මම දේශපාලන පක්‍ෂවල ගැත්තෙක් නෙමෙයි – රොෂාන් රවීන්ද්‍ර



ඔහු සිය අභිමතය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ මහපොළවේ බිහිවන නිර්මාණ සමගම උඩුගම්බලා පිහිනන සැබෑ දක්‍ෂ රංගන ශිල්පියෙකි. රංගනයේදී ඔහුගේ රංගනයත් අපට ගෙන දෙන්නේ සජීවී බවකි. ජීවිතයේ සැබෑ යථාර්ථය ඉස්මතු වන ලෙස රංගනයන් ඉදිරිපත් කිරීම නිසා අද අපේ කතානායකයා ඔබට ද සුවිශේෂී චරිතයකි. වීරයා ගෙදර ඇවිත්, ඉඩෝරයක මල් පිපිලා, කඩ දොර, දස්කොන්, සහෝදරයා, තාත්තේ අපි ආවා වැනි නිර්මාණ තුළින් ඔහු සම්මානනීය රංගන ශිල්පියකු විය. ඔහු අධ්‍යක්‍ෂණය කළ ‘තණමල්විල කොල්ලෙක්’ ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාව වෙනස්ම මානයකට රැගෙන ගියේය. පුංචි තිරය එලෙස අතික්‍රමණය කළ මේ අපූර්ව රංගධරයා නමින් රොෂාන් රවීන්ද්‍රය. දිගු නිහැඬියාවකට පසුව අද (28දා) රාත්‍රී 7.00 ට ඔහු ලයනල් වෙන්ඩ්ට් රඟහලට ගොඩවෙයි. ඒ ගයාන් කනිෂ්ක රාජපක්‍ෂ අධ්‍යක්‍ෂණය කරනු ලබන මිස්ටර් ප්‍රසිඩන්ට් වේදිකා නාට්‍ය නිර්මාණය හරහායි. රොෂාන් රවීන්ද්‍ර සමග මේ කතාබහ මිස්ටර් ප්‍රසිඩන්ට් ගැන වගේම ඔහුගේ නවතම කලා තොරතුරු ගැනය.


රොෂාන් රවීන්ද්‍ර දිගු නිහැඬියාවකට පසුව මිස්ටර් ප්‍රසිඩන්ට් සමග වේදිකාවෙන් දකින්න ලැබෙනවා?


මෙහෙමයි. මම ඇත්තටම වේදිකා නාට්‍යවල රඟපෑවේ 1998, 1999 වසරවල තරුණ සේවා සභාවේ වේදිකාව සම්බන්ධව ඉගෙන ගත්තාට පසුව. ඒ තරුණ සේවා සභාවේ සහ රාජ්‍ය නාට්‍ය උළෙලේ ළමානාට්‍ය අංශය නියෝජනය කරමින් මම වේදිකා නාට්‍ය කිහිපයක රඟපාලා තියෙනවා. නමුත් මම ඒ වෙනකොටත් ටෙලි නාට්‍ය කර්මාන්තයට රිංගලා තිබුණ නිසා අංගරචනා ශිල්පියෙක් විදිහට මට ඇත්තටම වේදිකා නාට්‍යවලින් බැහැර වෙන්න වුණා. මගේ වෘත්තිය ටෙලි නාට්‍ය මාධ්‍ය නිසා අනික මම වේදිකා නාට්‍යවලට කලින් ටෙලිවිෂන් එකට යන්න පුළුවන්කම හම්බවුණා. ඊට පස්සේ මම වේදිකාව තැන් කිහිපයකදී කරන්න උත්සාහ කළා. නමුත් අර තියෙන ආර්ථික අපහසුතා මැද්දේ මාස පහ හයක් එක දිගට පුහුණුවීම්වලට දින යොමු කරන්න එපායැ. ඒකත් එක්ක තියෙන අපහසුතා මැද්දේ ඒවා පොඩ්ඩ පොඩ්ඩ මිස් වුණා. ඒ අතරතුරේ මගේ ඔළුවේ හිඩැසක් තිබුණා නාට්‍යයක් කරන්න ඕනෑ කියන එක.


