දිලිනි රට හැර යයි

 



මේ සටහන ඔබ දකින විටදිත් ඇය ඔබට මට සමු දී අවසන්. කවුද මේ. දැනටමත් ඔබ විමසිලිමත් බව අප දන්නවා. අය පුංචි තිරයේ දිගු වරලසකට හිමිකම් කියන අවිහිංසකාවියයි. දිලිනි ලක්මාලි යන නම තරමටම දිගු වරලසක් ඇති නිළිය කියූ පමණින් බොහෝ දෙනා ඇය හඳුනනවා. ඉතින් ඇය නවසීලන්තයේ පදිංචියට ගිය පුවතයි අපි මෙලෙස ඔබ හා බෙදාගන්නට සූදානම් වෙන්නේ.




දිලිනි හදිසියේම ඇයි රට හැර යන්නෙ?




මේක හදිසියේ ගත්ත තීරණයක් නෙවෙයි. කලාවට එන්න පෙරම මගේ හිතේ අධිෂ්ඨානයක් තිබුණා කවදාක හෝ මා විවාහ වූ දිනක මම ජීවිතයේ මුල්තැන විවාහ දිවියට දෙනවා කියන හැඟීම. ඉතින් මම පසුගිය වසරේ විවාහ වුණා. මගේ සැමියා රැකියාව කරන්නේ නවසීලන්තයේ. ඒ නිසා යෙදී තියෙන කරුණු කාරණා අනුව ඔහුට රැකියාව අතහැර ලංකාවට ඇවිත් ගත කරන්න අපහසුයි. නමුත් මට ඒ රටට ගිහින් ඔහුත් සමග ගත කරන එක ඊට වඩා පහසුයි. ඒ නිසා මම තීරණය කළා ඔහු ඉන්න රටට යන්න. මේ ලිපිය පළ වන විට මම ලංකාවෙන් ගිහින්.




දිලිනි ලංකාවෙන් යන්නෙ කලාවට සමුදීලද?




මම කලාවට සමුදීලා නැහැ. අවුරුදු දාසයක් මම කලාවේ රැඳී උන්නා. කලාවට ආදරය කරන කලාකාරිනියක් විදිහට කලාවෙන් ඈත්වෙන එක පහසු නැහැ. ඒත් කාන්තාවක්, බිරිඳක් විදිහට ජීවිතයේ සාර්ථකත්වයක් දකින්න දෙතැනක ජීවත් වෙලා බැහැ. ඒ නිසා මම ඔහු ජීවත් වෙන රටට යනවා. අපි ලංකාවට ආව අවස්ථාවක හෝ මට ඇවිත් කරලා යන්න පුළුවන් හෝ කලා නිර්මාණයක් ලැබුණොත් මම ඒ නිර්මාණය පවතින වාතාවරණය අනුව භාරගනියි.





දිලිනිගේ සැමියා නවසීලන්තයේ කරන රැකියාව කුමක්ද?




සුප්‍රසිද්ධ ෆොන්ටෙරා ෆාම්ස් සමූහයේ ෆොන්ටෙරා ෆාම් මැනේජර්වරයකු ලෙස නවසීලන්තයේ රැකියාව කරනවා.




දිලිනිත් නවසීලන්තයේ රැකියාවක් කරන්න සැලසුමක් තියෙනවද?




දැනට එහෙම සූදානමක් නැහැ. නමුත් මම කැමැතියි කුමක් හෝ රැකියාවක නිරත වෙන්න. ඒ රටට ගිහින් එහෙ ජීවිතයට හුරු වුණාට පසුව කරන්නෙ මොකක්ද කියලා හිතල බලනවා.




දිලිනිට මේ රටේ දාලා යන්න බැරි දේවල් කිසි දෙයක් නැද්ද?




