කලාව තුළින් සමාජයට පණිවුඩයක් දිය යුතුම නැහැ-රෙබෙකා දිල්රුක්ෂි




ඇය පුංචි තිරයට ආගන්තුක රුවක් නම් නෙවෙයි. මේ දිනවල විකාශය වන Take care ටෙලිනාට්‍යයේ අසේනි නම් සාම්ප්‍රදායික ස්ත්‍රියකගේ චරිතයකට පණපොවන ඇය පිළිබඳ අටුවාටීකා අවශ්‍ය නොවන්නේ තණමල්විල කොල්ලෙක්, සහෝදරයෝ, වීදුරු මල් සහ තත්පරයක් දෙන්න වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ඇයගේ රංගන පරාසයන් ඔබට සමීප වූ නිසාවෙන්. එසේම මීට දශකයකට පමණ පෙර රංගනයට පිවිස වත්මන් කලා ලෝකයේ short film රැජින ලෙසද ඇය කරළියට පැමිණ අවසන්. එසේම මේ දිනවල විකාශය වන සිහින සමීකරණ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරවලින්ද ඇගේ රංගනය නොමඳ ඇගයීමට ලක්ව තිබෙනවා. ඇය නමින් රෙබෙකා දිල්රුක්ෂියි.




ඉතින් කොහොමද වැඩ කටයුතු?




මේ දවස්වල රංගන වැඩකටයුතු සහ අනෙක් වැඩකටයුතු ඉතා හොඳින් කරගෙන යනවා.




Take care ටෙලි නාට්‍යයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද?




හිතුවටත් වඩා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳයි. Take care මෙච්චර මිනිස්සුන්ට ළඟ වෙයි කියලා හිතුවේ නැහැ. ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ.




චරිතයක් තුළින් සමාජයට යම් පණිවුඩයක් ලබාදීම කලාකරුවකුගේ ප්‍රධානම වගකීමක් බව මතයක් තිබෙනවා. ඒ පිළිබඳ රෙබෙකාගේ අදහස කොහොමද?




කලාව තුළින් සමාජයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි කියලා නියමයක් නැහැ. නමුත් කලාව තුළින් ප්‍රේක්ෂකයාව උපරිම රසවින්දනයකට රැගෙන යාම තමයි රංගන ශිල්පියකුගේ ප්‍රධානම වගකීම. ඒ කියන්නේ කරන දෙයින් ප්‍රේක්ෂකයාට උපරිම රස වින්දනයක් ලබාදිය යුතුයි. යම් නිර්මාණාත්මක කාර්යයක් කරද්දී ඒ චරිතය වටා එක්කාසු වන මිනිස්සු එම නිර්මාණය වැලඳ ගන්නවා. සමාජයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයිද නැද්ද කියන එක සාපේක්ෂයි. ඉතින් මං නැවත පෙරළා ප්‍රශ්නයක් අහනවා මිනිස්සු කලාව ඇසුරු කරන්නේ සෑම විටම පණිවුඩයක් ලබා ගැනීම උදෙසාද යනුවෙන්.




සැබෑ ජීවිතයේ රෙබෙකාගේ චරිතයෙන් ඈත් වී මේ විශිෂ්ට චරිතවලට අනුගත වන රහසක් තිබෙනවද?




සෑම රංගන ශිල්පියකුටම පුහුණු වීමක් අවශ්‍යයයි. සෑම රංගන ශිල්පියකුටම පුහුණුවීමක් තිබිය යුතුයි. ඒ වගේම අපිට චරිතයක් ලැබුණාම එයට අනුගත වෙන්නට අවශ්‍යයි. ඒ අනුගත වීම උදෙසා අපි අභ්‍යාස කරන්නටත් අවශ්‍යයි. දීර්ඝ කාලයක් තිස්සේ මම රංගනය පිළිබඳ යම් හැදෑරීමක් කරනවා. ඒක අදත් කරනවා ඉදිරියටත් කරනවා. එය කවදාකවත් නතර නොවන දෙයක්. ඒ අභ්‍යාසය තුළින් තමයි චරිතයට අවශ්‍ය අභ්‍යන්තර සහ බාහිර මෙවලම් ටික ගොඩනැගෙන්නේ. රංගනය කියන්නේ දිනපතා අප්ඩේට් වන විෂයයක්.‍ ඒ වගේම රංගන ශිල්පියෙක්ට තමන් කරන දෙය සහ මේ සියලුම දේ පිළිබඳ මනා අවබෝධයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි.




ඔබ රංගනයට අත්පොත් තැබූ අකාරය සිහිපත් කළොත්?




හැමෝම කියනවා වගේ මම පාසලෙන් සහ පල්ලියෙන් තමයි මගේ රංගන ගමන ආරම්භ කරන්නේ.




රෙබෙකා වැඩි ඇල්මක් දක්වන්නේ පුංචි තිරයටද, රීදි තිරයටද, වේදිකාවටද, ඇහුවොත්?




මම මේ ක්ෂේත්‍රයන් තුනටම කැමැතියි. එයට හේතුවක් කියනවා නම් වේදිකාවේ තිබෙන අත්දැකීම් නෙවෙයි පුංචි තිරයේ තිබෙන්නේ. පුංචි තිරයේ තිබෙන අත්දැකීම් නෙමෙයි රිදී තිරයේ තිබෙන්නේ. ඒ නිසාම මම ඒ අත්දැකීම් තුනම ලබා ගන්න කැමැතියි. ඒ වගේම මම මේ ක්ෂේත්‍ර තුනේම වැඩ කරන්නත් කැමැතියි.




