මට හොඳ පවුල් ජීවිතයක් තියෙනවා ඒ නිසා මා වටා ඉන්න හැමෝටම එක හා සමානව ආදරෙයි -චමත්කා ලක්මිණි




චමත්කා ලක්මිණි කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්‍රයට ඇවිත් පළවෙනි සිනමා නිර්මාණයෙන්ම බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගන්නට සමත් වුණු සුරූපී ඕනෙම අභියෝගයක් භාරගන්න කැමති දක්ෂ සම්මානිත නිළියක්. ඒ වගේම මේ දිනවල අජිත් ධර්මසූරියගේ වර්ණ චිත්‍රපටය තුළින් රිදී තිරයෙන්ද චමත්කාව දැක ගන්න පුළුවන්. ඒ ගැන වගේම කලාවේ සහ පෞද්ගලික ජිවිතේ ගැන චමත්කා සමඟ කළ සොඳුරු කතාබහයි මේ….


චමත්කා ආයෙමත් කාර්යබහුල කාලයක් උදා වෙලා වගේ?


ඇත්තටම ඔව්’ මේක මට බොහෝම කාර්යබහුල කාලයක්. අම්මා කෙනෙක් වගේම රංගන ශිල්පිනියක් කියන්නේ කාර්යබහුල චරිතයක්. මේ දිනවල ශාරීරිකව ගතට සිතට දෙකටම ටිකක් වෙහසකර කාලයක්. හැබැයි ඉතින් කොහොම හරි තියෙන වැඩ ටික සමබරව කරගෙන යනවා.


අලුත් නිර්මාණ කටයුතු මොනවද?


සිනමාවෙන් නම් ෂර්ලි සමරසිංහ අයියාගේ අලුත්ම චිත්‍රපටය වන සිලිලාරේහි වැඩ පටන් ගන්න සුදානමින් ඉන්නේ. ඔය අතරේ මියුසික් වීඩියෝ වැඩ සහ කෙටි චිත්‍රපටවල වැඩ කරගෙන යනවා.


පුංචි තිරයේ නිර්මාණ වැඩිය භාර ගන්නේ නැත්තේ ඇයි?


ප්‍රධානම හේතුව තමයි මම කැමති සිනමාවට. ඒ තුළ මට මගේ අතපය විසුරුවලා වැඩ කරන්න පුළුවන්. පුංචි තිරය තුළ එහෙම කරන්න බැරි බාධා තියෙනවා. මගේ රංගන ජීවිතේට එක එක වාරණ වැටෙනවා. එහෙම නැතුව පුංචි තිරයේ නිර්මාණ මම නොකරනවා නෙවෙයි. පුංචි තිරයේ නිර්මාණත් කරනවා. මගෙ යටි හිත කිතිකැවෙනවා සිනමාව කිව්වම. හැබැයි මට අත පය විහිදලා වැඩ කරන්න පුළුවන් වැඩක් නම් ඒක මම පුංචි තිරය ද සිනමාවද කියලා බලන්නේ නැහැ මම කරනවා.‍


චමත්කා කියන්නේ චමත්කාටම අභියෝගයක් දෙන කෙනෙක් ද?


එහෙම නැහැ. මම කැමති බොහොම සරලව වැඩ කරන්න. මේ වෙනකම් මම කරලා තියෙන්නේ බොහොම සරල චරිත. හැබැයි ඒක ඇතුළේ කරන්න තියෙන පරාස වැඩියි. ඒ පරාසය භාරගෙන වැඩ කරන්න අපේ රටේ ඒ කාලේ නිළියෝ කැමති වුණේ නැහැ. මම හුස්ම කරන කාලේ ඒ චරිතය කොහොමද කළේ කියන එක සෑහෙන කතාබහට ලක් වුණා. හැබැයි දැන් ඒ නළු නිළියෝම කොච්චර විවෘත මනසකින් වැඩ කරනවද කියන එක පේනවා. ඒක එහෙම තමයි වෙන්න ඕනේ. ඒකට කවුරු හරි මුල් පියවර තියන්න ඕනේ. මම ඒ කාලේ ඒ පියවර තිබ්බා. කාලයත් එක්ක අපි අප්ඩේට් වෙන්න ඕනේ.


ලැබෙන නිර්මාණ ගැන තෘප්තිමත් ද?