නමුත් ඊට පස්සේ මම තණමල්විල කොල්ලෙක් එහෙම කරලා කොවිඩ්වලින් පස්සේ පොඩි නිහඬ කාලයක් ආවනේ, වැඩ කරන්නේ නැතිව. ඒ කාලෙ ගයාන් කනිෂ්ක රාජපක්‍ෂ කියන අපේ හිතවතා නාට්‍යයක් කරමු කියලා ආරාධනා කළාට පස්සේ මම නිකමට කිව්වා පිටපත දාන්නකෝ කියලා. පස්සේ පිටපත කියවලා බැලුවහමත් ඒක ඇතුළේ ඉන්න කට්ටියගෙන් පොඩි ගැළපීමක් තිබෙනවා එකට වැඩ කරන්න පුළුවන්. ඒකත් එක්ක මට හිතුණා මේක තමයි අවස්ථාව කරන්න ඕනෑ කියලා. මට ඒක අමුත්තක් නෙමෙයි, වේදිකා නාට්‍යයක් කළ යුතුයි අපි ඒකට පොඩ්ඩක් මහන්සි විය යුතුයි කියන තැනක ඉඳලා වැඩේ කළා.


මිස්ටර් ප්‍රසිඩන්ට් පිටපතට කැමැති වුණේ ඇයි?


පිටපතට ආදරය කරන්න ප්‍රධානම හේතුව මේක ස්වතන්ත්‍ර නිර්මාණයක්. දැන් හුඟක් වෙලාවට පරිවර්තන පස්සෙ දුවගෙන යන කාලයක මේක ස්වතන්ත්‍ර නිර්මාණයක්. ගයාන් කරලා තිබෙන නාට්‍ය කිහිපයක්ම ස්වතන්ත්‍ර නිර්මාණ. මේක ඇතුළේ අපි කතා කරන චරිත හරි ස්වාභාවික චරිත. අධ්‍යක්‍ෂවරයාගේ දෘෂ්ටියෙන්ම තමයි මේ නාට්‍ය දිවයන්නේ. අපි දකිනවානේ දැන් මේ ස්වතන්ත්‍ර ඇතුළේ හැම තිස්සේම දේශපාලන පක්‍ෂයක් හෝ කෙනෙක්ව මූලික කරගෙන ඇඟිල්ල දිගු කරමින් උපහාස කරන නාට්‍යය. මේක ඇතුළේ එහෙම උපහාසයක් නැහැ. මේක ඇතුළේ තමන්ට තමන්ව පේනවා. මොකද මම දේශපාලන පක්‍ෂවල ගැත්තෙක් නෙමෙයි. ඒක නිසා තව පක්‍ෂයක් විවේචනය කරනවාට වඩා අපේ දැක්ම මොකක්ද කියන එක මේ නාට්‍ය ඇතුළේ තියෙනවා. ඒක නිසාම තමයි මම මේක තෝරා ගන්න හේතුව. මටත් චරිතයක් විදිහට චරිතයක් කරන්න මේක ඇතුළේ තියෙනවා.


රොෂාන් රවීන්ද්‍ර දිගු නිහැඬියාවක් තිබෙනවා. මේකට හේතුව මොකක්ද?


ඇත්තටම අපිව නිහඬ කරලා තියෙන්නේ. අපි කැමැති නැහැ කලාකරුවෝ විදිහට නිහඬ වෙන්න. කලාකරුවෙක් වුණහම හැම ටෙලි නාට්‍යයකම, චිත්‍රපටයකම ඉන්න ඕනෑ කියන අදහසක් මගේ නැහැ. අනිත් එක මම තරුවක් විදිහට කිසිම දවසක ක්‍ෂේත්‍රයේ වැඩ කරලත් නැහැ. හැබැයි මට නිර්මාණවලට පෙරේතකම හැමදාම තියෙනවා. නමුත් හොඳ නිර්මාණ බිහිවන මේ රටේ නාලිකා ප්‍රධානීන් කිසිම වෙලාවක අපිට ඉඩහසර හදලා නැහැ. ඉස්සර කලාකරුවන්ට ඕනෑ කරන නිර්මාණ තමයි ටෙලිවිෂන්වල ගියේ. කලාකරුවා සහ අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය පරිදි තමයි ඒ ටික කළේ. දැන් කලාකරුවාට ඕනෑ කරන නිර්මාණ කරන්න බැහැ. චැනල් එකේ අයිතිකාරයාට ඕනෑ කරන නිර්මාණය තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි අඳුරු කාලයකට තමයි අපේ රට අරගෙන යන්නේ. නිර්මාණ කලාව, කලාව කියන එක මේ රට ඇතුළෙන් අයින් කරන්නයි ඒගොල්ලන්ට වුවමනා කරලා තියෙන්නේ. එකඑක්කෙනාගේ අරමුණු වෙනුවෙන් තමයි මේක යන්නේ. මම දන්නේ නැහැ කවදා මේ ක්‍රමය වෙනස් වෙයිද කියලා. කලාකරුවෝ කියන මිනිස්සුන්ව අතපය බැඳලා වතුරට දාලා තියෙන්නේ පිහිනන්න. කොහොමත් මම හැමදාම මෙගා නාට්‍ය ගැන හිටියේ වෙනම අදහසක. මම ඒක කරන්නේ නැහැ කියන තැන. දීර්ඝ ටෙලි නාට්‍යවලට මම සම්බන්ධ වෙලත් නැහැ. දැන් මට ඕනෑ ආකාරයේ ටෙලි නාට්‍ය කෙරෙනවා හරි අඩුයි. මම දැන් ටෙලි නාට්‍යයකුයි, චිත්‍රපටයකුයි ලියාගෙන ඉන්නවා නිෂ්පාදකවරුන් දැන් අපි හිතන විදිහට නැහැ. වෙන වෙන අවශ්‍යතාවලට තමයි ඒ අයත් පුරුදු වෙලා තියෙන්නේ. නිහැඬියාව යම් මොහොතක හෝ නැති කරගන්නවා මගේ නිර්මාණයක් තුළින් මම ඉස්සරහට එයි. ඒක මම කවදාවත් නැති කරගන්නේ නැහැ. එතකම් මම මගේ ජීවිතයේ දේවල් එකතු කර ගනිමින් යනවා.


