මුලදී මම හැලයා කියල දාන්න කැමති වුණෙත් නැහැ -පියත් රාජපක්ෂ



මේ දිනවල අතිශය ජනප්‍රිය ගීතයක්. මේ ගීතය රචනා කරමින් සංගීතවත් කරමින් ගායනා කරන්නේ පියත් රාජපක්ෂ. පියත් මින් පෙර ගැයූ ගීතත් එකිනෙකට වෙනස් වූ නවමු ආරක් ගත් ගීත වීමත් විශේෂත්වයක්. ආදරේට හැලයා කිව්වට ගීතයකින් ඒ වචනය අහන්න ලැබෙන්නේ පළමු වතාවට. ඒ ගැන වගේම පියත්ගේ ඉදිරි නිර්මාණ ගැන රසඳුන සමඟ කතා බහ කළා.


ගීතයට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහර වෙලාවට අපි කරන සින්දුවලට යූටියුබ් එකේ හොඳ විව්ස් යනවා, ටික් ටොක් කරනවා. ඒ දේවල් වලින්නේ සින්දුවක හිට් එකක් මනින්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් එළියට බැස්සම ඒ සින්දුව ගැන කතා වෙනවා. හැමෝම හොඳ කියනවා. කොන්සර්ට් එකකට ගියාම අපි ඒ සින්දුව ගයද්දී හැමෝගෙම කටින් ඒ සින්දුව මිමිනෙනවා. එතකොට දැනෙනවා සින්දුව ජනතාව අතරට ගිහින් තියෙනවා කියලා සහ ඒ අය ඉතාම ආදරෙන් මේ නිර්මාණය භාරගෙන තියෙනවා කියලා. ඉතින් එහි සතුට මේ දවස්වල භුක්ති විඳිමින් තමයි ඉන්නේ.


“සීදේවී මම නුඹේ හැලයා” කොහොමද නිර්මාණය වෙන්නේ?


නිර්මාණය වෙන්නේ මෙහෙමයි. මුලදී නම් මේකේ හැලයෙක් හිටියේ නැහැ. ඉස්සෙල්ලාම හිටියේ සීදේවි විතරයි. සින්දුවේ තියෙන කතාව තමයි ගමේ ඉන්න කොල්ලෙක් කොළඹට ඇවිත් කොළඹ වැඩ කරලා සල්ලි හම්බ කරලා හොඳ ජිවිතයක් ගත කරනවා. ඒ හැමදේම කරන්නේ ගමේ ඉන්න ගැහැනු ළමයා වෙනුවෙන්. හැබැයි මෙයා කොළඹ ආවට පස්සේ කොලිටි ඔෆ් ලයිෆ් කියන දේ වැඩි දියුණු වුණාට පස්සේ කොළඹ කෙල්ලෝ මෙයාට ආකර්ෂණය වෙනවා. නමුත් මෙයාගේ හිතේ හැම වෙලේම තියෙන්නේ මගේ ගමේ කෙල්ල තමයි මට ඕනේ. මම හොයන විදියේ අය නෙවෙයි කොළඹ ඉන්නේ කියලා. ඉස්සෙල්ලාම මගේ අතින් ලියවුණේ සීදේවි මම එන්නම් දුවලා කියලා. ඉක්මනටම ගමේ එන්නම් කියන අදහසින්. ආයෙම මම ගිටාර් එක වාදනය කර කර ඉන්නකොට මට ඉබේටම මිමිනෙනවා සීදේවි මම නුඹේ හැලයා කියලා. මුලදී මම මේ හැලයා කියන එක දාන්න කැමති වුණෙත් නැහැ. මොකද සින්දුවක එහෙම හැලයා කියලා ඇහෙන්නේම නැහැනේ. සින්දුව රිලීස් කරන්න කලින් දවසෙත් මම කල්පනා කළා මම මේ කර ගත්තේ හරි වැඩක් ද කියලා. ඒත් මම රිලීස් කළා. නොහිතපු විදියට සෑහෙන්න මිනිස්සු ආදරෙන් වැලඳ ගත්තා. මම දැනන් හිටියෙත් නැහැ සමහර කපල් කියනවලු ආදරේ කරද්දී හැලයෝ කියලා. සීදේවි හැලයා වගේ ඉන්න ඕනේ කියන එකක් අපේ සමාජයේ තිබුණානේ. මොනවා වුණත් දෙන්නා එකට ඉන්නවනේ. ඔහොම තමයි “සීදේවී මම නුබේ හැලයා” හැදුණේ.