ඔව්. මම ලැබෙන නිර්මාණ ගැන තෘප්තිමත්. ඒ නිර්මාණ තුළ මට ලැබෙන චරිතය ගැන තෘප්තිමත් ද කියන එක ගැන ප්‍රශ්න නැතුවම නෙවෙයි. නමුත් මෙතුවක් මම කරපු නිර්මාණ ගැන තෘප්තිමත්. ඒ හැම දෙයක්ම මට මගේ දරුවෝ. මගේ ජිවිතේ දරුවන්ගේ කෑල්ලේ තියෙන කොටසක් තමයි නිර්මාණ කියන්නේ.


චමත්කාට අදහසක් තියෙනවා ද කලාවට රංගනයෙන් එහාට ගිය දෙයක් කරන්න?


ඔව්. මම මේ රූපය තියෙනතුරු මැරෙන කම් වුණත් රංගන ශිල්පිනියක් විදියට ඉන්න කැමතියි. ඒ අතරතුර සිනමාව වෙනුවෙන් මොනවම හරි දෙයක් මැරෙන්න කලින් කරයි.


රංගන ජිවිතේ තුළ ආව ගමන් මඟත් එක්ක අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි. ජිවිතේ බොහොම කෙටි කාලයක් තුළ, ඒ කියන්නේ අවුරුදු 10කටත් වඩා අඩු කාලයකින් මම මගේ රංගන ජීවිතය ස්ටේබල් කර ගන්න පුළුවන් මට්ටමට එන්න හැකි වුණා. මම විශ්වාස කරනවා මම කලාවට ගරු කරන ආදරය කරන කෙනෙක්. ඒ වගේම මම මගේ උපරිමය කලාවට දෙන කෙනෙක්. ඒ හින්දා වෙන්න ඇති මට මේ දේවල් ලැබෙන්නේ. මේ ආව ගමන් කාලය තුළ මගේ ළඟින් හිටිය බොහෝ දෙනෙක් මාව දරාගෙන හිටියා. ඒ අය හින්දා මම මේ ගමන ආවා. බොහොම ඉක්මනින් හරි විදියට සාර්ථක වෙන්න මේ ගමන ඇතුළේු සම්මානයක් ගන්න ඇගයීමක් ලැබෙන්න ප්‍රවීණ අය එක්ක මගේ නමත් නිර්දේශ වෙන්න ලැබෙන එකත් එක්ක මම හිතන්නේ මගේ ජිවිතේ හොඳම කාලය තමයි මේ කාලය.


චමත්කා කියලා තිබුණා, බැඳීම් කියන දේවල් ගැන එච්චර හිතන්නේ නැහැ කියලා. ඇත්තටම බැඳීම් නැතුව ජිවත් වෙන්න පුළුවන් ද?


පුළුවන්. බැඳීමක් කියන්නේ අපේ හිතට බරක් කියන එක මම දන්නවා. කොහොමත් මම මේ රූපය තියෙන කල් මැරෙන කම් වුණත් රංගන ශිල්පිනියක් විදියට ඉන්න කැමතියි. මම කියන්නේ මගේ වටේ පිරිස ඉන්නේ සීයක් නම් ඒ සීයය එක්කම මම ඉන්නේ එක හා සමානව ආදරය සහ ගරු කරමින්. එතැනින් එහා මෙයා මට විශේෂයි අර බැඳීම මෙහෙමයි කියලා වෙන් කරලා ගන්න මම කැමති නැහැ. මට හොඳ පවුල් ජිවිතයක් තියෙනවා. ඒ නිසා මා වටා ඉන්න හැමෝටම එක හා සමානව ආදරෙයි.


ආදරේ විවාහය ජිවිතේ කියන කරුණු කාරණා චමත්කා දකින්නේ කොහොමද?


මම ගොඩක් වෙලාවට මට මුල් තැන දෙන කෙනෙක්. මගේ ජිවිතේ ඇතුළේ මගේ දරුවා ආව නිසා දැන් මම මගේ දරුවට කාලය දෙනවා. එයාගේ වැඩ කටයුතු තමයි මුලින්ම මම කරන්නේ. ඊට පස්සේ මම මගේ වැඩ කටයුතු කරනවා. මගේ මහත්තයා ගොඩක් වෙලාවට ලංකාවේ නැහැ. ඒ හින්දා මම දවසේ හැමදේම හරි විදියට කරලා ඉවර කරන්න උත්සහ කරන ගැහැනියක්. හේතුව මම කැමති නැහැ පහුවදාට වැඩ කල් දාන්න.


