එක රැයින් ජනප්‍රිය වෙන්න කිසිම වුවමනාවක් නැහැ – රුවී ලක්මාලි



පසුගිය කාලවකවානුවේදී ජාතික රූපවාහිනියේ විකාශය වුණු ‘තුම්පනේ’ ටෙලිනාට්‍යයෙන් දුටු රුවී ලක්මාලි ඔන්න ආපහු ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘රොන්’ ටෙලිනාට්‍යයේ ‘නේහාගේ’ චරිතය හරහා ඔබ හමුවට එනවා. ඉතිං මීවිත අපි රුවී ලක්මාලිට මේ ඉඩකඩ වෙන් කරන්න හිතුවා.

‘රොන්’හි නේහාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


තවම පටන් ගත්තා විතරයි. තවම කුතුහලය අවුස්සගෙන යන්නේ. හැබැයි මට හිතෙනවා අද කාලෙට ගැළපෙන ගොඩක් ලස්සන නිර්මාණයක් කියලා. මම හරි ආසාවෙන් වැඩ කරපු ටෙලිනාට්‍යයක්. මම ක්ෂේත්‍රයට ආපු කාලයේ ‘හිරු තනිවෙලා’ කියන නිර්මාණයේ ප්‍රදීප් ධර්මදාස අයියා සමග වැඩ කරලා තියෙනවා. ඊට පසුව දෙයියන්ගේ රටේ ටෙලිනාට්‍යයෙත් මම ලස්සන චරිතයක් කළා. ඒ චරිතයෙනුත් මම ගොඩක් මිනිස්සු අතරට ගියා. ඊට පසුව අවුරුදු ගණනාවකට පසුව මට ප්‍රදීප් අයියා ආයෙමත් ආරාධනා කළා ‘රොන්’ කියන මේ නාට්‍යයටත්. මෙහි මම රඟපාන්නේ මට වැඩිය වසර ගණනාකින් වැඩිමහල් බිරිඳකගේ චරිතයක්.


පුංචි තිරයේ පළමු වතාවට ද බිරිඳකගේ චරිතය රඟපාන්නේ?


නැහැ. මම හිතන්නේ තුන් වැනි අවස්ථාව. හැබැයි මේ ලොකු වයස් පරතරයක් තියෙන චරිතයක්.


කොච්චර කාලයකට පස්සෙද ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ?


මම හිතන්නේ අවුරුද්දකින් විතර. තුන්පනේ ටෙලිනාට්‍යයේ රඟපෑවාට පස්සේ තමයි ‘රොන්’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ඒත් සමගම ඉරේෂ් ලොකුබණ්ඩාරගේ අලුත්ම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ.


අවුරුද්දක විරාමයෙන් පසුව ලැබුණු අත්දැකීම මොනවගේද?


මම හිතනවා ඒක මට ලැබුණු දැවැන්ත නිර්මාණයක් කියලා. ඒ කතාව ඇතුළේ ප්‍රබල චරිත ගොඩක් තියෙනවා ‘රොන්’ ටෙලි නිර්මාණයේ අපේ දැවැන්තයෝ ගොඩක් රඟපානවා. ඒ අයත් සමග මට රඟපාන්න ලැබීම ලොකු භාග්‍යයක් කියලයි මම හිතන්නේ. මම මේ චරිතය හරි සතුටින්, ආදරයෙන් තමයි භාරගත්තේ. අනිත් එක ප්‍රදීප් ධර්මදාස කියන්නේ ගොඩක් හොඳ අධ්‍යක්ෂවරයෙක්.


රුවීට මේ ආරාධනාව ලැබුණහම මොකද හිතුණේ?


ගොඩක් සතුටුයි. මොකද ප්‍රදීප් අයියා සාමන්‍යයෙන් චරිතයකට ගැළපෙනවා නම් විතරයි කතා කරන්නේ. මොකද එයා හැඳුනුම්කමටවත්, හිතවත්කමටවත් ටෙලිනාට්‍යයකට කතා කරන්නේ නැහැ. ඒ චරිතයට මාව සුදුසුනම් පමණමයි ගන්නේ. මම හිතනවා ඒ චරිතයට මම සුදුසු ඇති කියලා.


පසුගිය කාලේ ඇත්තටම මොනවද කළේ?


වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ මම කවදත් ඉන්නවානේ. එතකොට මම වෙළෙඳ දැන්වීම්වල වගේම හඬකැවීම් අංශයෙනුත් වැඩ කරනවා. ජාතික රූපවාහිනයේ කොරියානු ටෙලිනාට්‍යවලට හඬ කැවීම් අංශයෙනුත් දායක වුණා. පසුගිය කාලයේ තේවා ඉද්දමල්ගොඩ අයියගේ චිත්‍රපටයක සිස්ටර් කෙනකුගේ චරිතයක් රඟපෑවා.


ඇයි මේ විරාමයක් අරගෙන වැඩ භාරගත්තේ?


