මේ වෙලාවෙ ගෑනු ළමයෙක් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න අමාරුයි -උදාර රාජපක්ෂ




රිදී තිරයට ප්‍රවිෂ්ට වීමට අවස්ථාවක් ලැබීමම අපූරු සිදුවීමකි. එකී අපූර්වත්වය දෙගුණ තෙගුණ වන්නේ ප්‍රථම සිනමා අත්දැකීම ප්‍රධාන චරිතය හිමිවීම තුළයි. ඒ සොඳුරු වාසනාවන්තයා ගැන පසුගිය දින කිහිපයෙහි කතාබහට ලක්වුණේ ඔහුගේ ප්‍රථම චිත්‍රපටිය තිරගත වීමත් සමඟයි. නමින් ඔහු උදාර චින්තක රාජපක්ෂයි.


ඔබගේ පළමු චිත්‍රපටය සූර්යා වීරයා මේ ළඟදී තිරගත වුණා. එයින් ලැබෙන ප්‍රතිචාර මොනවගේද?


මම මේ චිත්‍රපටිය කළේ දැනට කාලයකට උඩදීයි. නමුත් එය තිරගත වුණේ අගෝස්තු හයවැනිද. මම කළ පළමු චිත්‍රපටියම මෙසේ තිරගත වීමට ප්‍රමාද වීම මගේ වෘත්තීය ජීවිතයට විශාල අභියෝගයක් වුණා. නමුත් කියන්න සතුටුයි මගේ දෙවැනි නිර්මාණයත් නුදුරේදීම දැක බලා ගැනීමේ අවස්ථාව උදාවෙනවා.


රිදී තිරයේ පළමු නිර්මාණයට මෙලෙස ප්‍රවිෂ්ට වීමට අඩිතාලම වැටෙන්නේ කොහොමද


මම ඒ කාලයේ එලීෂා කියන වේදිකා නාට්‍යයේ ඩූනො කියලා රෝමියෝ ටයිප් චරිතයක් නිරූපණය කළා. එහි පුහුණුවීම් අතර වාරය සූර්යයා වීරයා චිත්‍රපටියේ අධ්‍යක්ෂතුමා ලුවී වැන්ඩස්ට්‍රාටන් එතැනට පැමිණ මම පුහුණුවීම් කරන ආකාරය බලල තිබෙනවා. ඊට දින දෙකකට පසුව ලුවි මහත්මයා මෙම චිත්‍රපටියට මට ආරාධනා කළා. කරමින් සිටි වේදිකා නාට්‍යය නිම කරන්න සති තුනක කාලයක් මට කල් දුන්නා. ඉන්පසු සූර්යයා වීරයා චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කළා. ලුවි මහත්මයා ගිය වසරේ මියගියා. නමුත් සූර්‍ය්යා වීරයා පළමු දර්ශනය නැරඹීමට පැමිණි එලීෂා වේදිකා නාට්‍යයේ නිෂ්පාදකවරයා මට පැවසුවා ලුවි වැන්ඩස්ට්‍රාටන් මහත්මයාට මගේ ගැන කියලා ඔහුට මාව හඳුන්වා දී තිබෙන්නේ ඔහු බව. ඒ නිසා ඔහුත් මට ලැබුණු මේ අවස්ථාවට සෘජුවම සම්බන්ධයි.


රිදී තිරයේ පළමු නිර්මාණයේම ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමම ඔබට අභියෝගයක් වුණේ නැද්ද


මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රූපවාහිනී වෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙක් ලෙසයි. මම බොහොමයක් වෙළඳ දැන්වීම් වගේම ගීතවල රූප රචනාවල පෙනී සිටියා. බෝල්රූම් හා ලතින් නර්තනයන් හදාරා තිබෙන නිසා ඇතැම් වේදිකා නාට්‍යවලටත් මාව තෝරා ගත්තා. රිදී තිරයේ පළමු නිර්මාණය වුණත් මගේ ආධුනික බවක් දුටුවේ නැහැ කියලා බොහෝ දෙනා පැවසුවා. ඔයා මීට කලින් හොරෙන් චිත්‍රපටිවල රඟපාලා තියෙනවද කියලත් ඇතමෙක් මගෙන් ප්‍රශ්න කෙරුවා. මම හිතන්නේ එයට ප්‍රධානතම හේතුව කැමරාවට මම ආධුනික නොවීම කියලයි.


