කම්බිලි ෂූටිං කරද්දි නෙත්මිගෙන් හොඳටම ගුටි කෑවා - අමිල කරුණානායක




ඔහු මුලින්ම කේෂ්ත්‍රයට එන්නේ නිරූපණ ශිල්පියකු ලෙසයි. වර්තමානයේ ඔහු අපට හමුවන්නේ රංගන ශිල්පියකු ලෙසිනි. හෙට දවසේ අමිලව ඔබට මට මුණගැසෙන්නේ ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කරන, නිශාන්ත ගල්හේන නිෂ්පාදනය කරනු ලබන ‘කම්බිලි’ සිනමා නිර්මාණයත් සමගය. ඉතින් අපි අමිල කරුණානායකට මේ ඉඩකඩ වෙන්කරන්න අදහස් කළා.

අමිල රංගනයෙන් දායක වුණු ‘කම්බිලි’ 08 වැනිදා සිට තිරගත වෙනවානේ ද?


ජීවිතයේ ලැබුණු සතුටු ම ආරංචියක් විදිහට තමයි මම ඒක දකින්නේ. මේ චිත්‍රපටය මගේ සිනමා ජීවිතයට ලොකු උත්තේජනයක් වේවි කියලා හිතනවා. මොකද විශේෂයෙන්ම කියන්න ඕනෑ මේ චිත්‍රපටයේ තිරපිටපත ගැන. ‘කම්බිලි’ කියන්නේ කිසිම ප්‍රතිනිර්මාණයක් නෙමෙයි. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසාද් කළුපහන කියන අධ්‍යක්ෂවරයා. මට මේ චිත්‍රපටයට ප්‍රධාන චරිතයකින් සම්බන්ධවෙන්න ලැබීමත් සතුට දනවන කාරණාවක්.


ප්‍රධාන චරිතයක් රඟදක්වන පළමු අවස්ථාව ද?


නැහැ. නැහැ. මට මීට කලින් චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිත ලැබිලා තියෙනවා. මම මුලින්ම සිනමාවට එන්නේ රූපාන්තරණ සිනමා පටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වීමෙන්. ඊට පසුව කබඩි, මොනාලිසා වගේ චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපාලා තියෙනවා. දෙවැනි උප ප්‍රධාන චරිත කරපු සිනමා නිර්මාණත් තිබුණා. වාසනාවකට වගේ ගොඩක් වෙලාවට මට ප්‍රධාන චරිත ලැබිලා තියෙනවා.


ඔබේ චරිතය ගැන කතා කළොත් ?


මගේ චරිතය මුලින් කියන්න බැහැ. මම චරිතය ගැන ප්‍රේක්ෂකයන්ට සඳහනක් කළොත් චිත්‍රපටයේ තියෙන කුතුහලය නරඹද්දී නැති වෙන්න පුළුවන්. ඒක හින්දා චිත්‍රපටය නරඹලා ඒ අත්දැකීම විඳින්න කියල හැමෝටම ආරාධනා කරනවා. මේක ආදරවන්තයන්ගේ කතාවක්.


රූගත කිරීම්වල දී හරි අපූරු සිදුවීම් වුණා කියන්නේ ඇත්ත ද?


චිත්‍රපටයේ අවසාන සටන් ජවනිකාව රූගත කිරීම් සිදුකළේ මඩවගුරක. ඒ දර්ශනය රූගත කරලා අවසන් වුණෙත් එළිවෙන පාන්දර. ඒකට රෑ එළිවෙනකම් වතුරේ බැහැගෙන මඩවගුරක තමයි රූගත කිරීම් සිදුකළේ. මොකද මේ චිත්‍රපටය සටන් ජවනිකාවලින් පිරුණු චිත්‍රපටයක්.


ඇත්ත ද නෙත්මිව බයිසිකලයෙන් වැට්ටුවා කියන්නේ?


නෙත්මිව බයිසිකලයේ පැත්තට වාඩිකරලා අරගෙන යන දර්ශනයක් රූගත කරන්න තිබුණා. එක තැනක දී අපිට තිබුණා කතා කරලා යන දර්ශනයක් රූගත කරන්න. මම ඒ දර්ශනයට පෙනී ඉඳලා බයිසිකලයෙන් යද්දී ටිකක් දුර ගිහිල්ලා ආපහු හැරිලා බලනකොට නෙත්මි බයිසිකලයේ පිටිපස්සේ නැහැ. නෙත්මි බයිසිකලයෙන් බිමට වැටිලා. ඒ හින්දා අපිට දවස් දෙකක් විතර රූගත කිරීම් පවා සිදුකරගන්න බැරිවුණා.


ඒක හින්ද ද කම්මුල් පහරවල් විසිපහක් විතර ගැහැව්වා කියන්නේ?