විරාමයක් නෙමෙයි, මම හිතන්නේ මම දීර්ඝතම ටෙලිනාට්‍යවලට සම්බන්ධ නොවීම හින්දයි ඔය ප්‍රශ්නය අහනවා ඇත්තේ. තවම මම මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ නෑ.


‘මෙගා බාරගන්නේ නෑ’ කියන තීරණයේ ද ඉන්නේ?


ඇත්තම කියනවා නම් තවම භාරගෙන නැහැ. ‘මම බාරගන්නේ නෑ’ කියන තැනකත් නැහැ. මම දන්නේ නැහැ ඒකට කොහොමද උත්තර දෙන්න ඕනෑ කියලා. මම වෘත්තීයමය රංගන ශිල්පිනියක්නේ. මේ යන ආර්ථිකමය තත්ත්වයත් එක්ක ඉස්සරහට භාර ගන්න වෙයිද කියලත් හිතෙනවා. නමුත් මට ගොඩක් වෙලාවට ආරාධනා ලැබෙන්නේ කොටස් 100ට අඩු නිර්මාණවලට.


ලැබෙන ආරාධනා ගැන තෘප්තිමත්ද?


අනිවාර්යයෙන්ම තෘප්තිමත්. මට ගොඩක් හොඳ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට දායක වෙන්න ලැබිලා තියෙනවා. මම ඇත්තටම හරි වාසනාවන්තයි. මම බොහොම ඉක්මන් ගමනක් යන්න ලෑස්ති වෙච්ච කෙනෙක් නෙමෙයි. මම බොහොම හෙමින් හෙමින් ඉස්සරහට එන කෙනෙක්. මට හදිසියක් නැති නිසා මම හිතනවා මට හොඳ නිර්මාණ ලැබෙනවා කියලත්.


ඇයි මේ හදිසියක් නැත්තේ?


මට එක රැයින් ජනප්‍රිය වෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මම හිතනවා මම දෙයක් දැනගෙන සහ ඉගෙනගෙන හෙමින් අඩිය තියන තරමට හොඳයි කියලා. නැත්නම් කිසිම කලබලයක් නැහැ.


හැල්මේ දුවලා හතිදාගන්න සූදානම් නැහැ. එහෙමද?


අනිවාර්යයෙන්ම කවදාවත්ම නැහැ.


ඉඳල හිටල දකිනකොට මිනිස්සුන්ට අමතක වෙයි කියලා හිතෙන්නේ නැතිද?


මම හිතන්නේ නැහැ එහෙම වෙනවා කියලා. මොකද මම කොහොමත් ඉඳල හිටල පෙනී සිටිනවා හොඳ වැඩකින්. මම ගිය අවුරුද්දෙ රඟපෑවේ එක ටෙලිනාට්‍යයයි. ඒ සඳහා මට සුමති ටෙලි සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ කුසලතා සම්මානයක් පිරිනමනවා.


තුම්පනේ ටෙලිනාට්‍යය ගැන මොකද හිතෙන්නේ?


හරිම සතුටුයි. ඒකට මම සුපුන් අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ වගේ දැවැන්ත චරිතයක්, මාව විශ්වාස කරලා භාර දුන්නාට. එහිදී ප්‍රධාන චරිතය රඟපෑ මධුර ප්‍රභාෂ්වර අයියටත් ස්තූතිවන්ත වෙනවා. ඒ දෙන්න හින්දයි මට ඒ සම්මානය ගන්න පුළුවන් වුණේ.


රංගන ජීවිතය ගැන කතා කළොත්?


හරි ආදරණීය ලෙස ගරුත්වයක් ඇතිව ක්ෂේත්‍රයේ වැඩ කරනවා. ඒක හින්ද මම හරිම තෘප්තිමත් වගේම මට මං ගැන හරි ආඩම්බරයි.


ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?


මට හිතෙනවා මම මගේ අම්මාගේ හීනය සැබෑ කළා කියලා. අම්මට තමයි ඕනෑ වුණේ මාව කලා ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගෙනියන්න. මම සම්මානයක් ලබාගත්තා. මට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා. හරි ආඩම්බරණීය විදිහට ජීවත්වෙනවා. මම හිතන්නේ අම්මා කෙනෙක් දුවකගෙන් ලබන්න ඕනෑ සතුට ඒක තමයි.


ගොඩක් අම්මලා, දුවලාට මේ ක්ෂේත්‍රයට එන්න එපා කියනවා. ඒ ප්‍රශ්නය ඔයාට නැහැ?


මට ඉන්න හොඳම යාළුවා මගේ අම්මා. අම්මා යෙහෙළියක් වුණහම ඕනෑම දුවකට ජීවත්වෙන්න හරි පහසුයි. මගේ හැම රහසක්ම වගේම මගේ පෞද්ගලික ජීවිතයේ හැමදෙයක්ම දන්න එකම කෙනා මගේ අම්මා. මම හිතන්නේ අම්මා තමයි දුවෙකුට ඉන්න ඕනෑ හොඳම යෙහෙළිය කියලා. එතකොට අපිට ඉස්සරහට යන්න ලේසියි වගේම පහසුයි.


දිනේෂ් විතාන





Previous Post Next Post