සූර්යා වීරයා චිත්‍රපටියේ ඔබගේ චරිත ස්වභාවය කෙබඳුද


එහි නිරූපණය කරන්නේ මධ්‍යම පාන්තික තරුණයෙක්ගේ චරිත ස්වභාවයක්. එය අතීත කතාවක්. තමන්ගේ අසනීප වූ සහකාරියව බලා ගන්නා ගමන් ජීවන අරගලයට මුහුණ දෙන ආකාරය එයින් පෙන්නුම් කරනවා. ඔහු ආදරය දකින්නේ පරිත්‍යාගයක් විදිහටයි. ඒ අතරවාරය විද්‍යාවේ අඳුරු පැතිකඩකින් බිහිවන ළමා කණ්ඩායමකින් එන එක දැරිවියක් ඔහුට මුණ ගැහෙනවා. එකී චරිතය මුණ ගැසීම තුළත් ගොඩනැගෙන්නේ මානුෂිකත්වයයි. ඒ ජාතිකත්ව ගැටලුවට සාමාන්‍ය පිරිමි ළමයෙක් කොතරම් උපායශීලීව මුහුණ දෙනවාද යන කතාන්දරයයි මෙම චිත්‍රපටිය පුරාම විහිදෙන්නේ. මේක බයිස්කෝප් එකක් උනත් විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.


සූර්යා වීරයා චිත්‍රපටියේ ඔබගේ චරිත ස්වභාවය කෙබඳුද?


එහි නිරූපණය කරන්නේ මධ්‍යම පාන්තික තරුණයෙක්ගේ චරිත ස්වභාවයක්. එය අතීත කතාවක්. තමන්ගේ අසනීප වූ සහකාරියව බලා ගන්නා ගමන් ජීවන අරගලයට මුහුණ දෙන ආකාරය එයින් පෙන්නුම් කරනවා. ඔහු ආදරය දකින්නේ පරිත්‍යාගයක් විදිහටයි. ඒ අතරවාරය විද්‍යාවේ අදුරු පැතිකඩකින් බිහිවන ළමා කණ්ඩායමකින් එන එක දැරිවියක් ඔහුට මුණ ගැහෙනවා. එකී චරිතය මුණ ගැසීම තුළත් ගොඩනැගෙන්නේ මානුෂිකත්වයයි. ඒ ජාතිකත්ව ගැටලුවට සාමාන්‍ය පිරිමි ළමයෙක් කොතරම් උපායශීලීව මුහුණ දෙනවාද යන කතාන්දරයයි මෙම චිත්‍රපටිය පුරාම විහිදෙන්නේ. මේක බයිස්කෝප් එකක් වුණත් විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.


රිදී තිරයටම කොටු වෙන්නද බලාපොරොත්තුව


මම ඇතැම් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ නිසා පුංචි තිරය තුළත් මගේ දස්කම් පෙන්විය හැකි චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන්ම මම එය කරනවා. පුංචි තිරය තුළ වගේම රිදී තිරය තුළත් අපටම ගැළපෙන ක්‍රමයක් හදාගත්තොත් නිවැරදි ගමනක් යන්න හරිම පහසුයි.


රංගන ක්ෂේත්‍රයේ පරමාදර්ශයන් එහෙමත් නැත්නම් ෆලෝ කරන කෙනෙක් ඔබට ඉන්නවද


මම ගොඩක්ම කැමතියි ගාමිණී ෆොන්සේකා කියන චරිතයට. ඊට අමතරව විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම රවින්ද්‍ර රන්දෙණිය යන චරිත වලට ප්‍රිය කරනවා. ඒ චරිත අනුගමනය කරන්න ඒ හැඩරුව ඒ දක්ෂතාවය මා තුළ නැහැ. නමුත් ඔවුන් මගේ රංගන ජීවිතයේ පරමාදර්ශයන් යැයි කීවොත් නිවැරදියි. එකී පරමාදර්ශයන් ලැයිස්තුවේ විදේශීය රංගන ශිල්පීන් බොහොමයකුත් ඉන්නවා.


මේ දිනවල ජනප්‍රියත්වයත් එක්ක ප්‍රේම ආරාධනා වැස්සක තෙමෙනවා ඇති නේද


මම ආදරේට ගොඩක් කැමති කෙනෙක්. ඒත් මේ වෙලාවේ මගේ අවධානය සියයට සීයක්ම යොමුවෙලා තියෙන්නේ මගේ වෘත්තිය ජීවිතයටයි. ඒ නිසා ගෑනු ළමයෙක් එක්ක යාළුවෙනව නම් ඒ ආදරේට ගෞරව කරන්න වගේම ඇය වෙනුවෙන් වෙලාව වෙන් කරන්න අවශ්‍යයි. එහෙම වේලාවක් වෙන් කරන්න අපහසුයි ඒ නිසා හොඳම වැඩේ තනියෙන් සිටීමයි.



Previous Post Next Post