මට කැපිල්ල දැම්මෙ ගැහැනු ළමයි – ෂමෝල් ජෙනිෆර්




ඇය ෂමෝල් ජෙනිෆර්. මුලින්ම නිරූපණ ක්‍ෂේත්‍රය තෝරාගන්නා ෂමෝල් වසර දහයක් පමණ එහි රැඳෙනව. කාලයත් එක්ක ජීවිතයේ නව මගක් හොයන ඇය රංගන ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙනව. අද ඔබ නරඹන ‘රොන්’ ටෙලි නාට්‍යයේ භූමි චරිතය නිරූපණය කරන්නෙ ඇය. මේ, මීවිත සමග ෂමෝල්ගේ ගමන්මග ගැන කළ කෙටි සංවාදයක්.

ෂමෝල්, රොන් ටෙලි නාට්‍යයේ භූමි මේ දවස්වල හරි ජනප්‍රියයි?


මට ලැබිල තියෙන්නෙ බොඩිගාඩ් කෙනකුගේ චරිතයක්. මේක මට වෙනස්ම අත්දැකීමක් වගේම මේ වන විට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.


කොහොමද මේ ආරාධනය ලැබෙන්නෙ?


මම ප්‍රදීප් ධර්මදාස මහත්මයාගෙ ඇකඩමි එකේ ඉගෙනගත්තා. ඒ හරහා තමයි මට මේ ආරාධනය ලැබෙන්නෙ. විශේෂයෙන්ම ප්‍රදීප් ධර්මදාස මහත්මයාට සහ නලින්ද වික්‍රමසේකර අයියට ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ දෙන්න නිසා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ.


රූගතකිරීම්වලදි ලැබූ අත්දැකීම් මොන වගේද?


මේ මගෙ පළමුවැනි ටෙලි නාට්‍යය. ඇත්තටම ටිකක් බයෙන් තමයි ෂූටිංවලට සහභාගි වුණේ. සමහර දෙබස් කොච්චර පාඩම් කළත් මතක හිටින්නෙ නැහැ. නමුත් රොන් නාට්‍ය කණ්ඩායම මට ඉතාම හොඳ සහයෝගයක් ලබාදුන්නා. ඒ සහයෝගයත් එක්ක මගේ චරිතය ගොඩනඟාගන්න මට පුළුවන් වුණා කියල හිතනව.


භූමි, ෂමෝල්ට මොන තරම් සමීපද?


ඇත්තටම සාමාන්‍යයෙන් මම ජීවත් වෙන්නෙත් ඒ චරිතය හා සමානව තමයි. ඉතින් භූමි ෂමෝල්ට ගොඩක්ම සමීපයි.


ෂමෝල් මොන වගේ චරිතයක්ද?


මිනිස්සුන්ට ගොඩක් ආදරය කරන, නිහතමානී චරිතයක්.


ඔබ මුලින්ම තෝරාගන්නෙ නිරූපණය?


ඔව්, මම මුලින්ම තෝරා ගන්නෙ නිරූපණ ක්‍ෂේත්‍රය. 2014 වසරේදී ප්‍රසිද්ධ බිස්කට් සමාගමක වෙළෙඳ දැන්වීමකට පෙනී සිටියා. එතැනින් තමයි මම රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ.


ඔබ මියුසික් වීඩියෝවලටත් පෙනී සිටියා?


ඔව්, කවින්ද්‍යා අධිකාරි ඇතුළු සංගීත ශිල්පීන් කිහිප දෙනකුගේම මියුසික් වීඩියෝවලට පෙනී සිටියා.


නිරූපණයෙන් රංගනයට යොමුවීම ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?


රංගනයට යොමුවීම හිතන තරම් ලෙහෙසි නැහැ. කතාකරන විදිහ. හැසිරෙන විදිහ, තව කෙනෙක් දිහා බලන විදිහ පවා අපි අධ්‍යයනය කරන්න ඕන. රූප රාමුවල අපි දකිනවාට වඩා රංගනය කියන්නෙ ලොකු අභියෝගයක්.


ඇයි මුලින්ම නිරූපණය තෝරාගන්නෙ?


මම නිතරම වගේ ජිම් යනව. ඒ වගේම ඇඟ ගැන ගොඩක් හිතනව. ඒ දේවල් එක්ක මට හිතුණා නිරූපණය වගේ ක්‍ෂේත්‍රයක් තෝරාගත්තොත් ප්‍රයෝජනවත් වෙයි කියල.


අලුත් ආරාධනා ලැබිල තියෙනවද?


තවම නම් නැහැ.


මගතොට ප්‍රතිචාර කොහොමද?


ගොඩක් දෙනෙක් මට කතාකරන්නෙ භූමි කියල. නිතර නිතර ගොඩක් අය එහෙම කියන නිසා මට දැන් මගේ නමත් අමතක වෙලා. ඇත්තටම මේ ලැබෙන ආදරය ගැන හරි සතුටුයි.


ඔබ අද ඔබව දකින්නෙ කොහොමද?


