මේ වගේ චරිතයක් කෙනෙක්ට ලැබෙන්නෙ කලාතුරකින්-අමිල කරුණානායක



 නිරූපණ ශිල්පියෙක් ලෙස තම ගමන ඇරඹූ ඔහු වර්තමානයේදී සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්. ප්‍රසාද් කළුපහනගේ අධ්‍යක්ෂණයෙන් යුතුව මේ දිනවල තිරගත වන ‘කම්බිලි’ සිනමා නිර්මාණයත් සමඟ ඔහුව නැවතත් ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙනවා. අද හදගැස්ම හා එක්වන්නේ ජනප්‍රිය රංගන ශිල්පී අමිල කරුණානායක. 


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස්වල තිරගත වන මගේ නවතම චිත්‍රපටය වන කම්බිලි චිත්‍රපටයේ වැඩ කටයුතු සමඟ කාලය ගෙවී යනවා.


කම්බිලි නිර්මාණය වුණේ කොහොමද?


කම්බිලි කියන්නේ මට මගේ ජීවිතයේ ලැබුණු හොඳ අවස්ථාවක්. මට ප්‍රසාද්ගෙන් මේ චිත්‍රපටය සඳහා ආරාධනය ලැබුණට පස්සේ මම මෙහි තිර පිටපත කියෙව්වා. මේ තිරපිටපත හරිම පරිස්සමට ලියලා තිබුණා. ඊට පස්සේ මම මේකට ගොඩක් ආස වුණා. මේ තිරපිටපත කියවූ විට මට තේරුණු දෙයක් තමයි මේ වගේ චරිතයක් රංගන ශිල්පියෙක්ට ලැබෙන්නේ කලාතුරකින් කියන දෙය. ඉතින් ඒ හොඳ අවස්ථාව මඟහැර ගන්න මට අවශ්‍ය වුණේ නැහැ. භානුක කියන චරිතය මට විශේෂයි. මේ චරිතය ගැන චිත්‍රපටය බලලම තීරණය කරන්න කියලා මම ආදරණීය ප්‍රේක්ෂකයාගෙන් ඉල්ලා සිටිනවා. මාත් මගේ අදහස් ගොඩක් මේ චරිතය නිර්මාණය කිරීමේදී එකතු කළා. මගේ අතින් යම් යම් කැටයම් මේකට එකතු වුණා.


නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට එන්න යම් පන්නරයක් ලැබුණාද?


මගෙන් ගොඩක් අය ඔය ප්‍රශ්නෙ අහනවා. මම RAMP MODEL කෙනෙක් විධියට ලංකාවේ යන්න පුළුවන් උපරිම තැනට ගියා. නමුත් මම හිතන්නෙ නැහැ නිරූපණ ක්ෂේත්‍රයෙ සිටියා කියලා රංගනයට පන්නරක් ලැබුණා කියලා. අපි ශරීරය පවත්වාගෙන යන විධිය අපේ පෙනුම ආදී දෙය රංගනයට ආභරණයක් වෙනවා. නමුත් රංගනය සහ නිරූපණය අතර ලොකු වෙනසක් මම දැක්කා. මම කාලයක් හිරවෙලා හිටියා. මොකද මා තුළ සිටි නිරූපණ ශිල්පියාගෙන් ගැලවෙන්න මට සෑහෙන  අපහසු වුණා. රංගනය කියන්නෙ මාර රිලැක්ස් දෙයක්. ඕනෑම ලස්සන කෙනෙක් ස්වාභාවික වුණේ නැත්නම් රිලැක්ස් වුණේ නැත්නම් රඟපාන්න බැහැ. මේ අවබෝධය මම ලබා ගත්තේ ටික ටික. රංගනයයි, නිරූපණයයි කියන දෙකෙහි වෙනස අපි හ¾දුනගන්න ඕන.


වාණිජමය සිනමාව ගැන ඔබේ අදහස?


සිනමා කර්මාන්තයක පැවැත්ම වෙනුවෙන් විශාල රුකුලක් ලබා දෙන්නේ වාණිජමය සිනමාව. ලෝක සිනමාව ගත්තත් එහෙම තමයි. මේක ව්‍යාපාරයක්. දියුණු සිනමාවක් තිබෙන රටවල වාණිජමය සිනමාව සමඟ තමයි මිනිස්සු බැඳිලා ඉන්නේ. මම කියන්නෙ නැහැ කලාත්මක නිර්මාණ බිහි වෙන්න ඕන නැහැ කියලා. කලාත්මක නිර්මාණ බිහි විය යුතුයි. නමුත් බහුතරය බිහි විය යුත්තේ වාණිජමය සිනමාව. අපේ රටේ සිනමාව වාණිජ සිනමාවට තිබුණු නැඹුරුව අඩු වුණ නිසා තමයි පසුකාලීනව ගොඩක් ගැටලුවලට මුහුණ දුන්නේ. මේ සිනමා කර්මාන්තය ගොඩගන්න නම් අපි වාණිජමය සිනමාවට ලොකු අවදානයක් දෙන්න ඕන.


