හැකියාව නිසා මාව කපන්න බැරි වුණා-මෙනුෂි බණ්ඩාර



Miss Glam World 2024 පසුගියදා ඉන්දියාවෙ කේරළ නුවරදි උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ඒ සඳහා යු⁣රෝපා ආසියා සහ අප්‍රිකා කලාපවල රටවල් නියෝජනය කරමින් සුරූපී නිරුපිකාවන් 28 දෙනෙකු තරග වැදුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙනුෂි බණ්ඩාර Miss Glam World 2024 තරගය සඳහා තරග වැදුණ අතර තරගාවලියේදි ඇය ලොව සරාගීම රූ රැජින සහ ලොව රසම ආහාර සෑදීමේ රූ රැජින ලෙස ජයග්‍රහණය කර තිබෙනවා.




මෙනුෂි නිරූපිකාවක් වුණේ කොහොමද?




පුංචි කාලෙ ඉඳලා මට තිබුණ අදහසක් තමයි කවදාහරි වෘත්තීය නිරූපිකාවක් වෙනවා කියලා. ඉතින් නිරූපණය ගැන ඉගෙනගන්න ප්‍රවීණ නිරූපණ උපදේශක බ්‍රයන් ක්‍රකොවෙන් ගාවට ගියා. නිරූපණය ගැන බ්‍රයන්ගෙන් ලැබුණ දැනුමත් එක්ක මම miss grand sri lanka 2018 තරගයට සහභාගිවෙලා අවසාන තරගකාරිනියන් පස්දෙනා අතරට ආවා. එතනින් පස්සෙ වෘත්තීය නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ වැඩ කරන්න පටන් ගත්තා.




මේ ආපු ගමනෙදි බාධක තිබුණද?




නිරූපණය කියන්නෙම එකිනෙකා අතර තියන තරගයක්. ඉතින් එක්කෙනෙක් තව කෙනෙක්ව කපාගෙන ඉදිරියට යන්න උත්සාහ කරන අවස්ථා වැඩියි. මටත් ඒ විදිහෙ කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න වුණා. හැබැයි මම ගොඩනගාගත්ත හැකියාවත් එක්ක ඒ කැපිලි කෙටිලි මගඇරවගෙන සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් වුණා.




Miss Glam World 2024 තරගයට ගියේ කොහොමද?




නිරූපිකාවක් විදිහට කටයුතු කරන අතරවාරයේදි the walk model academy එකෙන් ආරාධනා කළා ඔවුන් විසින් පවත්වන miss sri lanka තරගයේ තරගකාරිනියන් විදිහට අයදුම් කරන්න කියලා. ඉතින් the walk model academy එක පවත්වපු miss sri lanka තරගයට සහභාගි වෙලා එයින් ජයග්‍රහණය කරලා miss sri lanka 2024 විදිහට miss glam world 2024 අන්තර්ජාතික තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකාරිනියක් විදිහට සහභාගි වුණා.




ඉන්දියාවේදි මොන වගේ පිළිගැනීමක්ද ලැබුණෙ?




මම වගේම තරගයට සහභාගි වුණ සියලු දෙනාට හොඳ සුහදශීලී පිළිගැනීමක් ඉන්දියාවෙදි ලැබුණා. ගොඩක් මිත්‍රශීලී මිනිස්සු ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තයේ ඉන්නෙ. ඔවුන්ගේ සංස්කෘතිය ඇඳුම් විලාසිතා ආහාර රටාව හරි ලස්සන එකක්. ඒ ජීවන රටාව දකිනකොට ඉන්දියාවේ නවතින්න තරම් හිතුණා.




Miss Glam World තරගය කොහොමද පැවැත්වු⁣ණේ?