වචන වගේම තමයි සින්දුව එක්කම එළියට ආව නැටුම, ඒ ගැනත් කතා නොකරම බැහැ නේද?


ඔෂාන් ලියනගේ තමයි මේ ඩාන්සින් ස්ටෙප් එක හැදුවේ. මුලින්ම මම ඒකටත් කැමති වුණේ නැහැ. මම මගේ ඩිරෙක්ටර් එක්කත් කිව්වා මම මේකට එච්චර කැමතිත් නැහැ. මොකද සරල වැඩියි වගේ කියලා. හැලයාගේ කට පෙන්වන ස්ටෙප් එක එහෙම ටිකක් කැතයි වගේ කියලත් හිතෙනවා කියලා. දැන් මේක රිලීස් වෙලා සති දෙක තුනක් වුණත්, මම ප්ලේ කරන කොන්සර්ට්වලදී පොඩි දරුවන්ගේ ඉඳන් සියලුම දෙනා සින්දුව කියනවා විතරක් නෙවෙයි මේ ඩාන්ස් එකක් දානවා.


කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් “සීදේවී මම නුබේ හැලයා” ට ටික් ටොක් එකක් කරලා තිබ්බා නේද?


ඔව්… ඔව්. ඒ අයත් ලස්සන උත්සහයක් අරන් තිබ්බා. ඒ වගේ අය වැඩිය මේ වගේ සින්දුවලට ටික් ටොක් කරනවා දැකලත් නැහැනේ. ඒ නිසා ඒ වගේ තැනකටත් සින්දුව ගිය එක ගැන සතුටුයි.


මේ දිනවල මොනවද අලුත් වැඩ කටයුතු


තව අලුත් සින්දුවක් කරන්න අවශ්‍ය වැඩ කටයුතු සැලසුම් කරගෙන යනවා. ඊට අමතරව කොන්සර්ට් සහ මගේ බෑන්ඩ් එක V plus එකේ ඉවෙන්ට් ටිකක් තියෙනවා ප්ලේ කරන්න. ඊළඟට එන්නේ මම මෙතෙක් කරපු ගීතවලට වඩා වෙනස් ආරක ගීතයක්. එහිත් තනුව සහ පද රචනය මගේම තමයි.


ඔයාගේ සින්දු ඔයාම ලියලා ඔයාම මෙලඩි එකක් දාලා ගායනා කරනවා, වෙන කෙනෙක්ට අවස්ථාවක් නැද්ද?


ඕකේ වෙන සිද්ධිය තමයි මම සින්දු ලියන්න ලොකු කැමැත්තක් තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් සමහර සින්දු තියෙනවා තනුව හදාගෙන එද්දී නිරායාසයෙන්ම මෙන්න මේ වචන ටික දාන්න කියලා උඩ ඉඳන් කෙනෙක් දෙනවා වගේ වෙනවා. බඳිමු සුදා, සීදේවි එහෙම හැදුණු ගීත. මම ලියන වචන මම ලියන්නේ ගායනා කරද්දී මගේ මෙලඩි එකට ගැලපෙන විදියට. උදාහරණයක් විදියට තවත් ගෑනු එපෝ…මට ඉන්නවා බිසෝ… කියන තැන හිතන්නකෝ. සමාන්‍යයෙන් අපි කියන්නේ එපා කියලානේ, එපෝ කියන්නේ නැහැනේ. නමුත් මම එහෙම වචන යොදා ගන්නවා. එහෙම නැතුව තියෙන සිංහල වචනය එහෙම්ම තියන්න හදන්නේ නැහැ. මට හිතෙනවා ඒකත් වෙන්න ඇති මම ම ලියාගෙන සින්දු කරන්නේ. මගේ කලින් ගීත තියෙනවා වෙන අය ලියපු. එහෙම නැතුව මම ම මගේ සින්දු ලියනවා කියන තැන නැහැ. මට දැනෙන හොඳ පද රචනයක් ලැබුණොත් මම සින්දුවකට ඒක එකතු කර ගන්නවා.


පියත්ගේම කොන්සර්ට් එකක් අපිට බලන්න ලැබෙයි ද?


අනිවාර්යෙන්ම. මේ දවස්වල ගොඩක් අය මගෙන් එහෙම දෙයක් ඉල්ලනවා. මගේ ඔළුවෙත් එහෙම අදහසක් තියෙනවා. මම හිතුවේ දැන් මට සින්දු 10ක් 12ක් තියෙනවා. නමුත් මම හිතුවේ තව ගීත කිහිපයක්ම මේ ගොන්නට එකතු කරගෙනම කොන්සර්ට් එකක් කරන්න. අපි බලමු… ඊළඟ අවුරුද්දේ ඒ වගේ වැඩක් කරන්න.