‘තණමල්විල කොල්ලෙක්’ කියන්නේ ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ වෙනමම හැරවුම් ලක්‍ෂ්‍යයක්. අද වනකොට ඒ ගැන මොකද හිතන්නේ?


ඒ ගැන මට හරිම සතුටුයි. දැන් ඔය නාට්‍ය ගියේ ස්වාධීන රූපවාහිනියේ. ස්වාධීන රූපවාහිනිය යම්කිසි පසුබෑමකින් තියෙන අවධියක තමයි අපි තණමල්විල කොල්ලෙක් විකාශය ආරම්භ කරන්නේ. දැන් මම දන්නේ නැහැ මතක තියෙනවාද? නැද්ද? කියලා. නමුත් මම හිතන්නේ තණමල්විල එකෙන් පස්සේ මම තව වැඩ කිහිපයක් කළ යුතුයි මගේ අදහස. දැන් මම අවුරුදු පහක් විතර වෙනවානේ ඕක කරලා. ඒගොල්ලන්ට එහෙම වුවමනාවකුත් නැහැ. දැන් දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩකරන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ. එතැනදී අපේ රටේ නිර්මාණ කිරීම පිළිබඳව පොඩි ගැටලුවක් තිබෙනවා. ඒක එහෙමයි කියලා අපි අපේ ජීවිත ගැටලුවලට ඉඩදීලා පැත්තකට වෙන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ නිර්මාණ අරගෙන යන්න. ඇත්තටම කලකිරීමක් නෙමෙයි මට පොඩි අවුලක් තිබෙනවා. නාලිකාවලට අමාරුම කාලේ ඒවා ගොඩ දාපු අපිව ඒ අවස්ථාව අපෙන් උදුරලා ගන්නේ ඇයි කියලත් හිතිලා තියෙනවා.


ගොඩක් අධ්‍යක්‍ෂවරු මේ වෙනකොට යූටියුබ් ප්ලැට් ෆෝම් එකට නිර්මාණ කරනවා. ඔබට එහෙම අදහසක්වත් නැතිද?


ඕක විෂයන් දෙකක්නේ. එතකොට දැන් නාලිකාවල මේ වෙනකොට පොඩි හොරකමක් සිද්ධ වෙනවානේ. ටෙලිවිෂන් එකට කරගත්ත නිර්මාණ ඔවුන්ම මහ දවාලේ හොරකම් කරගෙන දාගන්නවා යූටියුබ්වලට. අපේ කවුද කලාකරුවෙක් මේ මිනිසුන්ගේ යූටියුබ් රයිට්ස් ගැන කතා කරලා මේ රයිට්ස් යන්න ඕනෑ. නිෂ්පාදකවරයාට හෝ අධ්‍යක්‍ෂවරයාට කියලා මැදිහත්වෙලා අරන් දෙන්නේ. මම ඕක හැමදාම කතා කරපු මාතෘකාවක්. පසුගිය දේශපාලන පක්‍ෂ කිහිපයක් එක්කම සාකච්ඡා කළා මේක කොහොමද? අපිට ලබාදෙන්නේ කියලා. එවෙලෙට ඔවුන් ඔළුව වනනවා විතරයි. ඊට පස්සේ ඔවුන් කිසිදෙයක් කරන්නේ නැහැ. මම කිව්වේ ඒකයි. ඒක දැන් වෙනස් විය යුතුයි. මම කියන්නේ රජයේ මැදිහත්වීම නැතිව මහදවාලේ හොරකම් කරනවා කියලා දැන දැන කලාකරුවන්ට වෙලා තියෙන ප්‍රශ්න ඕව තමයි.