රංගනය පිළිබඳ හැදෑරීමක් තිබීම ක්ෂේත්‍රයේ රැඳී සිටීමට පහසුවක්ද?




අපි මේ ක්ෂේත්‍රයට පය තියනවා නම් ඇයි මම මේ ක්ෂේත්‍රයට එන්නේ කියලා ඔළුවේ අදහසක් තබාගෙන පැමිණීම වැදගත්. මං හිතන්නේ ඒක තමයි රංගන ශිල්පියකුට මේ ක්ෂේත්‍රයට එනවා නම් අවශ්‍යම දැනුවත් වීම. එවිට සියලු දෙනා සමග වැඩ කිරීම පහසුයි. අපිට කලින් පරම්පරාවේ ඉන්න ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගයත් මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නට අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද ඔවුන්ගේ අත්දැකීම් හරහා තමයි ඉදිරි පරම්පරාවේ ගමන තීරණය වෙන්නේ.




ඔබේ රසිකයන් ඔබව ඉදිරියේ පැවැත්වෙන සම්මාන උළෙලවල් වෙනුවෙන් නිර්දේශ කරනවා. ඒ ගැන දැනෙන හැඟීම කොහොමද?




ප්‍රේක්ෂකයන් ඒ විදියට මාව විශ්වාස කරනවා නම් ඇත්තටම මට මම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මං අවුරුදු දහයකට වැඩි කාලයක් රංගන කටයුත්තේ නියැළෙනවා. 




ඒ කාලය තුළදී රාජ්‍ය නාට්‍ය උළෙලවල්වලදී සම්මාන ලැබිලා තිබෙනවා. නමුත් මම සම්මාන බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒත් සම්මානයක් ලැබෙනවා කියන්නේ කලාකාරයකුට ආභරණයක්.




ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක්ද?




මම වෘත්තීය රංගන ශිල්පිනියක්.




පසුගිය කාල වකවානුවේ රටෙහි තිබුණු අර්බුදකාරී තත්ත්වයන් නිසා වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකාගාරය තරමක් අඩුවුණා. නමුත් දැන් වේදිකා රසිකාගාරයේ වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කොහොමද?




රටක දියුණුවට අනිවාර්යයෙන් කලාව දැඩි ලෙස බලපානවා. ගොඩක්ම ඉස්සර කලාවට සමීප වෙන්න තිබ්බ අවස්ථාව එක පන්තියකට පමණක් සීමා වෙලා තිබුණා. දැන් ඒ තත්ත්වය නැහැ. හැබැයි අපිට කියන්නට බැහැ වේදිකා නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකාගාරයේ වැඩිවීමක් තිබෙනවා කියලා. අඩුවෙලා කියලා කියන්නත් බැහැ. දිනපතා වේදිකා නාට්‍ය නරඹන්නට පුරුදු වී සිටින රසිකයන් තමයි දිගටම වේදිකාව සමග රැඳී ඉන්නේ.




ක්ෂෙත්‍රයට එන ආධුනිකයෙක් හට රංගන කුසලතාව ඔප්නංවන්න ඔබ යෝජනා කරන්නේ වේදිකාවද? පුංචි තිරයද? සිනමාවද?




අපේ ගොඩක් අඩුපාඩු හැදෙන්නේ අත්දැකීම් ලබා ගැනීම තුළින්. මේ ක්ෂේත්‍ර තුන එකිනෙකට වෙනස් ක්ෂේත්‍රයන් තුනක්. එතකොට අත්දැකීමත් ඒ අනුව වෙනස් වෙනු ලබනවා.




රංගනය තුළ චරිත තෝරා ගැනීමේදී ඔබ ඔබටම පනවා ගනු ලබන වාරණ තිබෙනවද?




මට ලැබෙන චරිතයට මට සාධාරණයක් කරන්න බැරි නම්, ඒ චරිතය තුළ මම අවංක නැත්නම්, මං ඒ චරිතය භාර ගන්නේ නැහැ. ඒකයි මගේ තිබෙන වාරණය.




කෙටි චිත්‍රපටයක් කියන්නේ එක්තරා අකාරයකට අභියෝගයක් කිව්වොත්?




මම දැනට කෙටි චිත්‍රපට විශාල ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා. දිගු සහ කෙටි මේ දෙකේ වෙනස වෙලාව විතරයි. අනෙක් විශේෂම කාරණය තමයි කෙටි චිත්‍රපටයක් තුළ ලැබෙන කෙටි වෙලාව තුළ නිර්මාණකරුවාට අවශ්‍ය අදහස නිවැරදිව ප්‍රේක්ෂකයා දැනෙන ලෙස ලබා දිය යුතුයි. මම හිතන්නේ ඒක තමයි අමාරුම දේ. නිර්මාණයක් කරනවා නම් කෙටි චිත්‍රපට වුණත් දිගු චිත්‍රපට වුණත් මහන්සිය එක හා සමානයි.




රෙබෙකාට නිවසින් ලැබෙන සහයෝගය මතක් කළොත්?




ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම මගේ සැමියා මට ගොඩක් උදව් කරනවා. මගේ ශක්තිය එයා. සෑම මොහොතකම මගේ පිටුපසින් ඉන්නෙත් මගේ සැමියා. මගේ විවාහ ජීවිතය සහ රංගනය හැමදේම සමබර කරගන්න උදව් කරන්නෙත් සැමියා.




අනාගත බලාපොරොත්තු කොහොමද?




දිගටම මගේ රැකියාවත් කරගෙන සතුටින් ඉන්න එක තමා බලා පොරොත්තුව.



Previous Post Next Post