මගේ පවුලේ අය දාලා යන එක මට සතුටක් නෙවෙයි. මොකද මගේ අම්මටයි තාත්තටයි ඉන්නෙ මමයි, මල්ලියි විතරයි. මේ වනවිට මගේ මල්ලි සූපවේදියක් විදිහට කැනඩාවේ රැකියාව කරන්නේ. මමත් ලංකාවෙන් ගියාම අපේ අම්මටයි තාත්තටයි ඒ අඩුව දැනෙයි. නමුත් අපේ අනාගතය වෙනුවෙන් මම මේ අවස්ථාවේ මේ තීරණය ගත යුතු එකක් නිසා මම මගේ සැමියා ඉන්න රටට පදිංචියට යන්න තීරණය කළා.


දිලිනි ආදරයෙන් රැකබලා ගත්ත සුරතල් සතුන් ටිකකුත් ඉන්නවා නේද?




අනේ ඔව්. පාරේ අසරණ වෙලා ඉද්දි ගෙදර අරන් ගිහින් හදාගත්ත පූස් පැටව් නව දෙනෙක් මට ඉන්නවා. තව බල්ලෙකුත් ඉන්නවා. ඒ සත්තු ටිකත් මට මගේ ගෙදර අය වගෙයි. ඒ අය දාලා යන්න වෙන එක ගැන දුකයි.




දිලිනිගේ සැමියා ගැන වුණත් රසික රසිකාවියන් වැඩි යමක් දන්නෙ නැහැ නේද?




මගේ සැමියා චරිත් තාරුක ෆොන්සේකා. එයාගෙ ගම මීගමුව. දැන් එයා රැකියාව කරන්නෙයි පදිංචි වෙලා ඉන්නෙයි නවසීලන්තයේ. චරිත් කියන්නේ හොඳ කලාකාරයෙක්. එයා ගායනයට වගේම චිත්‍ර කලාවට, ඡායාරූප ශිල්පයට දක්ෂ කෙනෙක්. අපි දෙන්නා හඳුනා ගන්නෙ ෆේස්බුක් එකෙන්. මුල් කාලේ එයා මගේ නිර්මාණ රසවිඳින රසිකයෙක් විදිහටයි අපේ ඇසුර පටන් ගත්තෙ. කතාබහ කරද්දි අපි දෙන්නා අතර ආදරයක් ඇතිවුණා.




දිලිනිව ඉදිරි කාලයේදි දැකගත හැකි නිර්මාණ මොනවාද?




මම ලංකාවෙන් යන්න සූදානම් වෙමින් සිටි නිසා ඇරයුම් ලැබුණ නිර්මාණ මම භාරගත්තෙ නැහැ. පහුගිය කාලේ කොටස් කිහිපයක් කරලා ඉදිරි කොටස් විකාශය ආරම්භ වුණාම කරන්න නියමිත නිර්මාණ බොහොමයක් තියෙනවා. ඒ නිර්මාණ විකාශය වෙන පාටකුත් නැහැ. මම හරි ආසාවෙන් කළ නිර්මාණයක් තිබුණා ‘වයිතාලෙ’ කියලා. ඒ නිර්මාණයත් විකාශය වෙන පාටක් නැහැ. ඒ නිසා එහෙම ලොකුවට නිර්මාණ නම් නැහැ.




නිළියක් විදිහට කාලයක් ගත කරපු ඔබට සාමාන්‍ය ජීවිතයට හැඩ ගැහෙන එක අසීරු වෙයිද?




ඇත්තටම මම නිළියක් වුණේ කැමරාව ඉදිරියේ විතරයි. එතැනින් එහාට මම ගත කළේ ඉතාම සාමාන්‍ය ජීවිතයක්. මම ගමන් බිමන් ගියේ බස් එකේ, කෝච්චියේ. සාමාන්‍ය කෙනෙක් වගේ ගෙදර දොරේ වැඩ කළා. කෑවේ බීවේ ඇන්දේ පැලැන්දේ හරිම සරල විදිහට. මට ඕනෑම විදිහේ ජීවිතයකට හැඩගැසීමේ හැකියාව තියෙනවා.



Previous Post Next Post