නීටා අම්බානි සුරලොව සැප මෙලොවදීම විඳින හැටි




ඉන්දීය ජනතාව තවමත් සිහිපත් කරන්නේ අම්බානිලාගේ විවාහ උත්සවයේ අසිරිය ගැනය. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජකීය විවාහයක් බව කවුරුත් කියති. මේ විවාහයේ ලොකුම කොටස්කාරිනිය අන් කිසිවකු හෝ නොව මනාලයාගේ මව නීටා ය. 59 හැවිරිදි නීටා අම්බානි සිය පවුලේ බඩපිස්සා අනන්ට්ගේ විවාහයේ සියලුම වැඩකටයුතු අධීක්ෂණය හා මෙහෙයුම සිදු කරනු ලැබූ අතර, සැමියා මුකේෂ් අම්බානි කළේ බරපැන දැරීම පමණි. අනන්ට්ගේ පමණක් නොව සෙසු වැඩිමල් දරුවන්ගේ විවාහ උත්සවවලත් වැඩිම වගකීම කන්දරාවක් දැරුවේ ඇයයි. එවැනි විවාහ උත්සව ලොව පැවැත්වෙන්නේ ඉඳහිටය. කොහොමත් අම්බානි පවුලේ සෑම විවාහයක්ම සුරංගනා කතාවකට සමානය. කතාවක් නොව කතාවස්තුවකි. එහි ආරම්භය මුකේෂ් සහ නීටාගේ 1985දී සිදු වූ විවාහය වන අතර, එවකට එය ඉන්දියාවේ ලොකුම විවාහ උත්සවය වූවා පමණක් නොව අම්බානි පරම්පරාවේ අසිරිය ලොවට කියා පෑ පළමු අවස්ථාව ද විය.


නීටා අම්බානි යනු ආසියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ ජීවිතයේ ලොකුම පංගුකාරිනියයි. මුම්බායි නුවර පිහිටි අම්බානිලාගේ පවුලේ නිවෙස ‘අන්ටිලියා විලා‘ ඔහු ඉදි කළේ ඇය වෙනුවෙනි. වසර 2006දී ඉදිකිරීම් ආරම්භ කළ මහල් 27කින් සමන්විත මේ සුපිරි මන්දිරයේ වැඩ අවසන් කළේ 2010 වසරේදීය. එය ඉදිකිරීමට මුකේෂ්ට වැය වූ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි ය. එහි වාහන 168ක් ගාල් කළ හැකි අතිවිශාල රථගාලකි. එහි ගාල් කර ඇත්තේ අම්බානි පවුලේ සුපිරි මෝටර් රථ පෙළ ය. ඒ අතර වරින් වර මුකේෂ් සිය ආදරය අලුත් කිරීමට බිරියට තෑගි කළ ඉන්දීය රුපියල් කෝටි සිය ගණනාවක මිලැති මෝටර් රථ තොගයකි. පසුගිය දීපාවලි උත්සවය වෙනුවෙන් ඔහු ඇයට තෑගි කළ නවින පන්නයේ රොල්ස් රොයිස් රථය ද එහි ඇත. මීට අමතරව රුපියල් කෝටි 90ක අවුඩි රථයකට ද ඇය හිමිකම් කියන අතර, එම මාදිලියේ අවුඩි මෝටර් රථ ලොව ඇත්තේ 11ක් පමණි.


මුකේෂ්ගේ ආදරය වෙනුවෙන් බිරියට තෑගි කළ අන්ටිලියා මන්දිරය එහෙම පිටින්ම පාරාදීසයකි. ආසන 50කින් සමන්විත සිනමා ශාලාවක්, සක්මන් මළුවක් සහිත අලංකාර උද්‍යානයක්, පිහිනුම් තටාකයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, හින්දු දේවස්ථානයක් ඇතුළු එකී නොකී සියලුම පහසුකම්වලින් සමන්විත මේ අපූරු මන්දිරය සුප්‍රකට ‘ෆෝබ්ස්‘ සඟරාවට අනුව ලොව වඩාත්ම මිල අධික දේපළකි. එය දෙවැනි වන්නේ ලන්ඩන් නුවර බකිංහැම් මාළිගාවට පමණි.