ජීවිතේ ගැන නැවත හැරිල බැලුවාම ලොකු සතුටක් වගේම මට මං ගැනම දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්. මොකද කටුක ජීවිතයක් ගෙවමින් තමයි මම මේ ගමන ආවෙ.


නිරූපණයට යොමු නොවුණා නම් ෂමෝල් මොන වගේ ක්‍ෂේත්‍රයක් තෝරාගනීවිද?


මම නිරූපණයට යොමු නොවුණා නම් බොහෝ දුරට ආරක්‍ෂක අංශයේ රැකියාවක් තෝරා ගනීවි.


නිරූපණය, රඟපෑම තෝරාගැනීම ගැන ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?


රංගනයට යොමුවීම ගැන මගේ ලොකු අක්කගෙ ඒ තරම් කැමැත්තක් නැහැ. එයා කියන්නෙ ජීවිතේ ගැන වෙනස් විදිහකට බලන්න කියල. නමුත් මගේ අම්ම හරි කැමතියි මම රඟපානව දකින්න. දැන් නම් අක්කගෙනුයි අම්මගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනව මගේ වැඩකටයුතුවලට.


පසුගිය කාලයේ හෙක්ටර් ඩයස් සමග කළ ෆොටෝ ෂූට් එකක් හරි ජනප්‍රිය වුණා?


ඔව්, ඒ ෆොටෝ ෂූට් එකට මට ආරාධනා කළේ ඡායාරූප ශිල්පී ඉරේෂ් ජයංග ඩයස් අයියා. මමත් බොහොම ආසාවෙන් ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ. මොකද ලැබෙන හැම ආරාධනාවක්ම මම භාරගන්නෙත් නැහැ. මේක වෙනස් වැඩක්. බොහෝ දෙනකුගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා.


මුල්ම වතාවට පුංචි තිරයේ දකිනකොට මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?


ඇත්තටම ලොකු සතුටක් දැණුනා. මගේ අම්මා මට කතාකරල ඇඬුවා. ඇයටත් ඒක ලොකු සතුටක් වුණා.


අධ්‍යක්‍ෂ ප්‍රදීප් ධර්මදාස ඔබට මොනවද කිව්වෙ?


මම මේ ටෙලි නාට්‍යයේ රඟපාන්නෙ ප්‍රදීප් මහත්මයාගෙන් ලැබෙන සහයෝගයත් එක්ක. මම තවම ආධුනික නිසා හදාගන්න ගොඩක් අඩුපාඩු තියෙනව. එතුමා කියන්නෙත් හරියට අධ්‍යයනය කරල ඉගෙනගනිමින් ඉස්සරහට යන්න කියල. ඇත්තටම රංගනය කියන්නෙ අධ්‍යයනය කරල අවසන් කරන්න පුළුවන් ක්‍ෂේත්‍රයක් නෙමෙයි.


රඟපාන්න කැමති චරිත ඇති?


මම බොහොම කැමතියි ගැමි චරිතවලට.


ඔබේ පෙනුමට ලැබෙන්නෙ මොන වගේ චරිතද?


මගේ පෙනුම නිසා ප්‍රතික්‍ෂේප වුණ තැන් ගොඩක් තියෙනව. ෆොටෝ ෂූට්වලදි බොහෝ විට බටහිර ආරේ හැඩගැන්වීම්වලට තමයි ආරාධනා ලැබුණෙ.


විලාසිතාවලට සීමා මායිම් තියෙනවද?


මම බොහෝ වෙලාවට තැනට සුදුසු විදිහට සහ අපේ රටේ සංස්කෘතියට සුදුසු විදිහට තමයි විලාසිතා කරන්නෙ.


කැපිලි කෙටිලි තිබුණද?


මම දන්න තරමින් අපේ රටේ යහළුවො සියයක් මුණගැහුණත් ඒ අයගෙන් දහදෙනෙක් විතර තමයි හොඳ අය ඉන්නෙ. මටත් ඉන්නව ඒ වගේ හොඳ යහළුවො කිහිප දෙනෙක්. ෆායාස්, කසුන්, සජීර්, තුවාන්, ප්‍රවීන්, බෙබෝ තමයි මගෙ හොඳම යහළුවන් වෙන්නෙ. අපි අඳින පළඳින විදිහ, ඉන්න විදිහ දැක්කත් අනෙක් අයට තියෙනව පොඩි ඊර්ෂ්‍යා ගතියක්. මට විශේෂයෙන්ම කැපිලි කෙටිලි ඇවිත් තියෙන්නෙ ගැහැනු ළමයින්ගෙන්. මේ නිසාම මම දැන් ගැහැනු ළමයි ආශ්‍රය කරන එක අඩුකරල තියෙන්නෙ.


ආදර යෝජනාත් එනව ඇති?


ඔව්, යෝජනා නම් එනව. නමුත් මම හිතන්නෙ බැඳෙන්නෙ නැතිව මගේ අනාගත සැලසුම් එක්ක තව කාලයක් කටයුතු කරන්න ඕන කියල.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post