ළඟදීම ඔබව ටෙලි නාට්‍යයකිනුත් දකින්න ලැබෙනවා?


ඔව්. ටෙලි නාට්‍යයක් කළා අපේ චමිල් පතිරණගේ. ඒක තව දවස් කිහිපයක රූගත කිරීම් තිබෙනවා. ඒකත් නව කතාවක් ප්‍රමුඛ කරගෙන කරපු නාට්‍යයක්. ඒ කතාවේ නම සිටුවර පුවත.


වර්තමානයේ නිර්මාණය වෙන ටෙලි නාට්‍ය ගැන මොන වගේ මතයක ද ඉන්නේ?


දැන් බිහිවන ටෙලි නාට්‍ය නාලිකාවල මිනිස්සුන්ට ඕනෑ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. රජයේ නාලිකා ඒක බිමට වට්ටනකම් බලාගෙන ඉන්නවා. පෞද්ගලික නාලිකාවල ඉන්න ප්‍රධානීන්ගේ දැනුම සහ රසවින්දනය අනුව තමයි හැම නිර්මාණයක්ම බිහි වෙන්නේ. එතකොට ඉතින් දෙයියන්ගේම පිහිටයි.


රංගනයට ආරාධනා ලැබෙනවාද?


මට කොහොමටත් රඟපෑමට ආරාධනා ලැබෙනවා. මට ඒවායින් අඩුවක් වෙලා තිබුණේ නැහැ. නමුත් මම තෝරා ගැනීමක ඉන්න නිසා හුඟක් වෙලාවට දීර්ඝ ටෙලි නාට්‍ය භාර ගන්නේ නැහැ. මට අවශ්‍ය කරන විදිහේ චිත්‍රපට නම් මට හම්බ වුණේ නැහැ. ටෙලි නාට්‍ය නම් මම හිතුවට වඩා හම්බවුණා. මම ඒවා ප්‍රතික්‍ෂේප කරපු වෙලාවලුත් තියෙනවා. ටෙලි නාට්‍ය ඇතුළේදී මම යම් කිසි ගමනක් ගියා. නමුත් සිනමාව ඇතුළේදී ඒ ඒ සමහර කුලකයන් ඇතුළට මේක බෙදිලානේ තියෙන්නේ. සමහර අධ්‍යක්‍ෂවරු බලාපොරොත්තු වෙන්නේ වෙන විදිහක්. සමහර අධ්‍යක්‍ෂවරු සමග අපිට වැඩ කරන්න බැහැ. සමහර පිටපත් හොඳ තත්ත්වල නැති පිටපත්. නිෂ්පාදනය පැත්තෙන් ගත්තහම දුර්වල නිෂ්පාදන. චිත්‍රපට නම් මට හම්බවුණේ නැහැ. ටෙලි නාට්‍ය පැත්ත මම කරගෙන ගියා.


රොෂාන් රවීන්ද්‍ර කියන වෘත්තීය රංගන ශිල්පියා මෙහෙම තෝරා බේරා ගැනීම් කරන්න ගියහම ඔබ මුහුණ දෙන ප්‍රශ්නත් ඇති නේද?