Miss Glam World 2024 අන්තර්ජාතික තරගයේදි ප්‍රංශය, රුසියාව, බ්‍රසීලය වගේ යුරෝපානු රටවල තරගකාරිනියන් එක්කත් ඉන්දියාව, චීනය, පිලිපීනය වගේ ආසියානු රටවල තරගකාරිනියන් එක්කත් දකුණු අප්‍රිකාව සැම්බියාව වගේ අප්‍රිකානු රටවල තරගකාරිනියන් ඇතුළු තරගකාරිනියන් 28 දෙනෙකු සමග මට තරග කරන්න තිබුණා. Miss Glam World තරගයෙදි අපිට මුහුණ දෙන්න තරගවට ගොඩක් තිබුණා. ඒ අතරින් සාමාන්‍ය දැනීම පරික්ෂා කිරීමේ තරගවටය විවිධ හැකියාවන් මැනීමේ තරගවටය ආහාර පිළිබඳ තරගවටය පෞර්ෂත්වය සහ ලස්සන මනින තරගවටය තමයි ප්‍රධාන තරග ඉසව්ව වුණේ. ඉතින් මේ අතරින් සරාගී පෞර්ෂත්වය සහ ලස්සන මැන බැලීමේ තරගවටය ජයග්‍රහණය කරන්න මට පුළුවන් වුණා. ලොව සරාගීම සහ ලස්සනම රූ රැජිනට හිමි ටයිටල් එක සහ සම්මානය මට පළමුවෙන් හිමිවුණා. ඊට පස්සෙ ආහාර පිළිබඳ වටෙයනුත් මම ජයග්‍රහණය කළා.




තරගයෙදි ⁣ඇඳුම් විලාසිතා පාවිච්චි කළේ මොන විදිහටද?




ම⁣ගේ උස අඩි 5 අඟල් 11 ක් වෙනවා. තරගාවලිය තුළ වැඩිම උසක් තිබුණ නිරූපිකාව වුණේ මම. ඉතින් උසට හරියන විදිහට සහ ඇගේ හැඩය පේන විදිහටයි ඇඳුම් නිර්මාණ කෙරුවේ. අවසාන තරග වටයේදි ඇඳුම් තුනක් මට අඳින්න තිබුණා. ඒ අතරින් ජාතිකත්ව ඇඳුම ශ්‍රී ලංකාවේ ඉතිහාසය සංස්කෘතිය පේන විදිහට මම ඇන්දා.




ජයග්‍රහණය සඳහා බලපාපු දේවල් මොනවද?




විශේෂයෙන් මගේ ඇඟේ හැඩය සහ උස තරගයේදි අවධානයට ලක්වුණා. තරගාවලියේ හිටපු නිරූපිකාවන් අතරින් වැඩිම උසක් තිබුණ නිරූපිකාව මමයි. ඒ වගේම ඇගේ පාට සිහින් හැඩය සහ දැනුම අවබෝධය විනය වගේ දේවල් බලපෑවා.




ඇඟේ හැඩය පවත්වාගෙන යන්න මොනවද කරන්නෙ?




ඇඟ සිහින්ව තියාගන්න නිතරම ව්‍යායාම කරනවා. ඒ වගේම ඇඟ වර්ධනය වෙන තෙල් කෑම සහ පිටි කෑම ආහාරයට ගන්නෙ නැහැ. මගේ උස නම් අම්මගෙන් තාත්තගෙන් ආරෙට ආපු එකක්.




ජාත්‍යන්තර රූ රැජින තරගයකට ඉදිරිපත්වෙලා ජයග්‍රහණය කිරීම ගැන අදහස මොකක්ද?




ජාත්‍යන්තර රූ රැජින තරගයකට ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ බබළවමින් ජයග්‍රහණය කරනඑක මගේ තිබුණ හීනයක්. හැකියාව සහ දක්ෂතාවය මත මට ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා. හැබැයි ඒ හීනය ලේසියෙන් සැබෑ වුණ එකක් නෙමෙයි. සෑහෙන්න කැපවෙලා ඒ වෙනුවෙන් ඇඟ හැදුවා. ඒ වගේම අනිත් රටවල නිරූපිකාවන් එක්ක තරග කරන්න පුළුවන් විදිහට දැනුම, පෞර්ෂත්වය, නර්තන සහ රංගන හැකියාව ගොඩනගා ගත්තා. ඉතින් ඒ කරපු කැපවීම්වලට මහන්සියට මේ විදිහට ජාත්‍යන්තරයෙන් පැසසුම් ලැබීම ගැන කියලා නිම කරන්න බැරි සතුටුක් මට තියෙන්නෙ. 



Previous Post Next Post