බඳිමු සුදාත් කිව්වා, “සීදේවී මම නුබේ හැලයා” ත් කිව්වා කවද්ද සඳනි එක්ක පවුල් වෙන්න හිතන් ඉන්නේ?


බඳින්නත් ඕනේ. ඒත් අපි දෙන්නම අපේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. මට සහ සඳනිට මේ අවුරුද්ද ඉතාම හොඳ අවුරුද්දක්. වෙඩින් එක වුණත් ගන්නවා නම් හරියටම ඒ දේවල් කරන්න ඕනේ. ඒ දේවල් ගැන ලොකුවට හිතන්නවත් කාලයක් ලැබුණේ නෑ අපි දෙන්නට ආව වැඩ කටයුතු එක්ක. දැනට අපි දෙන්නා හිතාගෙන ඉන්නේ මේ වෙලාවේ අපි දෙන්නටම තියෙන වැඩවලට මුල් තැන දීලා ලබන අවුරුද්දේම ඒ ගැන හිතන්න.


දැන් ඔය ආදර කතාවට අවුරුදු කීයක් ද?


අවුරුදු 7ක්…


පියත් ට ලැබෙන රසික ආදරේ දැනෙන්නේ කොහොමද?


සෑහෙන්න සතුටුයි. මම ගයපු ගීත මිනිසුන්ගේ හදවතට දැනුණු නිසාම වෙන්න ඇති දෝ කියලා මට හිතෙනවා ලොකු ප්‍රේක්ෂකයින් පිරිසක් මා වටා එකතු වෙලා ඉන්නේ කියලා. පාරේ යද්දී ලැබෙන ආදරෙන් තේරෙනවා මම කරපු මේ සින්දු ඒ අයට කොච්චර සමීප ද කියලා. දවසක් ඒවි ගීතය අයි ටියුන්ස්වල හොඳම ගීත 20 අතරත් තියෙනවා. ඒ සින්දුව නිතර දෙවේලේ අපේ ගෙවල්වල පිරිත් වගේ ප්ලේ වෙන්නේ කියලා. ඒ විදියට මිනිසුන්ගේ හදවතට කතා කරලා තියෙන නිසා ඒ අයව සජීවීව හමුවුණාම දැනෙන ආදරේ වැඩියි. මම ගීතයක් හදද්දි ඒ දේ කරන්නේ හදවතින්ම කැපවෙලා ළමයෙක් හදනවා වගේ. ඒ ආදරේ දාලා අපි ගීත කරලා දෙනකොට මිනිසුන් ඒක රසවිඳලා ඔවුන්ගේ ආදරේ අපට දෙනකොට සෑහෙන්න සතුටුයි.


ඔබේ තාත්තා තමයි මුලින්ම කලාවට එන්නේ, ලලිත් රාජපක්ෂ කියන්නේ වේදිකාවෙන් බිහිවුණු හොඳ නළුවෙක්, පියත්ට අදහසක් නැද්ද රඟපාන්න?


රංගනයට ආසයි. හැබැයි දෙබස් තියෙනවා නම් බැහැ. දෙබස් නැතුව ඉංගිත වලින් රඟපාන්න නම් මම ආසයි. මගේ මියුසික් වීඩියෝවල මම ම තමයි ඉන්නේ. ඒවායේ දෙබස් නැහැනේ. ඒ වෙලාවට මටම හිතිලා තියෙනවා මේකෙත් වෙනම ලල් එකක් තියෙනවානේ කියලා. ආයෙම මට හිතෙනවා දෙබස් එහෙම කියන්න ගියොත් මම වැඩේ නා ගනී කියලා. ඒ නිසා ගොළු චරිතයකට කවුරු හරි එන්න කිව්වොත් භාර ගන්නවා. මගේ තාත්තා රංගනයට දක්ෂයි. එයාගෙන් මට ආව දෙයක් අනිවාර්යෙන්ම ඇති. මම පාසලේදී රංගනයෙන් පොඩි පොඩි දේවල් කරලා තියෙනවා. හැබැයි රංගනය පැත්තෙන් ලොකු ගමනක් යන්න අදහසක් නැහැ. මොකද මම දෙයක් කරනවා නම් ඒ ගැන හැදෑරීමක් ඇතුව කරන්න කැමති කෙනෙක්. ඒ නිසා සංගීතය පැත්තෙන් තමයි මගේ ගමන යන්නේ.


අනුෂා රණසිංහ



Previous Post Next Post