රංගනය ඇකඩමිකව හැදෑරිය යුතුද?


රංගනය ඇකඩමිකව හැදෑරිය යුතුයි. හැදෑරීම තමයි අත්තිවාරම. හැදෑරීමෙන් අනතුරුව එය ඔප්නංවා ගැනීම තිබෙන්නේ රංගන ශිල්පියාගේ අතේ. ඒකට තමන් හොඳ ප්‍රේක්ෂකයෙක් වෙන්නෙ ඕන. පුහුණු වීම් කරන්න ඕනේ. හඬ පුහුණු වීම් කරන්න ඕන වගේම ලෝකයේ වෙනත් රටවල රංගන ශිල්පීන්ගේ රඟපෑම් හදාරන්න ඕනේ. අත්දැකීම්වලින් තමයි රංගන ශිල්පියා පරිණත වෙන්නේ.


ඔබ පුංචි තිරයට කැමැති නැද්ද?


මම ටෙලිවිෂනය තුළ වැඩ කිහිපයක්ම කරලා තිබෙනවා. ඒවා ගොඩක් දිග වැඩ නෙවෙයි. මගේ පෞද්ගලික මතය අනුව ගොඩ කාලයක් එකම චරිතය තුළින් ප්‍රේක්ෂකයා රංගන ශිල්පියෙක්ව දැක්කම ඒක කඩා ගන්න ගොඩක් අපහසු වෙනවා. සමහර රංගන ශිල්පීන් ඉන්නවා තවමත් ප්‍රේක්ෂකයා ඔවුන්ව දකින්නේ ඒ චරිතය තුළින්. ප්‍රේක්ෂකයාගේ ඒ චරිතය ඔස්සේ රංගන ශිල්පියාව කා වැදෙනවා. මම ඒ හානියට ගොඩක් බයයි. මම ගොඩක් කැමැති සිනමාවට. මට හානියක් වෙන්නෙ නැහැ කියලා දැනෙනව නම් විතරයි මම එවැනි වැඩකට සහභාගි වෙන්නේ.


අධ්‍යක්ෂවරයෙක් වෙමින් සිනමාපටයක රඟපාන්න අදහසක් නැද්ද?


දැනට නම් නැහැ. හැබැයි මම හරිම කැමැතියි අධ්‍යක්ෂණය කරන්න. ඉදිරියේදී ඒ පිළිබඳව හැදෑරීමක් කරලා ඒ කටයුත්ත සිදු කරන්න ඕන. අපි ඒක ඉදිරියේදී බලමු.


ප්‍රේක්ෂකයන්ගේ විවේචන ගැන ඔබේ අදහස?


අපිව විවේචනය කරන හැම විවේචනයක්ම අපි භාරගත යුතුයි කියන තැන මම නැහැ. මට මේ ගැන හොඳ අත්දැකීමක් තිබෙනවා. කබඩි චිත්‍රපටය කළාම මිනිස්සු මට මඩ ගහන්න ගත්තා. ඒක රීමේක් එකක් නිසා ගොඩක් අය මාව එහි දමිළ චිත්‍රපටය සමඟ සසඳන්න ගත්තා. ඒත් මට ගොඩක් ආදරය කරන පිරිසක් ලැබුණෙත් ඒ චිත්‍රපටයෙන්. අපි කොපමණ හොඳ දෙයක් කළත් විවේචන එනවා. රංගන ශිල්පියෙක් ලෙස මේ දේවල්වලට හොඳින් මුහුණ දෙන්න ඕන වගේම ඒ කියන දේවල් අපිත් අවබෝධයෙන් යුතුව අසන්න ඕන. අපි මේ දේවල්වලින් වැටෙන්න හොඳ නැහැ. අපි දෙයකට අවංකව කැපවීමෙන් වැඩ කළොත් එහි ප්‍රතිඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන කියනවා නම්


තව චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ චිත්‍රපටවල රූගත කිරීමේ කටයුතු එළැඹෙන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල ආරම්භ වීමට නියමිතව තිබෙනවා.


ගිහාන් සචින්ත




Previous Post Next Post