන ආඩම්බරයි.




වැඩිපුර විලාසිතා කරන්න කැමැති මොනවිදිහටද ?




මම අම්පාරෙ කෙල්ලෙක්. ඉතින් ගමේ විදිහට දිගට සංවර ඇඳුම් අඳින්න තමයි මම වැඩිපුර කැමැති. හැබැයි සමහරවෙලාවට කොට උඩුකය විවෘත ඇඳුම් අඳින වෙලාවලුත් තියනවා. විලාසිතා සම්බන්ධයෙන් මට සීමා නැහැ.




නිරුවත ගැන මොකද හිතන්නෙ ?




ගැහැනු නිරුවත කියන්නෙ හරි ආදරණීය සුන්දර දෙයක් කියලයි මම හිතන්නෙ. විවෘත මනසකින් නිරුවත දිහා බලනවා සුන්දර විදිහට විඳින්න පුළුවන්.




සරාගී නිසා වැඩිපුර ප්‍රතිචාර හම්බවෙන්නෙ පිරිමි ළමයින්ගෙන්ද ?




කොල්ලන්ගෙන් ගොඩක් හොඳ ආදරණීය ප්‍රතිචාර හම්බවෙනවා. හැබැයි වැඩිපුර ප්‍රතිචාර මට හම්බවෙන්නෙ කෙල්ලොන්ගෙන්. ඒකට හේතුව වෙලා තියෙන්නෙ මගේ සරාගී ඇඟ සහ ඇඳුම් විලාසිතා. ඉතින් ගොඩක් ගෑනු ළමයි මට සමාජ මාධ්‍ය හරහා ලස්සනයි කියනවා වගේම එයාලත් මම වගේ වෙන්න ආසයි කියලා කියනවා.




මේ වෙද්දි පෙම්වතියක්ද ?




මට කලින් නම් ප්‍රේම සම්බන්ධතා තිබිලා තියනවා. හැබැයි දැන් නම් මම තනිකඩයි.




ප්‍රථම ප්‍රේමය ගැන මොනවගේ අත්දැකීමක්ද තියෙන්නෙ ?




පාසල් යන කාලෙදි තමයි මම මුලින්ම ප්‍රේම සම්බන්ධයක් පටනගත්තෙ. ගෙවල්වල අය වටපිට අය දැනගනියිද කියලා බයෙන් අපි ආදරය කෙරුවෙ. හොරෙන් වැඩි බරක්පතළක් නැතුව කරපු ආදරයක් නිසාද මන්දා ඊට පස්සෙ ඇතිවුණ ආදර සම්බන්ධතාවලට වැඩිය මුල්ම ආදරය හරි සුන්දරයි.



Previous Post Next Post