මම මුහුණදෙන ප්‍රශ්න ටික මම කතා කරන්න ආස නැහැ. මොකද හේතුව ඒක ඒ තරම්ම විශාලයි. නමුත් විශාලයි කියලා මම ගිය ගමන ආපස්සට හැරෙන්න බැහැ. අතරමැද දාලා යන්නත් බැහැ. මොකද මම මාව මෙහෙම තියාගන්න තව පරම්පරාවක් ඉන්නවා. මම ආපහු හැරුණොත් ඒ මිනිස්සුන්ට කරන ලොකු අගෞරවයක් සහ ලොකු වැරැද්දක්. මට වෙන රස්සාවක් කරන්නත් බැහැ. මම මේකම තමයි කරන්න ඕනෑ. අනිත් එක මම නිර්මාණ කරන්න පටන් ගත්තා විතරයි. මට තවම හරියට නිර්මාණ කරන්න හම්බ වුණේ නැහැ. මේක ව්‍යාපාරයක්. මේක ලාභ හොයන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒ ලාභ හොයන්න පුළුවන් ව්‍යාපාරය තමයි දැන හෝ නොදැන විනාශ කරලා දමන්නේ. අපිට සිනමාව කියන එක ගොඩගන්න පුළුවන් බලාගෙන ඉන්දැද්දි පොඩි කාලයක් ඇතුළත. අපිට ඕනෑ කරන නිර්මාණය කරන්න යන මුදලින් නෙමෙයි අපි නිර්මාණය කරන්නේ. අපිට තියෙන සල්ලි ප්‍රමාණයෙන්. එතකොට මේක ව්‍යාපාරයක් විදිහට ලාභ උපයන සහ මිනිස්සු බලන දෙයක් වෙනවා නම් අපි අපේ නිර්මාණවලට බජට් කරන්න පුළුවන් කාලයක් අපි ගෙන්වා ගන්න ඕනෑ. රුපියල් ලක්‍ෂ සීයයි නම් තියෙන්නේ එතකොට අපිට කියනවා ලක්‍ෂ සීයට චිත්‍රපටයක් හදන්න කියලා. එතකොට අපි ඒක බොහොම කපලා කොටලා ලක්‍ෂ සීයට මොකක් හරි අටමගලයක් හදා ගන්නවා. එහෙම නෙමෙයි, නිර්මාණකරුවාගේ නිර්මාණයට බජට් කරලා වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදාගත්තු දවසට අපේ සිනමා කර්මාන්තය දියුණු වේවි. එතැනට මේක අරගෙන යන්න පුළුවන්. බැරිකම නෙමෙයි, ටිකක් කල්පනා කරන්න විතරයි තියෙන්නේ. එක එක අරමුණු තියෙනවානේ හදාගත්තු.


ඇත්තටම සිනමා පිටපතක් ලියලද තියෙන්නේ?


ඔව්. මම ලියලා තියෙන්නේ. දැන් ඒකෙ අවසාන භාගයේ තියෙන්නේ. මම හිතන්නේ තණමල්විල කොල්ලෙක් මේ මොහොත වන විට සාමාන්‍යයෙන් යූටියුබ් එකේ මිලියන 2 පනින්න නරඹලා තියෙනවා. මගේ බලාපොරොත්තුව චිත්‍රපටයක් කළත් මිනිස්සු ඒ වගේ බලන්න ඕනෑ කියලා. ශෘංගාරාත්මක චිත්‍රපටයක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.


දේශපාලනය ගැන ලොකු කතිකාවතක් ගොඩනැඟිලා තියෙන මේ කාලවකවානුවේ එවැනි වේදිකාවලට ගොඩවෙන්න කියලා ආරාධනා ලැබිලා නැතිද?


අනේ මට ඕනෑ තරම් ඇවිල්ල තියෙනවා. නමුත් මම හිතනවා කලාකරුවෙක් විදිහට කිසිම දේශපාලන පක්ෂයක ගැත්තෙක් වියයුතු නැහැ කියලා. මොකද අපි දැක්කා මහා දැවැන්ත කලාකරුවෝ දේශපාලන පක්ෂවලට ගිහිල්ලා බිංදුවට වැටිලා විනාශ වෙලා යන හැටි. හැම දේශපාලන පක්ෂයකටම අපි අමාරුවෙන් හදාගත්තු ටික එක ක්‍ෂණයකින් නැති කරලා දාන්න පුළුවන්. ඔවුන් ගාවට එනකම් අපේ කකුල් දෙක ළඟට ඇවිත් වඳින්නේ නැති එක විතරයි. හැබැයි ගිහිල්ලා ඉඳගත්ත වෙලේ ඉඳන් ඔවුන්ට අපිව වැඩක් නැහැ. ඉතිං අනිත් එක කලාකරුවෙක් කියන්නේ හැම මිනිහෙකුටම අයිතියිනේ. දැන් අපේ රටේ තියෙනවානේ මේ පක්‍ෂයට ඉඳගත්ත ගමන් අනෙක් පක්‍ෂයේ එවුන් සම්පූර්ණයෙන්ම මඩ ගහන ක්‍රමවේදයක්. මේක ඇතුළේ දැන් තියෙන්නේ පාතාලය කියලා ඇත්තටම වෙබ් සයිඩ් පාතාලයක්නේ. ඒකට ගෑවෙන්න නැතිව ඉන්න තමයි උත්සාහ කරන්නේ. කොයි තරම් දුරට ඒක සාර්ථක වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ ටික දැනුවත්කමින් චුට්ටක් පැත්තකට වෙලා ඉන්නවා.


දිනේෂ් විතාන




Previous Post Next Post