එහි ඇති ගෘහභාණ්ඩ ඇතුළු සෙසු සියලු උපකරණ විදෙස් රටවලින් ආනයනය කරනු ලැබුවේ තනිකරම ඇගේ කැමැත්තටය. ඒ සඳහා ඇය ලොව වටා සංචාරය කළාය. අන්ටිලියා මන්දිරයේ වැඩකටයුතු අවසන් කළ 2010 වසරේදී එහි පිඟන් කෝප්ප ඇතුළු උපකරණ ඇය විසින් ගෙන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවෙනි. ඒ සඳහා නීටා අම්බානි පෞද්ගලික ජෙට් යානයකින් මෙරට සංචාරය කළ බවත්, පිඟන් කෝප්ප කට්ටල විසිපන්දහසක් ඇය මෙරටින් රැගෙන ගිය බවත් එවකට ප්‍රසිද්ධ කාරණාවක් වී තිබිණි. සිය නිවහනේ මුළූතැන්ගෙයි උපකරණ සහ අමුත්තන්ට දීපවාලි ත්‍යාග සඳහා ඇගේ තේරීම වූයේ ජපානයේ සියවසකට වඩා පැරැණි නොරිටාකේ සන්නාමයෙන් යුතු පිඟන් කෝප්ප ය. ලොව පුරා සුපිරි හෝටවල්වල, ගුවන්යානාවල සහ පෞද්ගලික මන්දිරවල ජනප්‍රියතම පිඟන් බඩු සන්නාමය ද නොරිටාකේ ය. කැරට් 22 රන් හා ප්ලැටිනම් මිශ්‍රිත නොරිටාකේ සන්නාමයේ පෝසිලේන් පිඟන් භාණ්ඩ ඉන්දියාවේ ඇති තරම් අලෙවියට තිබුණ ද, ශ්‍රී ලංකාවෙන් ඒවා පහසු හා සාධාරණ මිලට ලබා ගත හැකි බව නීටාගේ අදහස වූ බව එවකට වාර්තා වී තිබිණි. මේ සඳහා නීටා ඩොලර් මිලියනයකට වඩා වැය කරන්නට ඇතැයි ද එවකට ඉන්දීය මාධ්‍ය අනුමාන කර තිබිණි.


මුකේෂ්ගේ හද දෙවොලේ ඔටුනු පලන් රැජන නීටා වෙනුවෙන් ඔහු විසින් තෑගි කරනු ලැබුවේ අන්ටිලියා මන්දිරය පමණක් නොවීය. සෑම වසරකදීම ඇගේ උපන්දිනය වෙනුවෙන් මුකේෂ් ඇයට තෑගි කරන්නේ කිසිවකුට සිතා ගැනීමටවත් බැරි දේවල්ය. වරක් ඇගේ 44 වැනි උපන්දිනය වෙනුවෙන් ඔහු තෑගි කළේ අමෙරිකානු ඩොලර් මිලියන 60ක් වටිනා ගුවන් යානයකි. මගීන් 180 දෙනකුට ගමන් කළ හැකි මේ සුපිරි ගුවන් යානයේ නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, චන්ද්‍රිකා තාක්ෂණයෙන් ක්‍රියාකරන රූපවාහිනි පද්ධතියක් පමණක් නොව ඇයට සිය රාජකාරි කටයුතු සඳහා කාර්යාලයක් ද එහි ඇත.


ඇගේ රන් ආභරණ ගැන කියන්නේ නම් එහි වටිනාකම ද ඉලක්කම් දහය ඉක්මවූ ඒවා බව නොකියාම බැරිය. පසුගිය මාර්තුවේ පැවැති අනන්ට්ගේ පෙර මඟුලට නීටා ගෙල පැලඳුවේ ඉන්දීය රුපියල් කෝටි පන්සියයක් වටිනා මරකත මැණික් සහ දියමන්තිවලින් තැනූ මාලයකි. රූබි හා කිරිංච මැණික් වර්ග සමඟ දියමන්තිවලින් තැනූ ඉන්දීය රුපියල් කෝටි 200ක් වටින අත් පලඳනාවකි. දියමන්ති මුදුව කෝටි 53කි.


දශක හතරකට ආසන්න විවාහ ජීවිතයේදී මුකේෂ් අම්බානි සිය බිරිය වෙනුවෙන් තෑගි කළ දේවල් අපමණ ය. ඉන් කියැවෙන්නේ ධනවත්කම අතින් ඉහළම තැනක සිටියත් මුකේෂ් අම්බානිගේ ජීවිතයේ ධනය පමණක් නොව සෙසු සියල්ලම නීටාගේ ආදරයට හා කරුණාවට දෙවැනි බව ය. එසේ වූයේ මිනිසකුගේ ලොකුම වත්පොහොසත්කම නිරෝගීබව සහ හොඳ බිරියක ලැබීම මිස ධනය නොවන බව මුකේෂ් අම්බානි හොඳින්ම දැන සිටින බැවිනි.


ෆවුස් මොහොමඩ්




Previous Post Next Post