අනේ නැහැ. ඒකත් ‘කම්බිලි’ චිත්‍රපටයේ රූගත කිරීමක්ම තමයි. නෙත්මි මට කම්මුලට ගහන දර්ශනයක් රූගත කරන්න තිබුණා. ඒක කැමරා කෝණ කිහිපයකින්ම රූගත කරන්න තිබුණා. එතකොට නෙත්මි කම්මුලට ගහනවා, ගහනවා දර්ශනය රූගත කරගන්න අමාරුයි. අන්තිම ටිකේ මම බොහොම අමාරුවෙන් තමයි දරාගෙන හිටියේ. මොකද මම හිතන්නේ ඒ දර්ශනය රූගත කරන්න ගිහිල්ලා මට නෙත්මිගෙන් කම්මුල් පහරවල් විසිපහක් විතර ගුටිකන්න සිද්ධ වුණා. එහෙම කම්මුල් පහරවල් විසිපහක් විතර ගුටිකලා තමයි ඒ දර්ශනය රූගත කළේ.


කොච්චර කාලයකට පස්සේ ද අමිල රඟපාන චිත්‍රපටයක් තිරගත වෙන්නේ ?


මම හිතන්නේ අවුරුදු එකහමාරකට විතර පස්සේ තමයි මම රංගනයෙන් දායකවුණු චිත්‍රපටයක් තිරගත වෙන්නේ. ඒ මම මීට කලින් රංගනයෙන් දායකවුණු මොනාලිසා චිත්‍රපටයෙන් පසුවයි. ඊට අමතරව මම රංගනයෙන් දායකවුණු චිත්‍රපටයක් මාලදිවයිනේ පවා තිරගත වුණා. ඒකත් දැන් තිරගත වෙලා අවුරුද්දක් විතර වෙනවා. කම්බිලි චිත්‍රපටය තිරගත වෙන්නේ සෑහෙන කාලයකට පස්සේ.


කම්බිලි එක්ක අමිල ආපහු හෝල්වලට එනවා?


අනිවාර්යයෙන්ම. ලොකු ආසාවක් තිබෙනවා ආපහු දැවැන්ත තිරයේ දකින්න. ඒක තමයි ලොකුම ආසාව. ඒ ආසාව යළි 08 වැනිදා සිට මල්ඵල ගැන්වෙනවා.


මේ දවස්වල මොනව ද කරන්නේ?


තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දී ඒවායේ රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැන් ඒවායේ සාකච්ඡා පවත්වනවා. ඉතා ඉක්මනින්ම ප්‍රේක්ෂකයන්ට එම චිත්‍රපටත් බලන්න ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඊට අමතරව මගේ ඇඳුම් නිර්මාණ ව්‍යාපාරය කරගෙන යනවා.


ටෙලිනාට්‍යවලට ලැබෙන ආරාධනා භාර ගන්නේ නැති ද?


ඇත්තටම මම පසුගිය කාලයේ ටෙලිනාට්‍ය කිහිපයකට ලැබුණු ආරාධනා පිළිගෙන රංගනයෙන් දායකවුණා. දැන් මට හිතෙනවා ඊට වඩා චිත්‍රපටවලට මූලිකත්වය ලබාදෙන්න ඕනෑ කියලා. මොකද මට ආසාව තියෙන්නේ සිනමාවේ රැදෙන්න.


නිරූපණයෙන් ඈත්වෙලා ද?


නිරූපණ ශිල්පියෙක් විදිහට ලැබෙන ආරාධනා සීමා කරලයි තියෙන්නේ. නිරූපණ කේෂ්ත්‍රයේ අපි හැමෝටම කාලයක් තිබුණා. ඒ අංශයෙන් මට යන්න පුළුවන් උපරිම මට්ටමට ගියා. දැන් අලුත් පරපුරක් බිහිවෙලා තියෙනවා. ඉතිං මට හිතෙනවා දැන් ඔවුන්ට තැන ලබාදෙන්න ඕනෑ කියලා. අනික අපිත් සමග වැඩකරපු නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් දැන් එතැන නැති හින්දා පොඩි අපහසුතාවයක් දැනුණා අලුත් පරපුරත් සමග වැඩකරන්න. අවශ්‍යම වුණොත් තමයි සහභාගි වෙන්නේ. නමුත් ආරාධනා ලැබෙනවා. ඒ වුණාට නිරූපණයට තියෙන උනන්දුව අඩුවෙලා තියෙනවා. අනික මම දැන් වැඩි උනන්දුවක් දක්වන්නේ රංගනයට. ඒ හින්දා සමහරු හිතන්නෙ මම දැන් නිරූපණ කේෂ්ත්‍රයෙන් ඈත්වෙලා කියලයි.


මේ ආපු ගමන ගැන පසු විපරමක් කළොත්?


මම නිරූපණ කේෂ්ත්‍රයෙන් තමයි මේ ගමන ආරම්භ කළේ. එහිදී මට වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනාවලටත් සහභාගිවෙන්න ලැබුණා. ඒ තුළින් තමයි මට සිනමාවට එන්න අවස්ථාව ලැබෙන්නේ. නිරූපණ ක්‍ෂේත්‍රයෙන් රංගනයට එන්න ලැබීම රුකුලක් විදිහට දකින්නේ නැහැ. මොකද නිරූපණය සහ රංගනය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස හඳුනාගත්තොත් තමයි හරියට රංගනයේ යෙදෙන්න පුළුවන් කියලා අදටත් විශ්වාස කරනවා.


දිනේෂ් විතාන





Previous Post Next Post