චමත්කා නම් ආදරේ විවාහය කියන තැනදී හරිම කෙනා තෝරා ගත්තා කියලා හිතෙනවා නේද? කොහොමද ඔහුගෙන් ඔබට ලැබෙන සහයෝගය ?


මම සාමාන්‍යයෙන් තනියම ජිවත් වෙන්න කැමති කෙනෙක්. මගේ මහත්තයාගේ රස්සාව එක්ක අපි දෙන්නගේ බැඳීම හැම තිස්සෙම අලුත් වෙනවා. නිව් මැරිඩ් කපල් එකක් විදියට තමයි අපි දෙන්නව දකින්න වෙන්නේ. හේතුව අපි දෙන්නා ටික කාලයයි ළඟ ඉන්නේ. ඒ කාලයට අපි දෙන්නා හරි ආදරෙන් ඉන්නවා. මගේ ගමනට හයියක් වෙන හොඳ ස්ථාපිත ආදරයක් මට ඔහුගෙන් ලැබෙනවා.


චමත්කා කියන්නේ ලිවින් ටු ගෙදර් ජිවිතයක් ගත කරලා විවාහ ජීවිතයට පිවිසි කෙනෙක්. ලිවින් ටු ගෙදර් ගැන මොකද හිතෙන්නේ?


ලිවින් ටු ගෙදර් කියන එක තුළත් මම දකිනවා කොටඨාස දෙකක්. එකක් තමයි ලිවින් ටු ගෙදර් ඉඳලා තමාගේ ජීවිතේට ගැළපෙන පාට්නර් කෙනෙක් හොයනවා. තව සමහරු සෙක්ස් ලයිෆ් එකට හොයනවා. ඔය දෙක පටලවා ගන්න හොඳ නැහැ. ගැහැනු ළමයි විශේෂයෙන් දැන ගන්න ඕනේ අපි ලිවින් ටු ගෙදර් ඉන්නවා නම් ඒ කෙනාව තෝරා ගන්න ඕනේ කොහොමද කියන එක. මම කිසිම දවසක ලිවින් ටු ගෙදර් කන්සෙප්ට් එක වැරද්දක් විදියට දකින්නේ නැහැ. මම ෆැමිලි ලයිෆ් එකට එන්න කලින් ලිවින් ටු ගෙදර් ඉඳලා ආව කෙනෙක්. එහෙම කියලා අපේ ජිවිතවලත් අමාරුකම් වැටෙන තැන් නැතුව නෙවෙයි. හැබැයි අපි දෙන්නට දෙන්නා හඳුනා ගන්න අපිට කාලයක් තිබ්බා. ඒ කාලය තුළ අපි හඳුනා ගත්තා. මම ලිවින් ටු ගෙදර් හිටියේ මැරේජ් එකකට යන්න.


චමත්කා විවෘතව කතා කරන කෙනෙක්නෙ, හැබැයි එහෙම කතා කරපු දේවල් නිසා අපහසුතාවට පත් වුණු අවස්ථා තියෙනවද?


මම කියන හැමදේම හැම මනුස්සයටම හරි නැහැ කියන එක මම තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා මම කතා කරන දේවල්වලට එන ඕනෙම අදහසක් භාර ගන්න ලෑස්තියි. ඒ දේවල් විවේචනය කරන්න මම කිසිම වෙලාවක ගිහින් නැහැ. ඒ නිසා වෙන්න ඇති අදටත් මම විවෘතව ඕනෙම තැනක කතා කරන්නේ. මම බොහෝ වෙලාවට කතා කරන්නේ මානුෂිය දේවල්. ඒ එක්කම මම කැමතියි ජිවිතේ දිහා ධනාත්මකව දකින්න. ඒ නිසා මම හිතනවා ඒ වයිබ් එක මගේ කතාවන් තුළින් එළියට එනවා කියන එක.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?


මම හරි වාසනාවන්තයි. මම දන්නවා මම කරන චරිත අනුව මට තෝරා බේරා ගත් පිරිසක් ඉන්නේ කියලා. හැබැයි මම කවුද කියලා දැන ගත්තම හැමෝම මා එක්ක රැඳෙනවා. මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා මෙහෙම ආදරයක් මේ තරම් පොඩි කාලයක් තුළ මට ලබා දුන්නාට.


 අනුෂා රණසිංහ



Previous Post Next Post